2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

දෙසැම්බර් 25න් පසු රජය බලවත් වේ

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර පහකට වරක් මැතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම දැන් අවසන් වී තිබේ. නව පාලනයක් ස්ථාපනය විය යුතුව ඇත. මැතිවරණයකදී පක්ෂ, පාට වශයෙන් මෙන්ම, කඳවුරැවලට, පිල්වලට බෙදී කටයුතු කළද පොදුවේ සෑම දෙනකුගේ බලාපොරොත්තුව වන්නේ යහපත් අනාගතයක් හා ජිවිතවලට වටිනාකමක් ලබාගෙන කරදරවලින් තොරව ජීවත්වීමයි.

අපගේ අත්දැකීම්වලට අනුව මෙතෙක් සිදුව ඇත්තේ ඉතා සුළු පිරිසකට සුවදායක ජීවිත ගතකරන අතර වැඩිදෙනකු තවදුරටත් දුකෙන් ජීවත් වීමයි. කෙසේ වෙතත් මෙම පොළෝ ගෝලය තුළ පවත්නා සියලු භෞතික වස්තූන්ට ග්‍රහ වස්තූන්ගෙන් එල්ලවන යහපත් හෝ අයහපත් බලපෑම් හරහා, එම බලපෑම්වලට අනුව හොඳ හෝ නරක අවස්ථාවන්වලට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකිය.

ජන සමාජය තුළ මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ග්‍රහ අපල සහ ශුභ ඵල යන පොදු නාමයෙනි. දැන් මැතිවරණය අවසන් වී තිබෙන අතර ඉදිරි කාලය කෙසේ වේද? රටට - ජනසමාජයට කුමක් සිදුවේද යන්න ජ්‍යොතිෂය ඇසුරෙන් විමසා බැලීම මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ. මෙතෙක් කල් රවි ග්‍රහයා තුලා රාශියේ ගමන් කරමින් සිට මැතිවරණය පැවති නොවැ. 16 දිනම රාත්‍රී 17දාට පහන්වන පෙරවරුවේ 12.41ට වෘශ්චික රාශිගත විය. ඒ අනුව නොවැ.17 දින ආලෝකය පැතිරෙන්නේ වෘශ්චික ලග්නය හරහායි.

සූර්ය සංක්‍රාන්තිය සිදුවන අවස්ථාවේ පසුගිය 17 උදේ කේන්ද්‍ර සටහන 2 වන රෑප සටහනේදී වේලාවට අනුව රවි ග්‍රහයා තුලා රාශිය අවසන් කර, වෘශ්චික රාශියට ඇතුළුවන වේලාවේ සිංහ ලග්නය උදාවී තිබුණු බව මුලින් කියන ලදී. එහි ග්‍රහ සටහනට අනුව රාශියට අධිපති රවි ලග්නයෙන් 04 වැන්නේ සිටී. මෙය භූමියයි.

මේ අනුව පෙනෙන දෙය නම් මහජනතාවගේ උනන්දුව වෙනදාට වඩා වේගවත් වීමයි. එසේම රජය විසින්ද විශේෂයෙන් භූමිය ආශ්‍රිත කටයුතු වේගවත් කිරීම, පරිසරය සිත්ගන්නා සුලු බවක් ගැනීම වැනි දේවල් හා උදාසීන බව දුරැ වී ක්‍රියාශීලී බවක් ඇතිවීමද සිදුවේ. අඩු වියදමකින් බොහෝ දේ ඉටුකර ගැනීමට හැකිවීමද මේ අනුව සිදුවේ. එහෙත් අභ්‍යන්තර මතවාද, යෝජනා, චෝදනාවන්ද මහජනයා අතර ඇතිවන්නට හේතු පෙනේ.

රජයට, රාජ්‍ය නායකයාටද ප්‍රමාණයට වඩා වැඩි වෙහෙසක් ගෙනෙන අතර, මෙම රවි වෘශ්චික රාශියේ සිටින 2019.11.17 දින සිට 2019.12.16 දක්වා කාලය මේ ආකාරයට කටයුතු සිදුවීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව කීමට පුළුවන. මෙම දෙසැම්බර් 25 වන දිනයෙන් පසු රජය බලවත් වනු ඇත. සාර්ථකව අවශ්‍යතා ඉටුවනු ඇත. මේ අතරම මෙම දෙසැම්බර් 26 වන දින වලයාකාර සූර්යග්‍රහණ නමින් වන සූර්ය ග්‍රහණයක් ද සිදුවීමට නියමිතව තිබේ. සාමාන්‍ය වශයෙන් සූර්ය ග්‍රහණවලින් සිදුවන අනිටු පල රජයන්ට, රාජ්‍ය නායකයන්ට, ප්‍රධානත්වය දරණ අයට අයහපත් ප්‍රතිඵල උදාකරන බව ජ්‍යොතිෂයෙහි පෙන්වා දී තිබේ. මෙය ලංකා කේන්ද්‍රයට අනුව කුම්භයෙන් 11 වැන්න වන ධනු රාශියේ සිදුවීමට නියමිතයි. මේ සියලු කරැණු සලකා බලන විට ඉදිරි මාස 06ක් පමණ ගතවනතුරැ පොදු වශයෙන් සාර්ථකම තත්ත්වයක් ලැබීමට බොහෝ උනන්දුව හා කැපකිරීම් අවශ්‍ය වන බව පෙනේ.

 

ඩී.ඩබ්.පී. ලියනගේ,
හෝකන්දර,
ජ්‍යොතීර්වේදී.