2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ටෙන්ඩර් නැති අණ්ඩර මැද රජයේ රෝහල්වල බෙහෙත් හිඟය

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 174

ඖෂධ මාෆියාවේ ඉහළ නිලධාරියෙක් ඉන්නවා
“බෙහෙත් හිඟයක් ගැන කතා නොකරන්නැයි ඇමැති බලපෑම් කළා”

හිටපු ඇමැති ප්‍රතිරූපය පුම්බා ගත්තේ බෙහෙත් ගන්න තිබූ මුදලින්
ලොක්කෙකු අටවාගත් ගජමිතුරු සමාගමකින් බාල බෙහෙත් ගෙන්වූවා

දිවයිනේ සියලු රජයේ රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප‍්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින්නේ කලක සිටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම විවිධ දිස්ත්‍රික්කවල රෝහල් අධ්‍යක්ෂවරු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තම රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් පවතින බව වරින් වර ප්‍රකාශ කළ අතර හිඟ ඖෂධ වර්ග පිළිබඳ දැනුම්වත් කිරීම් ද සිදු කළහ. එම ප්‍රකාශවලට පිළිතුරැ දෙමින් වෛද්‍ය සැපයුම් අංශය කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බවයි. කිසියම් ඖෂධයක හිඟයක් පවතී නම් ප්‍රාදේශික ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතිය යටතේ එම රෝහලට මිලට ගැනීමේ බලතල ඇතැයි ඖෂධ සැපයුම් අංශයේ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා මාධ්‍යට කියා තිබිණි.

වෛද්‍ය සැපයුම් අංශය ඖෂධ හිඟයක් නොමැති බවට ප්‍රකාශ කළද  රෝහල්වල පවතින ඖෂධ හිඟය තවමත් පවතී. පසුගිය රජය එම තත්ත්වය වසන් කිරීමට ඉමහත් උත්සාහයක් ගත් බවට සනාථ වන්නේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක “දේශයට” කළ මෙම ප්‍රකාශයත් සමඟිනි.

“මහරගම පිළිකා රෝහලේ ඖෂධ වර්ග 30ක 35ක පමණ හිඟයක් පවතිනවා. මම සෑම සතියකම රෝහලට අවශ්‍ය ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් සැපයුම් අංශයට යවනවා.  සාමාන්‍යයෙන් ඖෂධ වර්ග තුන හතරක හිඟයක් පැවතුණ ද මෙතරම් තදබල හිඟයක් මින් ඉහත පැවතුණේ නැහැ. ඖෂධ හිඟයක් පවතින බව හෙළිදරව් නොකරන ලෙසට හිටපු ඇමතිවරයා මට බලපෑම් කළා. මට අවශ්‍ය වූයේ අසරණ රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග කෙසේ හෝ ලබා දීමයි. රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැති බව වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන්විට  එසේ නොකරන ලෙසට ඇමැතිවරයා බලපෑම් කළා.

තමා කළ සියල්ල නිවැරැදි යැයි පෙන්වීම හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ අරමුණ වුණා. ඔහු කළ වංචනික ක්‍රියා අපි ජනාධිපති කොමිසම හමුවේ හෙළි කළා. “පිළිකා රෝහලේ අධ්‍යක්ෂ” යන තනතුර යටතේ මාව ජනාධිපති කොමිසමට කැඳවූවා. මා එහිදී සාක්ෂි දීමෙන් වැළැක්වීම සඳහා මට ස්ථාන මාරුවක් ලබා දීමට ඇමැතිවරයා උත්සාහ කළා. එහෙත් මැතිවරණ කොමිසමේ බලපෑම නිසා ඔහුට එය කළ හැකි වූයේ නැහැ. මම වසර 18ක් අපේක්ෂා රෝහලේ සේවය කරනවා. මේ රෝහල අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා විශාල සේවයක් කළා. එහෙත් ඇමැතිවරයා නිතර මට හිරිහැර කළා. ඔහු මට බැණ වැදුණේ ඕයි, තමුසේ වගේ වචනවලින්. පිළිකා රෝහලේ අධ්‍යක්ෂ ධුරය මෙන්ම පෞද්ගලික රෝහල් බාර අධ්‍යක්ෂ ධුරය දරන්නේද මායි. මම සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කළ බැවින් ඉදිරියේදී හිටපු ඇමැතිවරයාට නඩු දෙකකට මුහුණ දීමට සිදු‍ෙවනවා. එක් නඩුවක් බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන්. දෙවැන්න නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන්.” යැයි වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේය.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන සුවකළ හැකි පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, රුධිර වාහීනිවලට ලබාදෙන ඖෂධ, වේදනා නාශක ඖෂධ, ශල්‍යකර්මවලින් පසු ලබාදෙන වේදනා නාශක මෙන්ම ශල්‍යකර්මයකින් පසු රුධිර වහනය වැළැක්වීම සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු ඖෂධ 30ත් 35ත් අතර ප්‍රමාණයක හිඟයක් පසුගිය කාලයේ පැවතිණි. එම තත්ත්වය මත රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව සීමා කිරීමටද රෝහල් අධිකාරයට සිදුවිය. මේ වන විට නව සෞඛ්‍ය ඇමැතිවරිය විසින් ඖෂධ හිඟය අවම කිරීම සඳහා බොහෝ සාධනීය පියවර ගෙන ඇතැයි පැවසේ. 

ඖෂධ හිඟයක් ඇතිවීමට සාධක කිහිපයක් බලපෑවේය. ඉන් පළමුවැන්න ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් රුපියල් බිලියන 20ක මුදලක් ගෙවීම පැහැර හැර තිබීමය. අමාත්‍යංශයට මුදල් නොමැති යැයි පවසමින් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නොමැත. තමන්ට අයවිය යුතු මුදල් ගෙවන තෙක් සැපයුම් කළ නොහැකි බවට සැපයුම්කරුවන් ප්‍රකාශ කර තිබේ. රුපියල් බිලියන 20ක් එකවර ගෙවීමට භාණ්ඩාගාරයට සිදුව ඇත. මේ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරිය භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. එහෙත් බිලියන 20ක් එකවර භාණ්ඩාගාරයට ගෙවිය හැකිද යන ගැටලුව මතුව තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක සඳහන් කරන පරිදි ඖෂධ සැපයුම්කරුවන්ට නියමිත පරිදි මුදල් නොගෙවීම මෙන්ම මෙරටට ගෙන්වන ඖෂධවලින් විශාල කොමිස් මුදල් ලබා ගැනීමට ඇතැම් පිරිස් ක්‍රියා කිරීමද ඖෂධ හිඟයට බලපා තිබේ. එම පුද්ගලයන් ඉල්ලා සිටින කොමිස් මුදල නොලැබුණු විට එම ඖෂධය නොගෙන්වූ අවස්ථා තිබූ බවට වාර්තා වේ. දේශපාලන බලධරයකුගේ සමීපතමයකුට හා හිතවතකුට  අයත් සමාගමකින් ප්‍රමිතියෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවට බරපතළ චෝදනාවක් ද එල්ල වී තිබේ.

“අපට ලැබුණු ඇතැම් ඖෂධ නියමිත ප්‍රමිතියට වඩා පහළ තත්ත්වයක පැවති බැවින් එවැනි ඖෂධ අපි ප්‍රතික්ෂේප කළා. රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දීමෙන් ඔවුන්ගේ රෝගය සුව වන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකවර වසරකට පමණ ප්‍රමාණවත් ඖෂධ මිලට ගන්නා බැවින් එවැනි ඖෂධ ප්‍රතික්ෂේප කිරීම නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වෙනවා.”

නව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ  වන විට හිඟ ඖෂධවලින් යම් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවද වාර්තා වේ. එහෙත් මෙම අර්බුදය දිනකින් හෝ දෙකකින් විසඳය හැක්කක් නොවේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන පරිදි ඉදිරි මාසය තුළ නිවැරදි තීන්දුවක් නොගතහොත් මෙම අර්බුදය තවදුරටත් වර්ධනය විය හැකිය. ඖෂධ සැපයුම්කරැවන්ට ගෙවීමට ඇති රුපියල් බිලියන 20ක පමණ මුදල ගෙවන තෙක් ඔවුන් ඖෂධ සැපයුම නවතා දමා ඇති හෙයින් ජීවිතාරක්ෂක ඖෂධ හා වෙනත් අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වලට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

“හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා තම ප්‍රතිරූපය ගොඩඟා ගැනීම සඳහා නොමිලයේ කාච දීම, ස්ටෙන්ට් ලබා දීම වැනි විවිධ දේශපාලන ව්‍යාපෘති සිදු කළා. මේ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අමතර මුදලක් වෙන්කර තිබුණේ නැහැ. ඔහු ඒ සඳහා භාවිත කළේ රෝහල්වලට  පැරසිටමෝල් පෙත්තේ සිට ජීවිතාරක්ෂක ඖෂධ දක්වා මිලදී ගැනීමට තිබූ මුදල්. ඖෂධ මිලදී ගැනීමට වෙන්කර තිබූ මුදල් ඔහු වෙනත් ව්‍යාපෘති සඳහා යෙදවීම හේතුවෙන් අද රෝහල්වලට ඖෂධ මිලට ගැනීමට මුදල් නැහැ. මෙම කාච සහ ස්ටෙන්ට් මිලදී ගත්තේද නියමිත පරිදි මිල ගණන් කැඳවා නොවෙයි. ඒ සියල්ල මිලට ගත්තේ එකම සමාගමකින්. එතුළින් විවිධ අක්‍රමිකතා සිදු වුණා. මෙම ඖෂධ මාෆියාවට ඖෂධ සංස්ථාවේ ඉහළ පුද්ගලයන්ද සම්බන්ධයි. එහෙයින් ඖෂධ හිඟයට කඩිනමින් පිළියම් සෙවීම පහසු කරුණක් නොවෙයි.

නව සෞඛ්‍ය ඇමතිවරිය ඖෂධ සැපයුම් අංශයට දූෂණ හා වංචාවලින් තොර නව අධ්‍යක්ෂවරයෙක් පත් කළා. ඖෂධ සංස්ථාවට ද සුදුසු පුද්ගලයකු පත් කළ යුතුයි. එවැනි කටයුතු අවසන් කොට මිලදී ගැනීමේ කටයුතු යාවත්කාලීන කිරීමට අවම වශයෙන් මාස දෙකතුනක්වත් ගතවේවි. එතෙක් කෙටි කාලීන විසඳුම් සෙවිය යුතුයි. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා කිසියම් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ඖෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරැන්ගෙන් අදහස් විමසීමට කටයුතු කරනවා. දැනට ප්‍රාදේශික රෝහල්වලට තාවකාලික මිලදී ගැනීම් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ඒ ඔස්සේ ඖෂධ මිලදී ගැනීම් සිදු කෙරුණද අවශ්‍ය සියලු ඖෂධ නියමිත පරිදි ලැබෙන්නේ නැහැ. ප්‍රා‍දේශික වශයෙන් ඖෂධ මිලට ගැනීමේදී ඒවාට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුවෙනවා. කිසියම් රෝහලකට මසකට අවශ්‍ය ඖෂධ එකවර ලබා ගැනීමට මුදල් නැහැ. ඒ නිසා ඔවුනට සිදුවන්නේ සතියකට සරිලන ඖෂධ මිලදී ගැනීමට පමණයි. අවශ්‍ය සියලු ඖෂධ මධ්‍යම ඖෂධ ගබඩාව මගින් මිලට ගෙන එමගින් රටපුරා බෙදා හැරිම ක්‍රමවත් කළ යුතුයි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා බලයට පැමිණි වහාම ඖෂධ සැපයුම් ගබඩාව සතු බලතල සියල්ල ඉවත් කර  එය ඖෂධ සංස්ථාව වෙත පවරා ඔහුට අවශ්‍ය පරිදි සියලු කටයුතු මෙහෙයවීමට පියවර ගත්තා. මෙම තත්ත්වය යළි සමාලෝචනය කොට කෙටි කාලකින් නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. එතෙක් රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීමේ අවුල් සහගත තත්ත්වයක් පවතීවි.

පසුගිය වසර 4ක කාලය තුළ මෙරටට ආනයනය කළ ඖෂධ තත්ත්වයෙන් බාල බවට ජනාධිපති විමර්ශන කොමිසම මගින් කරන ලද විමර්ශනයේදී අනාවරණ වුණා. තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට, ඖෂධ සංස්ථාවට හා ඖෂධ නියාමන අධිකාරියට දණ්ඩනීති සංග්‍රහය යටතේ හා අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු බවට ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම රුපියල් බිලියන ගණනක බාල ඖෂධ මෙරටට ආනයනය කර ඇතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන්ද තහවුරු කර තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධවේදිවරයා ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ වර්ගවලින් 80% පමණ ලොව කිසිදු රටකින් මිලදී නොගන්නා බවයි. එම ඖෂධ ශ්‍රීලංකාව සඳහාම ඉන්දියාව, මාලදිවයින වැනි රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් බාල ඖෂධ. මෙලෙස ආනයනය කරන ලද ඖෂධ තත්ත්වයෙන් බාල බවට සනාථ වන විට ඒ සියලු ඖෂධ රෝගීන්ට ලබා දී අවසානයි. මෙය රෝගීන්ට කළ විශාල අසාධාරණයක්. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස තත්ත්ව පාලන රසායනාගාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් සෞඛ්‍ය ඇමැතිනියට පෙන්වා දුන්නා.”

මේ වනවිට ඇතැම් රෝහල්වල ඇස්ප්‍රින් වැනි ඖෂධ පවා නොමැති තත්ත්වයක් උදා වී තිබේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මාතෘ මරණ සිදුවන්නේ ඉතාමත් අවම වශයෙනි. ඖෂධ හිඟය හේතුවෙන් පසුගිය කාලයේ මාතෘ මරණ පවා සිදු වී තිබේ. අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ පවා නිසි පරිදි රෝගීන්ට ලබා දීමට පසුගිය පාලන සමයේ නොහැකි වී තිබේ. රෝහල්වල නොමැති ඇතැම් ජීවිතාරක්ෂක ඖෂධ පිටතින් මිලට ගැනීමට බොහෝ රෝගීන්ට සිදු විය.. මැග්නීසියම් සල්ෆේට් වැනි ඇතැම් ඖෂධ වර්ග පෞද්ගලික අංශයෙන් හෝ මිලදී ගැනීමට නොතිබූ බවත්. රෝගීන් මිය යනවා බලා සිටින්නට වෛද්‍යවරුන්ට සිදුවූ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.‍

දේශපාලනඥයන්ගේ, කොමිස් කාක්කන්ගේ සහ මහජන මුදල් අවභාවිත කරන්නන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වන්නේ අහිංසක ජනතාවය. දිළිඳු ජනතාව රජයේ රෝහල් වෙත පැමිණෙන්නේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත යෑමට හෝ මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමට වත්කමක් නොමැති බැවිනි. දේශපාලනඥයෝ දිළින්දන්ගේ ජීවිතවල අගයක් නොදනිති. ඔවුන්ගේ එකම අරමුණ තම මඩිය තරකර ගැනීම පමණි. මෙවැනි තත්ත්වයක් යටතේ අසරණ රෝගීන්ට දෙවියන්ගේම පිහිට හැර වෙනත් විකල්පයක් නොමැත්තේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00