2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

වසර මිලියන 3කට පසු අඟුරු වායුව නපුරු මට්ටමක!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

ලෝකය පිළිබඳ භයානක ආරංචියකින් පසුගිය සතිය කැළඹුණි. සතිය මුලදීම ලෝක කාලගුණ සංවිධානය නිකුත් කළ වාර්තාවක් හේතූකොටගෙනය. වසර මිලියන 3කට පසු මානව ඉතිහාසයේ වාර්තාගත ඉහළම කාබන්ඩයොක්සයිඩ් හෙවත් අංගාරිකම්ල වායු සාන්ද්‍රනය මේ වනවිට අපේ වායුගෝලයේ රුස්ව ඇති බවට එය අනතුරැ ඇඟවූයේය. ඉකුත් 2018 වසරේ මේ කාලය වනවිට මිලියනයට කොටස් 406 ලෙස වාර්තා වූ මේ මහ පොළොව ගිනි රත්කරන වායුව දැන් මිලියනයට කොටස් 408.53ක අතිශය ඉහළ මට්ටකට එක්රැස්ව ඇති බව එය කීවේය. දැන්නම් එනපොට හොඳ නැති බව එය ලෝක නායකයන්ට තරවටු කර තිබුණේ මේ යන අන්දමට ගියොත් ලෝකය රත්වී සිදුවන දේශගුණ විපරියාසය නැවත කිසිදා ආපසු හැරවිය නොහැකි මට්ටමටම රතු කට්ට පැන යා හැකි බවටය. ඒ සමගම යුරෝපා සංගමය දේශගුණික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. බරපතළ දේශගුණ අභියෝග උදෙසා විසඳුම් සොයන්නට ලෝක බලතුන් සහ බුද්ධිමතුන් 25,000කට අධික පිරිසක් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවරට ගොඩවැදුණේ ඒ සමගිනි.

මැඩ්රීඩ් නුවර මුළුදුන් එක්සත් ජාතීන්ගේ COP25 අන්තර්ජාතික පරිසර සමුළුවේ ප්‍රමුඛ මාතෘකාව වූයේද, ප්‍රධාන පෙළේ හරිතාගාර වායූවක් වන මේ කාබන්ඩයොක්සයිඩ් ගොඩගැසීමේ අලකලංචියයි. එය ප්‍රමුඛ හරිතාගාර වායූන් පාලනයකින් තොරව එක්වීම නිසා ලෝකය මුහුණපානා අබග්ගයන්ගෙන් ගැලවිය හැකි ආකාරයයි. අමෙරිකා වාණිජ ආයතනයට අනුබද්ධිත NOAA පර්යේෂනාතනයේ ලෝක හරිතාගාර වායු නිරීක්ෂණ ජාලයේ යාවත්කාලීන දත්ත පෙන්වා දෙන්නේද ඉතා භයානක චිත්‍රයකි. එයට අනුව කාබන්ඩයොක්සයිඩ් පමණක් නොව මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් නමැති භයානක හරිතාගාර වායූන්ගේ සාන්ද්‍රනයද දරැණු ලෙස ඉහළ ගොස් තිබේ. නිදසුනක් ලෙස 2018 නොවැම්බරය වනවිට බිලියනයකට කොටස් 1849ක්ව පැවති මීතේන් සාන්ද්‍රනය මේ වසරේ නොවැම්බර් 5 වනවිට බිලියනයට කොටස් 1858.6ක් ලෙස ඒකක 9කින් ඉහළ ගොසිනි. කාබන්ඩයොක්සයිඩ් ඒකක 2කින්ද, නයිට්‍රස් ඔක්සයිඩ් ඒකක 1.2කින්ද, සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් 0.36ක ඒකක ප්‍රමාණයකින්ද ඉහළ ගොසිනි.

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රනය මේ හා සමාන වාර්තාගත මට්ටමකින් මෙයට පෙර වාර්තාගතව ඇත්තේ වසර ලක්ෂ 30කට පෙරය. එදා මහ පොළොවේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 2-3 අතර අගයකින් වෙනස් වී ගියේය. මේ නිසා ඒ කාලයේ සාගර ජල මට්ටමද මීටර 10-20 අතර ප්‍රමාණයකින් ඉහළ ගියේය. ගොඩබිම් රැසක් යටව ගියේය. අද මේ නැවත සිදුවෙමින් පවතින්නේද එයයි. දැන් පවතින්නේ මෙයට වසර 30කට පෙර මහ පොළොව වටා වායුගෝලයේ පැවති කාබන්ඩයොක්සයිඩ් මට්ටමට  වඩා සියයට 43ක ඉහළ මට්ටමකි. මේ තත්ත්වය මෙම මොහොතේම පාලනය කර නොගතහොත් එමගින් සිදුවන හානිය නැවත හැරවිය නොහැකි මට්ටමකට පත්වෙනු ඇත. යූරෝපා සංගමය දේශගුණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේ ඒ බැරූරැම් තත්ත්වය සලකා බලාය. මේ වචනයද ලෝකයට අලුතෙන් එක්වූවකි. එය මේ මිනිස් බලපෑම හේතුවෙන් ඇතිවූ විපර්යාස තත්ත්වය නිසාම බිහි වූවකි. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය එය ‘2019 වසරේ වචනය^ හැටියට හඳුන්වාදී තිබේ. එය ඒ තරම්ම භාවිත වන්නා වූ මිනිස් වර්ගයාට තදින්ම දැනෙන වචනයක්ව ඇති හේතුවෙනි. 2019 වසර තුළ එය භාවිතය සියයට 10796කින් ඉහළ ගොස් තිබුණි. ඒ තරම්ම මේ ගැටලුව සාකච්ඡාවට ලක්ව ඇති හෙයිනි.

වායුගෝලීය හරිතාගාර වායූ සාන්ද්‍රනය ඉහළ යාම නිසා කැපී පෙනෙන අන්දමට ලෝක සාගර ජල මට්ටම ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා මගින් ලද දත්ත තහවුරැ කරයි. 1900 – 2016 අතර කාලය තුළ සෙමෙන් එහෙත් ස්ථාවර ලෙස මේ සාගර මට්ටම අඟල් 3කින් ඉහළ ගොස් තිබේ. තවදුරටත් එහි බලපෑම ඉහළ යමින් පවතී. මේ අඟල් 3ක් වන සුළු යැයි සිතෙන මට්ටමේ වෙනස ඇතිකර ඇති දේශගුණයේ අහිතකර බලපෑම සුළුපටු නොවේ. එහි ඵල විපාක වර්තමානයේදී අප අත්විඳිමින් සිටින්නෙමු. දැනට නොකල්හි නොසිතූ තැන්වල වාර්තාවන හදිසි කුණාටු සුළිසුළං මෙන්ම හදිසි  තාප වායුධාරා පැතිර යන ඌෂ්ණ කලාප වාර්තාවීම, සාගර ජලආම්ලිකතාව ඉහළයාම, ආර්ක්ටික් කලාපයේ හිම දියව යාම, හදිසි ලැව්ගිනි බහුලතාව, කාන්තාරකරණය ඉහළයාම සහ ඉඩෝර ඒ සඳහා සුලබ උදාහරණයන්ය. මේ සමස්ථ හේතු නිසා ඇතිවන වාසභුමි අනතුරට ලක්වීමෙන් උන්හිටිතැන් අහිමිව ගිය ජන කණ්ඩායම්ද දැන් බිහිව තිබේ. වෙනෙකක් තබා ඔවුන් හැඳින්වීමට දැන් Environmental migrants හෝ Climate refugees යන අලුත් වචනද භාෂාවට ලහිලහියේ එක්ව හමාරය.

දැන් ඇරඹි මේ වනවිටත් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර අභියෝග සඳහා පිළියම් සාකච්ඡාවට ගන්නා COP25 සමුළුවේ මුලික අභිප්‍රාය වී ඇත්තේද මේ කියන පාරිසරික අලකලංචියට පිලියම් ඉදිරිපත් කළ 2015දී අමෙරිකාව කර හැරගිය පැරිස් සම්මුතිය බලගැන්වීම සඳහා සමස්ථ ලෝකයම එක්කර ගැනීමය. ඒ සඳහා අපොහොසත් වීම යනු 2020-2030 වනවිට ගෝලිය හරිතාගාර වායු විමෝචනය වසරකට සියයට 7.6 බැගින්  අවමකර ගැනීමට නොහැකි වීමය. ඒ හේතුවෙන් පැරිස් සම්මුතියේ එල්ලය වන 2030 වනවිට ඌෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 මට්ටමට සීමාකර ගැනීමට නොහැකි වීමය. එයින් නොකියා කියන්නේ අපි හැමදෙනාටම Climate refugees, නම යෙදෙන දිනය වැඩි ඈතක නොවන බවය.


සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00