වැදිනායකයා තම පරපුරේ හිස්කබලක් සමඟ
පසුගියදා ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේදී අවුරුදු 200කට පමණ පෙර එරටට පර්යේෂණ සඳහා රැගෙන ගිය හිස්කබල් නවයක් ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට බාර දෙනු ලැබිණි. මෙය තවත් අතුරු කතා රාශියක් වෙත මගේ මතකය රැගෙන යන පුවතකි. ඇතැම් මතකයන් හිස්කබල්වලට අදාළ ඒවාය. එම ඇතැම් මතකයන් වැදිජනයාට අදාළය. සමහර මතකයන් පුදපූජාවලට අදාළය.
මෙම හිස්කබල් නවය ශ්‍රී ලංකාවේ වැදි ජනයාගේම වග තහවුරු වූ බවද එකී පර්යේෂණ අංශය සඳහන් කළ බව වාර්තා වූයේය. නෑ යකුන් පිදීම වැදිජනයාගේ චාරිත්‍රයක් නිසා මෙම අතීත නෑයින්ගේ හිස්කබල් ඔවුනට ඉතා වටිනා බවට අදහස් පළවී තිබිණි. වැද්දන් අදහන නෑ යකුන් අතර ඉතා ප්‍රබල නෑ යකා වන්නේ කන්දේ යකා බවද ඇතැම් තැනක සඳහන් වේ.
“කන්දේ දෙයියන්ට පින් දීපන් නෑනෝ..” බඹර කැපිල්ලේ ගායනාවල එන මේ ගී පදයේ කියන්නේ ඉහත කී කන්දේ යකාද යන්න පැහැදිලි නැත.
පැරණි සිංහල ගැමි ඇදහැලිවල නම් යකාට දෙයියා කීමත් දෙයියාට යකා කීමත් සුලභව සිදුවේ. (උදා කොහොඹා යකා/ කොහොඹා දෙයියා) ඇතැම් පැරණි සිංහල ජනයාද කන්දේ දෙයියන්ට දුක කියති. “කන්දේ දෙයියන්ටම පෙනියන් මේ අවනඩුව.” යන්න ඉස්සර මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ නිතර කියවිණි. කන්දේ දෙවියන් කියන්නේ ස්කන්ධ කියන වචනය කටවහරට හරවා කියන්නක් බැවින් එයින් හඟවන්නේ කතරගම දෙවියන් බව ඇතැම්හු කියති.
කන්දේ යකා - කන්දෙ දෙයියො - ස්කන්ධ - කතරගම දෙවියො යන මේ පද සමඟ මගේ මතකය නැවත දිවයන්නේ හිස්කබල් වෙතය. එක පෙළට තැබූ හිස්කබල් නවය සමඟ අපේ මූර්ති ශිල්පියකු කළ අපූරු නිර්මාණයක් මගේ මතකයට නැගේ.
එකට ඇලුණු හිස් හයක හිස්කබලක් ලෙස නිර්මාණය වුණු මූර්තියක් ප්‍රවීණ මූර්ති ශිල්පී අනුර දහනායක ළඟ තිබේ. මෙය මුල් වරට මා දුටුවේ මහරගම පිහිටි අනුරගේ නිවසේ ඔහුගේ නිර්මාණ එකතුව ප්‍රදර්ශනය වන පහත මාලයේ කාමරයේදීය. මූර්ති ප්‍රදර්ශනවලට ද ඔහු එය ඉදිරිපත් කොට තිබිණි. මෙම එකට ඇඳුණු හිස්කබල් හය දැක්වෙන මූර්තිය අනුර දහනායකගේ අද්විතිය නිර්මාණයක් ලෙස මම සළකමි.
දේව සංකල්ප, දෙවිරූ නිර්මාණ දේව පිළිම ආදිය නිර්මාණය වූයේ මිනිසා අතීතයේ පටන් ලෝදහම වටහා ගන්නට දැරූ උත්සහයේ ප්‍රථිපලයක් ලෙස බව කිව හැකිය. සොබාදහමත්, මානව ජීවිතයට බලපාන සංසිද්ධීත් ආදියත් නිර්මාණය කරන දෙවියා මේ ආකාරයයි මිනිසා සිතුවේය. තමා මේ යැයි සිතන දෙවියාගේ රූපය මිනිසා චිත්‍රයට නැගුවේය. ග්‍රීක මිත්‍යා විශ්වාස හා හින්දු දේවකතාවලට අදාළව අපට ලැබී ඇති දේව රූප මිනිසා ඉහත කී ආකාරයෙන් නිර්මාණය කළ ඒවාය. පුදපූජා කරනු පිණිස දේවාලවල එල්ලා ඇති සියලු දේවරූප මිනිසාගේම නිර්මාණයන්ය. මුහුණු සයක් ඇති කතරගම දේව රෑපයද එවැන්නකි. ඒවා මානවයාගේම නිර්මාණයන්ය.
අවිචාරයෙන් කරන දේව ඇදහිලිවලට බුදුගුණලංකාරයෙන් වීදාගම මෛත්‍රීහිමියෝ පහර දුන්හ. හින්දු දේව කතා, හින්දු දේව රෑප අවිචාරයෙන් අදහන බැතිමතාට විචාර බුද්ධිය මෙහෙයවන ලෙස වීදාගම මෛත්‍රී හිමියන් අවවාද දෙන්නේ කවියෙනි. කවියේදී භාවිතා වෙන්නේ වචනයි.
“දළැ අඩ සඳ බඳින
ගොරසප් හරක් පළඳින
රහ කරන දින දින
මහලු ගොන් වාහනෙන් ඇවිදින”
ආදී වශයෙන් ඉහත කී දෙවි රූ පිළිබඳව වීදාගම හාමුරුවෝ උපහාසයෙන් වදන් කියන්නේ පාඨකයාගේ විචාර බුද්ධිය අවුස්සාලීමටයි.
හිස්කබල් හයක් එකට යාවූ මූර්තියකින් අනුර දහනායක කර ඇත්තේද රසිකයාගේ විචාර බුද්ධිය අවුස්සාලීමයි. මානවයාගේ පරිනාමය වටහා ගැනීම උදෙසා චාර්ල්ස් ඩාර්වින්, පරිණාමය පිළිබඳ මතවාදය ඉදිරිපත් කළේය.
ඔස්ට්‍රැලෝපිතිකස් අෆාරෙන්සිස්, හෝමෝ ඉරෙක්ටස්, හොමෝ හෙයිඩෙල් බර්ජෙන්සිස්, හොමෝ නියැන්ඩතාලෙන්සිස්, හෝමෝ ක්‍රෝ මැග්නොන්, හෝමො සාෆියන්ස් ආදී මානවයන් පිළිබඳ මත විද්‍යානුකූලව ඉදිරිපත් කරනු ලැබූයේ අහම්බෙන් හෝ කැනීම්වලින් මතුවන අදිතමයන්ගේ හිස්කබල්, ඇට කැබලිති ආදිය ආශ්‍රයකොට ගෙනයි.
අනුර දහනායක එකදු වචනයකුදු නොකියා තම මූර්තිය හරහා අපට ආරාධනා කරන්නේ පරිනාමවාදය පිළිබඳ දැනුම හිත රඳවාගෙන තම මූර්තියෙන් කියවෙන දේ ඔස්සේ විචාර බුද්ධිය මෙහෙයවන ලෙසයි. කොටින්ම ඔහු තම නිර්මාණයෙන් නිහඬව ප්‍රශ්න කරන්නේ මෙහෙව් හිස්කබලක් තිබිය හැකිද යන්නයි.
අනුර දහනායක මූර්ති ශිල්පියකු පමණක් නොවේ. ඔහු මුද්‍රණ ශිල්පියෙක්ද වෙයි. චිත්‍ර ශිල්පයේ මෙන්ම පෝස්ටර නිර්මාණයේ ද ඔහු දක්ෂය. වරෙක ඔහු කවියෙකි. තවත් වරෙක නවකතාකරැවෙකි. තවත් වරෙක නාට්‍ය රචකයෙකි. රාජ්‍ය සම්මාන උළෙල රාශියකම සම්මාන නිර්මාණ කළේ අනුර දහනායකයි.
වැදි චාරිත්‍ර වාරිත්‍ර ගැනත් වැදි බස ගැනත් වන්නිලා ඇත්තො ගුවන් විදුලියේ කතා කරනවා ඇසුණේ අප කුඩා කාලයේදීමය. තිසා හාමිලා ඇත්තන් ඉන්නා කාලයේදීමය. වන්නිලා ඇත්තන්ට තිබෙන්නේ ගුවන් විදුලි නිවේදකයකුට උචිත ගැඹුරු පැහැදිලි කටහඬකි. හිස්කබල් බාර ගැනීමේ චාම් උත්සවයට සහභාගී වූ වන්නිලා ඇත්තෝ එහි ඡායාරූපවලට පෙනීසිටියේ උරෙහි පොරව රඳවාගත් සුපුරුදු නිරුවත් උඩුකය සහිතවය. ස්කොට්ලන්තයේ සීතලෙන් ඔහු පීඩාවිඳින බවක් එම ඡායාරූපවල කොහෙත්ම නොපෙනේ.
හිස්කබල් අතැතිව ඉන්න ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඡායාරූප බොහෝමයක් අන්තර්ජාලයේ ඇත. හිස්කබලක් අතැතිව ඉන්නා හැම්ලට් කුමාරයගේ චරිතයට අයත් ඡායාරූප ද අන්තර්ජාලයේ බොහෝය. ඒවා ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ පස්වැනි රංගයට අයත් ඡායාරූපයි. සොහොන් බිමක පසුබිමේ සිදුවන එම රංගනයේදී හැම්ලට් එම හිස්කබල කාගේ දැයි සොහොන් පල්ලාගෙන් අසයි. ඔහු පිළිතුර දෙන්නේ එම හිස්කබල “වරක් යෝරික්ට” අයත්ව තිබූ බවයි. යෝරික් යනු හැම්ලට්ගේ පියාගේ රජවාසල කවටයාය. හැම්ලට්ගේ පියාව ඔහුගේ සුළු පියා විසින් රහසේ ඝාතනය කරනු ලබයි. හැම්ලට්, යෝරික්ගේ හිස්කබල අතට ගෙන මෙසේ කියයි.
“අහෝ අසරණ යෝරික්!
මා මොහුව අඳුරනවා හොරේෂෝ
අනන්ත කවටකම් කළ විකටයෙක් මේ
දහස් වාරයක් මොහු මා පිටේ හොවාගෙන
යන්නට ඇති...”
ඉන්පසු හැම්ලට් ජීවත්වන අයකු සමඟ කතා කරන්නෙක් මෙන් හිස්කබල සමඟ කතා කරයි. ඔබේ මුවේ ඉස්සර තිබුණු කවටකම්, කියූ ගී කවි කොහිදැයි අසයි.
ශේක්ස්පියර්ගේ බසින් කියන්නේ නම් වන්නිල ඇත්තන් අතේ තිබෙන්නේද “වරක් ආදීවාසී වැද්දකුට” අයත්ව තිබූ හිස්කබලකි. (මේ ආදීවාසී වැද්දාට දැන් හිස්කබල අයිති නැත.) වැද්දන් නෑ යකුන් පුදන විට කියනා ස්ත්‍රොත්‍ර යාදින්නක් ආර්.එල්. ස්පිට්ල්ගේ “මැකීගිය දඩමං” පොතේ ඇත.
“ආයුබෝවේවා ආයුබෝවේවා
කන්දේ හැටහත් තට්ටුවට නායක වූ
කන්දේ මුල්පොත වන්නියාට
අදටත් මං ඔප්පු කරන්නේ
රූ අඩුක්කුවට තමුන්නාන්සේලා
ඊශරෙන්, වෙඩි ශරෙන්, කොකා ශරෙන්
පියා ශරෙන්, දිවස් කරුණාගෙන
මේ අඩුක්කු අඹ ගහ දුන්නා
කෑවා බුන්නා කිසි වරදක් හිතන්ඩ එපා
අපිත් කනවා බොනවා...”
අපේ මිත්‍රයකු “මැකීගිය දඩමං” ගැන අලුත් පරම්පරාවේ පොඩි දරුවකුට කී විට ඔහු මෙසේ අසා තිබුණේය.
“සුද්දෙක් හංටිං ගිය හැටිද?”
“සුද්දෙක්?”
“ඔව් මැකී කියන්නෙ සුද්දෙක් නෙවෙයිද?”
මැකී ගිය දඩමං පොතේ ඉංග්‍රීසි නම Vanished Trails යයි මිත්‍රයා පොඩි එකාට කියාදී තිබිණි.
වැදි ගී, වැදි කතා ආදියෙන් සිංහල සාහිත්‍ය හොඳින් පෝෂණය වී තිබේ. සිංහල ගීත සාහිත්‍ය ඒවායින් වඩාත් පෝෂණය වී ඇත. අමරදේවයන් කිරිහාමි මොහොට්ටාලගේ වැදි ගී එකතුවකින් ගායනා කරන “චන්දෝ මා බිළිදෝ” ගීය ඊට හොඳම උදාහරණයකි. බෙංගාලි ගායිකා සුජිත්‍රා මිත්‍ර සමඟ අමරදේවයන් ගායනා කළ එම ගීයේ කොටසක් ඉස්සර ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේය. නැලැවිලි ගීයක් වන එහි මොනවට චලන රෑප වචනයෙන් මවා තිබිණි.
“පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ළඟ කැඳවන්නා
අන්න බිළිඳු රිළවුන් පැන යන්නා...”
බොහෝ වැදි පවුල් මේ වනවිට නූතන සමාජ රටාවට හැඩගැසී ඇත. නවසිය තිස් හතළිස් ගණන්වලදී වැදි දරුවකු කොළඹ සමාජයට හැඩ ගස්වන්නට දොස්තර ස්පිට්ල් ගත් උත්සාහයක් පිළිබඳව ඔහුගේ දියණිය වන ක්‍රිස්ටිනා විල්සන් ලියූ පොතක තිබුණු සඳහනක් මගේ මතකයේ ඇත. එහි කියා තිබුණු අයුරු ආර්.එල්. ස්පිට්ල් මහතා වැදි ගමකින් “කයිරා” නැමති කොලුවාව බුලර්ස් පාරේ පිහිටි (දැන් විචේලි අන්තර්ජාතික පාසල පිහිටි ගොඩනැගිල්ල) ඔහුගේ නිවසට කැඳවාගෙන ආවේය. දොස්තර ස්පිට්ල් සිය දියණිය ළවා ඔහුට ඉංග්‍රීසි බස ඉගැන්වූයේය. මුල් කාලයේ කීකරුව සිටි කයිරා කල්ගත වෙද්දී අකීකරු වූයේය. නිතර නිවසින් පිටව රස්තියාදුවේ යන්නට ඔහු පුරුදු වූයේය. ඔහු කෙමෙන් මුදල් භාවිතයට පුරුදු වූ පසු සොරකම් කරන්නට ද පෙළඹුණේය. කයිරා දුරාචාරයේ යන්නට පුරුදු වූ පසු දොස්තර මහතාට ඔහුව අතහැර දමන්නට සිදුවෙයි. මරදාන පැත්තට ගොස් ගණිකාවන් ඇසුරු කරන්නට ද ඔහු නැඹුරැ වෙයි. කයිරා මිය යන්නේ ඔහුට සමාජ රෝගද වැළඳීමෙන් අනතුරුවයි.
කළ යුතුව තිබුණේ ශිෂ්ට යයි පිළිගත් සමාජය විසින් වැදි බස, වැදි සංස්කෘතිය පෝෂණය කිරීමයි. එහෙත් සිදුව ඇත්තේ ශිෂ්ඨ යයි සම්මත සමාජය වැදි ගී, වැදි කවි, වැදි කතා ආදියෙන් තම සංස්කෘතිය පෝෂණය කර ගැනීමයි. අවුරුදු 200කට පමණ පෙර වැද්දන්ගේ හිස්කබල් රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතිකයන් ද සිදුකර ඇත්තේ එකී හිස්කබල් යොදාගෙන කළ පර්යේෂණවලින් තමන්ගේ සංස්කෘතිය විද්‍යාඥානය පෝෂණය කර ගැනීමයි. දැන් ඒ හිස්කබල් “වරක් වැදි ජනයාට අයිතිව තිබූ හිස්කබල්ය.”
සමන් පුෂ්ප ලියනගේ