- කුමාර හෙට්ටිආරච්චි
මේ වනවිට කාව්‍ය කෘති 10ක් පළකර ඇති කුමාර හෙට්ටිආරච්චි ප්‍රවීණ කවියෙකි. ඔහුගේ සදාකාලික මධ්‍යාහ්නය කවි පොතට 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. පසුගියදා කුමාරගේ අලුත් කවිපොත් තුනක් එළිදැක්විණි.
තරමක් විරාමයකට පසු ඔබ කවි පොත් 3ක් එළිදක්වනවා. එකවර පොත් 3ක් පළකරන්නේ ඇයි?
සත්තකින්ම පොත් 5ක්. ඉන් 3ක් ප්‍රකාශයට පත්වූවා. අනෙක් පොත් 2 ළඟදීම ප්‍රකාශයට පත්වේවි. වියුක්ත චිත්‍ර කලා (Abstract Pointing) ප්‍රදර්ශන රාශියක් සඳහා ජපානයේ චිත්‍ර කලා මහා චාර්යවරුන්ගේ ආරාධනය මත මම ගිය වසරේ ඔක්තෝබරයේ ජපානයට ගියා. එසේ ගිය පසු ජපන් සීත ඍතුවේ රමණීය හාත්පස වටපිටාවත් නිහඬ නිසංසල හුදෙකලාවත් තුළ කවි 400ක් විතර මාස පහක් තුළ ලිව්වා. ඉතින් “සාරසියක් නියුට්‍රෝන* දීර්ඝ කාව්‍ය ආඛානයත් අනෙක් කවි පොත් 04ක් ලෙසත් මම තෝරාගත් කවි පොත් 05ක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට කල්පනා කළා.
ඔබේ කවිවල අපට පෙනෙන්නේ විරෝධාකල්ප සහිත ප්‍රකාශන විධියක්. එවැනි ප්‍රකාශන විධියක් තෝරාගත්තේ ඇයි?
කවිය කියන්නේ මානව ජීවන අරගලයේ සෞදර්යාත්මක ප්‍රකාශනයක්. ඒ නිසා කවිය තුළ හුස්ම ගනිමින්, ඇදවැටෙමින්, නැඟිටිමින්, හඬමින්, සිනාසෙමින් මිනිසා ජීවත් වෙනවා. ඒ නිසා කවිය තුළ කකියමින්, කැකෑරෙමින් ස්පන්දනය වන්නේත් භෞතික සමාජ, දේශපාලනික, සංස්කෘතික ක්ෂේත්‍රවල ඝර්ෂණය සමඟ අවිච්ජින්නව පරපීඩනයෙන් දඟලන ප්‍රායෝගික මිනිසාගේ අරගලයයි. එය කවියේ ආත්මයෙන්ම ස්වයංසිද්ධව මතුකරනු ලබන්නක්.
මුල් කාලයේ පටන්ම බොහෝ දෙනා ඔබට කිව්වේ වෙඩි වගේ කවි ලියනවා කියලයි. පරිණත වන විට ඒ කවි මගෙන් ක්‍රමයෙන් ඉවත් වෙන්න හිතුණේ නැද්ද?
වෙඩිවගේ කවි ලිවීම හා පරිණත වීම කියන සංකල්ප දෙක එකිනෙකින් කිසිම සම්බන්ධයක් නෑ. වෙඩි වගේ කවි ලියන කවීන් ද අපරිණතයි කියන්නත් බෑ. එසේම ඉතා පරිණත කවීන්ට ද වෙඩි වගේ කවි ලියන්නට පුළුවන්.
ප්‍රබල කවියක් තුළ මූනිස්සම් වෙඩි බෙහෙත් ගබඩා කරන්නේ කවියේ අවශ්‍යතාව විසින්. කවියක් තුළ ඇමරිකන් පිටි, කොත්තු පිටි, සීනි, පොල්කොහු වගේම දෙල්කඳ පොළේ ගස් ලබු ලෙලි හා මරදානේ කපුටු පිහාටු ගබඩා කරන්නේද කවියේ කේන්ද්‍රීය අවශ්‍යතාව විසින්මයි. ඒ නිසා විශිෂ්ට පරිණත කවිය තුළ C4 පුපුරණ ද්‍රව්‍ය වගේම පිරිත් පැන් ද ගලා බසිනවා.
ඔබේ මුල් කවිපොත පළකරලා මේ වනවිට අවුරුදු 35ක් ගෙවිලා.. අද තරුණ කවීන් රාශියක් කවි වේදිකාවට ඇවිත්. ඔබ ඔවුන් දකින්නේ කෙසේද?
කවියේ තාරැණ්‍යය තීරණය වන්නේ කවි ලියන තරුණයාගේ උප්පැන්නයට අදාළ වයස මත නොවෙයි. අග්‍රගණ්‍ය සංගීතඥ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් මිය යන මොහොතේත් නිර්මාණ තුළ ගජ ඉලන්දාරියෙක්. ජගත් සාහිත්‍යයේ හෙමිංවේ, සාත්‍රේ, කැමූ වගේම සල්මන් රෂ්ඩි, චිනුවා අච්බේ, පාවුලෝ කොයියෝ ගත්තත් ඔවුන්ගේ නිර්මාණ තුළ තාරැණ්‍යය උතුරනවා.
ඒ නිසා අපේ තරුණ කවීන්ද අභ්‍යාසය, ප්‍රතිභාව හා ව්‍යුත්පත්තිය යන ත්‍රිමූර්තියෙන් බලසම්පන්න වන තරමට අපේ කවිය ද තාරුණ්‍යයෙන් උජ්වලිත වේවි. දැනුමට වඩා පරිකල්පනය වැදගත් බවයි ඇල්බට් අයින්ස්ටයින් කීවේ. ඒ නිසා නැවුම් පරිකල්පනයෙන් සජ්ජිත තාරුණ්‍යය අපේ කවියට ආශිර්වාදයක් වේවි.
එදා කවියට තිබුණේ මුද්‍රිත මාධ්‍යය පමණයි. අද සයිබර් අවකාශයත් කවීන් බහුලව භාවිත කරනවා. නමුත් ජ්‍යෙෂ්ඨ කවීන් නම් මේ මාධ්‍යය ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන කිව්වොත්?
මම හිතන්නේ හෝමෝ සේපියන්ස් මානවයා ඉතාමත් හෙමිහිට වසර කෝටි ගාණක් තිස්සේ පරිණාමය වෙද්දී තාක්ෂණය අධිවේගයෙන් අනාගතය වෙත දුවගෙන යනවා. වෙනත් විදියකින් කිව්වොත් තාක්ෂණය අශ්වයෙක් වගේ අනාගතය දෙසට දුවද්දී මිනිසා තලගොයෙක් වගේ අර අශ්වයාගේ වල්ගේ අල්ලන්නට බඩගාගෙන දුවනවා. ඉතින් මම හිතන්නේ අපි කවුරුත් මේ ජීවන හා පිටියේ තරගයට මුණදිය යුතුයි.
සයිබර් අවකාශය විසින් අපට ළඟාකරදී ඇති සුවිසල් සන්නිවේදන පථය නිසා මින්නේරිය වැවේ දියබුං ගහන දියකාවාද, බෝල්ටික් මුහුදේ ඩොල්පින් අම්මෙකුගේ බල්ටිය ද එක තත්පරෙන් දකින්ට පුළුවන්. ඉතින් මෙය කවියට වගේම කවීන්ට අප්‍රමාණ ජවාධික ගමනකට තෝතැන්නක්.
වරක් එක් විශිෂ්ට කවියෙක් කිව්වේ කවි ලියන්න පුළුවන් තරැණයන් හුඟාක් සිටියත් ඔවුන්ගේ කාව්‍යොක්ති දුර්වල බවයි. ඔබට එසේ නිරීක්ෂණය වුණාද?
මමත් එබඳු නිරීක්ෂණ දැක අප්‍රමාණව දුක්සංකා විඳ තිබෙන බව කණගාටුවෙන් වුණත් කියන්නට වෙනවා. සමහර තරැණ කවීන්ගේ කවි මල්වෙඩි සංදර්ශන වගෙයි. පුපුරා යනවා. අන්තිමේ අළු ටිකවත් ආගිය අතක් නෑ. තවත් කවිවල මුළු ආකෘතිය පුරා හොණ්ඩර ගණන් ආභරණ එල්ලනවා. ඒත් පාතට කියෝගෙන යද්දී හෙළුව පේනවා.
හොඳ කවිය උපදින්නේ ගැඹුරැ ආත්මීය සංවේදනාවන් විසින්ම ස්වකීය අව්‍යාජ ආකෘතිය ද ප්‍රතිනිර්මාණය කරගනිමින්. ඉතින් අපේ මීළඟ පරපුර පරිශීලනයෙන්ද, ගවේෂණයෙන් ද, පරිකල්පනයෙන්ද තියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජපානය වගේ රටවල කවීන්ට මොනවගේ සැලකිල්ලක් ද දක්වන්නේ?
මම අවුරුදු 16ක් ජපානයේ ජීවත් වීමට වාසනාව ලැබුවා. ඒ දීර්ඝ කාලය තුළ මගේ ශාස්ත්‍රපති උපධිය ඉංග්‍රීසි සාහිත්‍ය විෂයයෙන් ලබා ගැනීමට වගේම සංස්කෘතික මානව විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමටත් කළ දීර්ඝ අධ්‍යපන චාරිකාවේදී ජපන් ලේඛකයන්, කවීන්, චිත්‍ර ශිල්පීන්, සිනමාකරුවන් ඉතා සමීපව ඇසුරැ කරන්නට අවස්ථාව ලැබුවා.
මා දුටු වැදගත්ම දෙයක් තමා ජපන් කවීන් ගත්තොත් ඔවුන් කවියට පමණක් සීමා වී හුදෙකලා වන්නේ නෑ. ඔවුන් කබුකි, ඔපෙරා, නර්තන ප්‍රසංග, චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය වගේම විද්‍යා හෝ තාක්ෂණ ප්‍රදර්ශන නැරඹීමටත් නිතරම එකතුවෙනවා. ඊළඟට එම විවිධ කලා ශානරයන්ට අයත් ශිල්පීන් සමඟ ජපන් සකේ බොමින් වරු ගණන් සංවාදයේ යෙදෙනවා. ඇත්තටම ඔවුන් නිතරම සමාජ සංස්කෘතික සන්දර්භයෙන් චාර්ජ් වෙමින් ඉන්නේ. නිතරම ඔවුන් ඇගැයෙනවා.
කුසුම්සිරි