නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟම අපේ රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ හෙවත් කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැඩි කතාබහක් ඇතිවිය. එයට හේතුවූයේ පසුගිය සමයේ විශාල වශයෙන් පසුබා තිබූ කොටස් වෙළෙඳ පොළ වහ වහා ප්‍රාණවත් වීමය. මෙම වෙනසට හේතුව නව ජනාධිපතිවරයා පත්වීම බව සමහරුන් පැවසුවත් තවත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වූයේ එයට වෙනස් කාරණා ද බලපෑ හැකි බවය. කෙසේ වුවද වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රරෝකතනයක් ඉදිරිපත් කිරීමට තවම කල්වේලා වැඩිබව පවසන්නෝ ද වෙති.
පසුගිය 18 වැනිදා ගනුදෙනු අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය ඒකක 6129.59 දක්වා ඉහළ ගොස් තිබුණු බව වාර්තා විය. පසුගිය 15 වැනි සිකුරාදා දිනය අවසන් වනවිට කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය වූයේ 6023.02කි. මේ අනුව වැඩිවීම 106.54කි. 18දා වැනිදා එහි දෛනික ගනුදෙනු ආරම්භ වී මුල් විනාඩි 15 තුළ සියලු කොටස් මිල දර්ශකය 104කින් ඉහළ යාම කැපී පෙනුණි. කොටස් වෙළෙඳ පොළ 5x10 Sri Lanka 20 දර්ශකය පසුගිය 15දා වාර්තා වූ ඒකක 2986.25 සිට 18 දා අවසන් වනවිට ඒකක 3046.04 දක්වා ඒකක 59.52කින් ඉහළ ගොස් තිබුණි. පසුගිය නොවැම්බර් 15දා වැනිදා වනවිට 2019 ආරම්භයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය සියයට 0.48කින් ඉහළ ගිය බවද වාර්තා විය.
කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුප ද 18දා වනවිට විශාල ලෙස ඉහළ ගොස් තිබුණු අතර එය බිලියන 2.4ක් විය. අවුරුද්දේ දිනයක් තුළ වාර්තා වූ වැඩිම කොටස් ගනුදෙනු ප්‍රමාණය වූ 18569 ද 18 දා වාර්තා වී තිබිණ.
ජෝන් කීල්ස්, කලම්බු කෝල්ඩ් ස්ටොර්ස්, සිස්ටලර්සා ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම්වල දර්ශක කැපී පෙනෙන ලෙස වැඩිවූ බව පෙනුණි. එසේම දිනය තුළ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් බවට පත්වෙමින් ඇක්සස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම කොටස් මිලියන 15.4ක ප්‍රමාණයක් ගනුදෙනු කර තිබුණි. එසේම සියේරා කේබල්ස් පෞද්ගලික සමාගමේ කොටස් මිලියන 10.1ක් ද දිනය තුළ ගනුදෙනු විය.
First Capital Holdings සමාගමේ ප්‍රධාන සමීක්ෂණ නිලධාරී දිමන්ත මැතිව් පවසා සිටියේ “අප මේ වනවිට ක්ෂුද්‍ර ආර්ථික ස්ථාවර භාවයකට පත්ව තිබුණු අතර දැන් දේශපාලන ස්ථාවර භාවයට පත්වීම ආරම්භ වී ඇති බවය. ආයෝජකයන් දැන් ධනාත්මකව සිතිය යුතුයි. ඔවුන් කෘත්‍රිම පොලී අනුපාත නිර්මාණය නොකර සාමාන්‍ය පොලි අනුපාතවලට නැඹුරැවීම අවශ්‍ය වෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පසුගිය 2018 – 2019 වසරවල ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳ පොළ දැඩි අර්බුදයකට ලක්ව තිබුණි. ඒ හරහා සිදුවූ ගනුදෙනු රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවේය. 2015න් පසුව කොටස් වෙළෙඳ පොළේ වර්ධනයක් සිදුව නොමැති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 2014 වනවිට දර්ශක 7000කට අධිකව තිබූ කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් පහළ බැස 6000ට ද අඩු තත්ත්වයට වැටුණි. මේ තත්ත්වයට හේතුවූයේ එදා සමාජයේ ඉහළ පැළැන්තියේ ආයෝජන මාධ්‍යයක්ව තිබූ කොටස් වෙළෙඳ පොළ සාමාන්‍යය ජනතාව සඳහා විවෘත වීමත් සමඟය. ඒ නිසා ඔවුන් උදාසීනත්වයට පත්වූ අතර සමහර අය අවිධිමත් ලෙස ආයෝජනය කිරීමට ගොස් අමාරැවේ වැටුණු බවද සැලවිය.
කෙසේ වුවද කොටස් වෙළෙඳ පොළ හරහා කරනු ගනුදෙනු රටට ඉතාම වැදගත් වන්නේ ඒ හරහා විදේශ විනිමය ලැබෙන බැවිනි. එසේ වුවද පසුගිය සමයේ අපේ රැපියලේ විදේශ අගය පහළ වැටීම, ආණ්ඩුවේ අස්ථාවර බදු ප්‍රතිපත්තිය, විදේශ ආයෝජකයන්ට පහසුකම් නොසැලසීම යන කරුණු නිසා කොටස් වෙළෙඳ පොළින් විදේශ ආයෝජකයන් ඈත් වීම සිදුවිය. රටේ ආර්ථික ප්‍රබෝධයක් ඇති නොවීම කොටස් වෙළෙඳ පොළ බිඳ වැටීමට හේතුවිය. එසේම තෙල් මිලේ තිබූ අස්ථාවර භාවය ද නිරන්තරයෙන් සිදුවන සේවක උද්ඝෝෂණ, වැඩ වර්ජන ආදිය ද විදේශ ආයෝජන කෙරෙහි අහිතකරව බලපෑවේය.
වර්තමානයේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රසාරණය වීම පිළිබඳ සහ එම තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා :-
“අපේ කොටස් වෙළෙඳ පොළ දේශීය ප්‍රබල ව්‍යාපාරිකයන් රුසකගෙන් සමන්විතයි. ඒ අය දිගටම කොටස් වෙළෙඳ පොළ කෙරෙහි දැඩි බලපෑම් එල්ල කළා. සමස්ත කොටස් වෙළෙඳ පොළ මෙහෙයවීමට ඒ අතර සිටින ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වෙනවා. පසුගිය ආණ්ඩු සමයේදී ඔවුන් ඇතැමෙකුට චෝදනා එල්ල වුණා. කොටස් වෙළෙඳ පොළට මැදිහත් වෙලා වංචනික ලෙස මුදල් සොයනවා කියලා. විශාල ලෙස මුදල් විශුද්ධිකරණය සිදුවූ අතර විශේෂයෙන් ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරලා විශාල ලෙස පාඩු ලැබුවා. ද්විතිය වෙළෙඳ පොළ හැසිරීම ගැන අවබෝධයකින් තොරව වැරදි ආයෝජනයෙන් රාජ්‍ය මූල්‍ය ආයතනවලට හානි සිදුවුණා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එක දිගටම විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරු කිහිප දෙනෙක්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංගගේ බිරිය ඇතුළුව ඉල්ලා අස්වූවා. ඇතැම් නිලධාරීන්ට ද ගෙදර යන්න සිදුවුණා. ඒ තුළින් මාෆියාවක් නිර්මාණය වූ බව පැවසිය යුතුයි. එය ආයෝජනයක් නොව මුදල් සූදුවක් බවට පත්වුණා. ඒ චෝදනාවලට විමර්ශන කටයුතු ආරම්භ වුණත් අතින් විමර්ශන වගේ ඒවත් යට ගියා.
මෑත කාලයේ මැතිවරණයේදී ඇතැම් ආයෝජකයන් සෑහෙන කාර්ය භාරයක් ඉටු කළා. පැවැති ආණ්ඩුව පරාජයට පත්කිරීමට. රජයට තිබූ චෝදනාව වූයේ ආර්ථිකය කඩා වැටිල්ලයි. එහි එක් ප්‍රබල සාධකයක් වූයේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමයි.
මෙම ජනාධිපති පත්වීමත් සමඟම කොටස් වෙළෙඳ පොළ විශාල වර්ධනයක් පෙන්නුම් කළා. පසුගිය සඳුදා ඒ අතරින් විශේෂයෙන් කැපී පෙනුණා. මෙයින් කියැවුණේ අලුත් ආණ්ඩුව යටතේ ආර්ථිකය වර්ධනය වෙනවාය යන පණිවුඩයයි. ඒ පිළිබඳ විශ්වාසය ඇතිකරන්නට කටයුතු කර තිබෙනවා.
වර්තමාන දත්තවලට ගොස් බැලූ විට රටේ ශුද්ධ ආයෝජනය පවතින්නේ ඍණ (-) අගයකයි. තවමත් විදේශීය ආයෝජකයන් තම කොටස් විකුණ ව්‍යාපාර අතහැර යාමයි සිදුවන්නේ. ඔවුන්ට අපේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තවමත් විශ්වාසය ගොඩනැගී නැති නිසයි මෙලෙස සිදුවෙන්නේ. එහෙත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ දේශීය ආයෝජකයන් වැඩි වශයෙන් කොටස් මිලට ගැනීමට පෙළඹ සිටීමයි. මෙයින් පෙනෙන්නේ සැඟවිලා සිටි දේශීය ආයෝජකයන් වෙළෙඳ පොළට ඇවිත් වෙළෙඳ පොළ හදනවා කියන එකයි. එහෙත් අප බලාපොරොත්තු විය යුත්තේ විදේශ ආයෝජන වැඩි විය යුතු බවයි. එහෙත් දැන් සිදුවන්නේ ඇතැම් කුප්‍රකට දේශීය ආයෝජකයන් කලඑළි බැහැලා වෙළෙඳ පොළ ඉස්සීමයි. කෙසේ වුවද මෙම තත්ත්වය ද රටේ ආර්ථිකයට යහපත්. මෙයින් මුදල් සංසරණය වැඩි වෙනවා. එහෙත් විදේශිකයන් තවම නොපැමිණීම නිසා වර්ධනයක් සිදුවෙන්නේ නැහැ. දැන් නිර්මාණය වී ඇත්තේ කෘත්‍රිම වර්ධනයක්.
දේශපාලන වශයෙන් අස්ථාවර වූ රට ස්ථාවර වූ විට විදේශ ආයෝජකයන් පැමිණිය හැකියි. දේශීය වශයෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැටුම ඉහළ ගිය විට විදේශීය අය ද පැමිණීමේ ප්‍රවණතාව වැඩියි. රටේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය වූ විට ආයෝජකයන් වැඩි වැඩියෙන් පැමිණේවි. අප කළ යුත්තේ ඔවුන් දිරිමත් කර ඇදගැනීමට කටයුතු කිරීමයි. විදේශ ආයෝජකයන් අපේ රට ගැන විශ්වාසයක් ඇතිකළ යුතු වෙයි. රටේ ආර්ථිකය සහ දේශපාලන පසුබිම ස්ථාවර කළහොත් ඔවුන් අපේ රටට පැමිණ ආයෝජන ඇති කරයි. කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට පෙළඹෙනු ඇති. අප ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියකට දැන්වත් යා යුතු වෙනවා. එවිට තමා ආයෝජකයන් තුළ බිය නැති වන්නේ. එහෙම නැතුව එක ආණ්ඩුවක වුණත් ඇමැතිවරු මාරුවන විට ආර්ථිකය මාරැවන ප්‍රතිපත්තියක් තමා අපට මෙතරම් කල් තිබුණේ. අපේ කොටස් වෙළෙඳපොළට ද ඒ තත්ත්වය බලපෑවා. අපේ ව්‍යාකූල බදු ප්‍රතිපත්තිය නිසා ආයෝජකයන් ආයෝජනයට පෙළඹීමට මන්දගාමී වුණා.
මොන ප්‍රශ්න තිබුණත් පසුගිය ආණ්ඩුවේ ගොඩනගා තිබූ ව්‍යාපාරවලට සුදුසු පරිසරය (Doing Business Index) තරමක් දුරට හෝ පැවතුණා. එහෙත් එයින් නියම ප්‍රයෝජන නොගැනීමයි වරද. විදේශිකයන් ගෙන්වා ගැනීම දිරිමත් කිරීමේ යෝජනා තිබුණත් ඒවා හරිහැටි ක්‍රියාත්මක වූයේ නැහැ. මේ වන විට එම දුර්වලතා නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන ගියහොත් කොටස් වෙළෙඳපොළ ප්‍රගතිය කරා යාවි. දැනට කොටස් වෙළෙඳපොළ තුළ ගොඩනැගී ඇති කෘත්‍රිම තත්ත්වය ස්ථාවර කර ගැනීම අලුත් ආණ්ඩුවේ වගකීමක් වෙනවා.
කොටස් වෙළෙඳපොළේ හැසිරීම ගැන සොයා බැලීම වැදගත් වෙනවා. අවස්ථාවාදී දේශීය ව්‍යාපාරිකයන්ට කොටස් වෙළෙඳපොළ තුළින් අධික ලාභ ලැබීමට අවස්ථාව නොදිය යුතුය. කූට ව්‍යාපාරිකයන් රිංගාගෙන පසුගිය කාලයේ මෙන් කෘත්‍රිම මිල මට්ටමක් නිර්මාණය කළහොත් එය කොටස් වෙළෙඳපොළේ ස්ථාවරභාවයට බාධකයක් වේවි. විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පළුඳු වේවි. කොටස් වෙළෙඳපොළ තුළ පූර්ණ තරඟකාරී වෙළෙඳ රටාවක් නිර්මාණය කිරීම වැදගත් වෙනවා. අසාමාන්‍ය ලාභ හුවා දැක්වීම වෙනුවට ස්ථාවර සාමාන්‍ය ලාභ මට්ටමක් පවත්වාගෙන යාම කෙරෙහි අලුත් රජයේ අවධානය යොමුවිය යුතු වෙනවා.
► යසවර්ධන රුද්රිගු