2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

සමහරු නොතේරෙන හරඹ කර පාඨකයා මංමුලා කරනවා

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 385

- සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ

කෙටිකතාකරුවෙක් ලෙස විචාරක අවධානයට ලක්වූ කීර්ති වැලිසරගේ පසුව නවකතාකරැවෙක් ලෙස පාඨකයන් අතර ප්‍රකට විය. ඔහු ලියූ හත්වැනි නවකතාව රුදු රොන් සුනු පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් කෙරිණි. කීර්ති ලියූ නවකතා අතරින් කාල සර්ප සඳහා 2012දී ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ අතර ගරැඬ මුහුර්තයට 2016දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය.

ගරුඬ මුහුර්තය ලියා අවුරුදු 3කට පසු රුදු රොන් සුනු ලියවෙනවා. මේ කෘතිය ගැන යමක් කිව්වොත්?

ගරුඬ මුහුර්තය අවුරුදු 3කට පෙර ලියා අවසන් කළත් එම නවකතාව සඳහා වස්තු බීජය මා තුළ හටගන්නේ වසර 20කට පමණ පෙරයි. රුදු රොන් සුනු සඳහාත් සැලකිය යුතු කාලයක සිට පදනම සකස් වෙමින් තිබුණා. කාලසර්ප, මායාතීර්ථ වැනි මගේ අනිකුත් නවකතා සඳහාත් එබඳු දීර්ඝ කාලීන උත්සහයක් පැවතුණා. සාමාන්‍යයෙන් නවකතාවක් ලිවීමට ගතවන කාලය එක් නවකතාවකින් පසු අනිත් නවකතාව පළවන වර්ෂය අතර කාලය ලෙස සැලකීම සුදුසු නොවන බව දැක්වීමටයි මා කරැණු සඳහන් කළේ. එක් කතාවක් ලියද්දිම තවත් කතාවක තේමා හා වස්තු විෂය සමඟ පරිකල්පනයේ හැකියාව මා පමණක් නොව බොහෝ කතාකරුවන් තුළ පවතින බවට විශ්වාසයක් මා තුළ තිබෙනවා.

රුදු රොන් සුනු නවකතාව අර්ධ නාගරික ප්‍රදේශයක් පසුබිම් කරගත්තක්, මේ පොතට අනන්‍ය වූ භාෂාවක් ඔබ යොදාගත් බව පෙනී යනවා. මේ ගැන ඔබේ අදහස අපට කිව්වොත්?

සාහිත්‍ය නිර්මාණයක භාෂාව අතිශය වැදගත් බව විශේෂයෙන් කිවයුත්තක් නොවේ. නවකතාවේදී එම නවකතාවට පසුබිම් වන සමාජ ඓතිහාසික පසුතලයක්, පුද්ගල මනෝභාවයක් මෙන්ම නිරෑපණය වන චරිතයන්ගේ අන්තර්සම්බන්ධතාත් ගොඩ නැගීමට ඉවහල් වන්නේ භාෂාවයි. එය තවත් අතකින් කතා තේමාවත්, දෘෂ්ටියත් සමඟ බද්ධව පවතිනවා. සමස්තයක් වශයෙන් චරිත, අවස්ථා, සිද්ධි මෙන්ම සමාජ දේශපාලන කතිකාවත් පාඨකයා කරා ළඟවන්නේ භාෂාව ප්‍රමුඛ කාර්භාරයක යොදවමින්. නිදර්ශනයක් වශයෙන් ඔබ කලින් සඳහන් කළ ගරුඬ මුහුර්තය ලියද්දි එහි චරිත, පාත්‍රයන් මීට ශත වර්ෂයකට පෙර සබරගමුවේ ඈත කඳු ප්‍රදේශයක හුදෙකලාව පැවති මාගල නම් ගම් ප්‍රදේශයේ ජන ජීවිතය රූපණය කිරීමේ අවශ්‍යතාව මතුවුණා.

රුදු රොන් සුනු ලියද්දි සමස්තයක් වශයෙන් නුවන් නම් තරුණයා මුහුණ දුන් ඛේදවාචකයත්, ඔහුගේ පසුකාලීන හුදෙකලා ජීවිතයත් නිරූපණයට උචිත බස මඟ නොහැරීම අත්‍යවශ්‍යයි. තවත් අතකින් එය අපගේ මෑත ඉතිහාසයේ බරපතළ සමාජ දේශපාලන සංසිද්ධියක් වූ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ 1987 පැවති වියවුල් සහගත සමාජ දේශපාලන වාතාවරණය ඔස්සේ මතුවන්නක්. එමෙන්ම නවකතාවේ භෞතික පරිසරය විවිධාකාර වෙනස්කම් සහිත ප්‍රදේශයන් හරහා ගමන් කරන්නක් වුණා. 

මේ නවකතාවේ ඇත්තේ සරල ආකෘතියක්. නමුත් කතා තේමාව ප්‍රබල බව අපට පෙනෙනවා. අද තරුණ නවකතාකරුවන් ආකෘතික හරඹ කරන්නට ගොස් නවකතාවේ තේමාවට හානි කරගන්නා බව පෙනෙනවා. එය ඔබට නිරීක්ෂණය වුණාද?

මම නවකතාවක හෝ වෙනත් සාහිත්‍ය නිර්මාණයක ආකෘතිය පිළිබඳ නොසැලකිල්ලක් දක්වන කෙනෙක් නෙමෙයි. එහෙත් ආකෘතිය කතාවක අන්තර්ගතය හා තේමාව මෙන්ම දෘෂ්ටිවාදාත්මක මැදිහත්වීමට එහා ගිය එකක් ලෙස ගෙන ඒ පිළිබඳ අධි තක්සේරුවකින් කටයුතු කරන්නෙක් නොවෙයි.

නවකතාව හෝ කෙටිකතාව කියවෙන්නට පටන් ගත යුත්තේ කියවා පොත පසෙකින් තැබූ පසුවයි. හුදු මෝස්තරයක් ලෙස ආකෘතික හරඹ ඔස්සේ පාඨකයා, මංමුලා කරවීම අයෝග්‍යයි. ඉතා උත්කර්ෂයෙන් කියවීම අරඹන පාඨකයා තම සිතිවිලි අතරට කාන්දු නොවන කෘතිය පිටකවරයේ මොන ලේබල් ඇලවුණත් නැවත අතට ගන්නේ නැහැ. මෙබඳු කෘති බහුලව බිහිවන බව මා දන්නවා. ඒවා මතුපිට පාවෙන බවක් පෙනෙනවා. එහෙත් ගැඹුරු කියවීමකට හුරු පාඨකයන් වින්දනයක්, ජීවිතය ගැන ගැබ්වුණු විශිෂ්ට නිර්මාණ සමඟ සබඳතාවය පවත්වාගෙන යනවා. ඔබ කියන රැදු රොන් සුනු නවකතාවේ සරල ආකෘතිය යට ඇති තේමාවේ ප්‍රබල බව ගැන මා විශේෂයෙන් යමක් කිවයුතු යැයි සිතන්නේ නැහැ.

විචාරකයෝ පවසන්නේ ඔබ වඩාත් ශූර කෙටිකතාකරැවෙක් බවයි. ඒ ගැන කියන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ මගේ මුල්කාලීන කෙටිකතා දිගින් දිගටම විචාරකයන්ගේ අවධානය දිනා ගැනීම හා සාහිත්‍ය සමාජය තුළ තහවුරු වූවක් වූ බවයි. ලියූ සෑම කෙටිකතා කෘතියක්ම විචාරකයන්ගේ අවධානයට මෙන්ම ඉන් බහුතරයක් සම්මාන ආදියට පාත්‍ර වීම මීට හේතුවයි. මගේ නවකතා විශාල පාඨක ප්‍රජාවක් කරා යන්නේත් විචාරක අවධානය යොමු වන්නෙත් පසුවයි. මගේ නවකතා බහුතරයක් දීර්ඝ නවකතා. ඒවා ඇතැම් විචාරකයන්ගේ තීක්ෂණ අවධානයට යොමු නොවූ බව මගේ පිළිගැනීමයි. නිදර්ශනයක් වශයෙන් මායා තීර්ථ දක්වන්නට පිළිවන්. මා කෙටිකතාකරැවෙක් පමණක් යැයි යම් විචාරකයෙක් සිතා සිටිනවානම් මායා තීර්ථ, කාල සර්ප, ගරැඬ මුහුර්තය හා දැන් පළව තිබෙන රැදු රොන් සුනු නවකතා පිළිබඳව ද නැවත අවධානය යොමු කර අනතුරැව තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

නවකතාවට වඩා අපේ කෙටිකතා ඉහළ මට්ටමක පවතින බවයි සමහර විචාරකයන් කියන්නේ. ඔබ ඊට එකඟද?

එයට සම්පූර්ණයෙන් එකඟ විය නොහැකියි. හොඳ කෙටිකතා වගේම හොඳ නවකතාත් ලියවෙනවා. එහි අනිත් පැත්තත් ඒ කියන්නේ දුර්වල නවකතා වගේම දුර්වල කෙටිකතාත් ඕන තරම් අපට හමුවෙනවා.

නවකතා විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පළවෙනවා. අපේ නවකතාව ඉදිරියට ගොස් ඇති බව සිතනවාද?

නවකතාවේ වර්ධනයක් පෙනෙන්නට තිබෙනවා. ප්‍රමාණාත්මක වර්ධනයට සාපේක්ෂව ගුණාත්මකව වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට නැතත් නවකතා කලාවේ විකාශනය තුළ වර්තමානය වනවිට කිසියම් සතුටුදායක මට්ටමකට අද නවකතාව පැමිණ ඇති බව පිළිගත හැකියි. ඕනෑම කලා ක්ෂේත්‍රයක නිර්මාණ එම සමාජයේ යම් ආකාරයක විදහා දැක්වීමක්. කලාව බලහත්කාරයන් නූතන කිරීමේ හැකියාවක් නොමැතිවාක් මෙන්ම, එසේ උත්සාහ කළහොත් එහිදී මතුවන එම මතුපිට නූතනත්වයේ ව්‍යාජ බව සැඟවිය නොහැකියි.

ඔබේ නිර්මාණ කෘති වෙනත් භාෂාවලට පරිවර්තනය වුණා නේද?

මගේ නවකතා කෘති දෙකක් වන කාල සර්ප Time Rebounds නමිනුත් මායා තීර්ථ The Doomed නමිනුත් ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. කෙටිකතා එකතුවක් Redemption and other stories නමින් ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. දැන් ගරැඬ මුහුර්තය දෙමළ බසට පරිවර්තනය වෙමින් පවතිනවා. නිර්මාණාත්මක කෘතියක හැඟීම් හා කතිකාමය අස්ථානය පරිවර්තනය පහසු කටයුත්තක් නොවන බව ඇත්ත. ඒ සඳහා නිර්මාණාත්මක, බුද්ධිමය එළඹුමක් අවශ්‍ය වෙනවා. හොඳින් පරිවර්තනය වුණත් අපේ කෘතීන්ට ජාත්‍යන්තරය දිනාගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රකාශකයකුගේ සහය නොමැති වීම නැතහොත් බෙදාහැරීම දුර්වල වූ විට ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකියි.

ඔව්. නමුත් ඉංග්‍රීසියෙන්ම ලියූ ලාංකික ලේඛකයන් ජාත්‍යන්තරයට ගොස් තිබෙනවා නේද?

මෙහිදී ඉංග්‍රීසියෙන්ම ලියන ශ්‍රී ලාංකික ලේඛකයන් හට මා පළමුව සඳහන් කළ ගැටලුව කොහෙත්ම බලනොපාන අතර ප්‍රකාශනයේ හා බෙදාහැරීමේ ගැටලුවත් ජය ගැනීමට හැකි වී තිබෙනවා. ඉංග්‍රීසියෙන් ලියා ජාත්‍යන්තරය දිනාගත් මයිකල් ඔන්ඩච්චි වැනි විශිෂ්ටයන් හා පසුකාලීනව Funny Boy ලියූ ශ්‍යාම් සෙල්වදොරේ වගේම Chinaman ලියූ ශෙහාන් කරැණාතිලකත් මෑතක Island of a Thousand Mirrors ලියූ නයෝමි මුණවීරත් සිහිපත් කළ හැකියි. ඉදිරියේදී හොඳ පරිවර්තන මෙන්ම ජාත්‍යන්තරව එම පරිවර්තන ප්‍රකාශනය හො බෙදාහැරීම සිදු වන්නේ නම් හොඳයි. හොඳින් පරිවර්තනය වුණත් නිසි ලෙස ප්‍රකාශනය සිදු නොවුණොත් පලක් නෑ. මේ තත්ත්වයන් අප හමුවේ ඇති ජය ගත යුතු අභියෝග හැටියට මම සලකනවා.

 කුසුම්සිරි