ජීවිතේ බර රෝද තුනක් මත තබා පරිස්සමින් පදවාගෙන යන මිනිසුන් නම් මෙසිරිලක බොහෝය. නිරන්තර අනේකවිධ අවලාදයන්ට ලක්වෙන මේ මිනිසුන්ගේ ජීවිත අගයන්නට කිසිවෙක් නොමැත. එනිසාම සිය වෘත්තීය ගෞරවය රකින්නට වීරියවඩන ත්‍රීරෝද රථ වෘත්තිකයන් සමූහයක් අපට හමුවිය. වෙසෙසින්ම ඔවුන් ආදර්ශමත් සමූහයකි. මේ බේරුවල මොරගල්ල ගෝල්ඩන් මයිල් ත්‍රීරෝද රථ සංගමයේ කතාවයි.
දුටුවනම කාහටත් එම රථගාල සහ එහි ඇති වෙනස පිළිබඳ ඉඟියක් ලැබෙයි. සියල්ලෝම නිල ඇඳුමකින් සැරැසී සිටිති. එය නිල ලාංජනයක් සහිත සුදු කමිසයක් සහ කළු කලිසමකි. බාහිරින් දිස්වන මෙම වෙනස මේ සමූහයේ අභ්‍යන්තරයේ වේද? ඒ පිළිබඳ අපට තතු කියන්නට එක්වූයේ සංගමයේ සභාපති සුජීව ප්‍රියන්ත ද සිල්වා මහතාය. නිල ඇඳුමින්ම අපි කතාව ඇරඹුවෙමු.
“පෝය ඉරිදා ඇරුණම හැම දවසකම යුනිෆෝම් එක අඳින්න ඕනෑ. ඒ නැතුව මෙතැන දුවන්න බෑ. නිල ඇඳුම අපේ අනන්‍යතාව වගේම වගකීමක්. මේ හෝටල්වලට අපි අපේ ජායාරූප ඇතුළු පෞද්ගලික ලිපි ගොනු දීලා තියෙනවා. ඒ නිසා අපිට නිල ඇඳුම ඇඳලා වැරදි කරන්න බෑ. එහෙම කළොත් දඬුවම් තියෙනවා.”
මෙහි ඇත්තේ දැඩි විනයකි. එය කඩ කළ විට ලැබෙන දඬුවම්ද සුළුපටු නැත. ඒ කතාව පසුව තබා අපි මෙම රථගාලේ ඉතිහාස පිළිබඳ විමසා බැලුවෙමු. වසර තිහකට පමණ ඉහත මෙහි ත්‍රීරෝද රථ තිබී ඇත. නමුත් සමිතියක් පිහිටුවා ගෙන ඇත්තේ දෙදහස් හය වසරේදීය. එහෙත් එය සක්‍රීය වී අද පවතින තත්ත්වයට පත්වූයේ දෙදහස් එකොළහ වසරේදීය. ප්‍රාදේශීය සභාවෙන් ලද තාවකාලික අවසරය සහ උපදේශ මත එදා ඔවුන් සමාජ සේවා කටයුතු අරඹා ඇත. එසේම සංචාරක මණ්ඩලය සමඟ සමීපව පුහුණු පාඨමාලා රැසක් වෙනුවෙන්ද ඇතුළත් වීමට මෙම පිරිස සමත් වී තිබේ. අතීතයේ වූ බේරු සහ කොන්ෆීෆී හෝටල් සුනාමි ව්‍යසනයට ගොදුරු වී විනාශ වී ගිය පසු ඉදිවූ සිනමන් බේ හෝටලය මෙම පුනර්ජීවයට සැබෑ හේතුව විය.
“දෙදහස් එකොළහේදී අපේ වත්කම තිබ්බේ රුපියල් හැටයි. දැන් අපේ වත්කම ලක්ෂ හතක් වගේ වෙනවා මරණාධාරත් එක්ක. සමාජිකයෙක් නැති වුණොත් රැපියක් හතළිස් දහසක් ගෙවනවා. පවුලේ කෙනෙක් නැති වුණොත් රුපියල් විසි දහසක් ගෙවනවා. ඒ වගේම සාමාජිකයන්ට ක්ෂණික ණය දෙනවා රුපියල් පන්දහසේ ඉඳලා විසිදහස වෙනකම්. මාස පහෙන් ගෙවන්න ඕනෑ පොලියට පන්දහසකට රුපියල් පනහයි.”
අපි නැවතත් සංගමයේ විනය සහ දෛනික ක්‍රියාකාරකම් යන කාරණය වෙත අවධානය යොමු කළෙමු. උදෑසන රථගාලේ වැඩකටයුතු ආරම්භ වෙන්නේ එම ස්ථානය පිරිසුදු කිරීමෙනි. එක දිනයක වගකීම එක් අයෙක්ට පැවරෙයි. ඔහු උදෑසනම පැමිණ සිය කටයුත්ත සිදුකළ යුතුය. අමතක කිරීම කිසිසේත්ම නිදහසට කරුණක් නොවන අතර දඬුවම් ක්‍රියාත්මක වේ. එසේම පැමිණෙන අනුපිළිවෙලට පොත සටහන් කළ යුතුය. ඒ දේශීය මගීන් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් අනුපිළිවෙල සැකසීම සඳහාය. සංචාරකයන් ප්‍රවාහනය කිරීම සිදුවන්නේ රෝස්ටර් ක්‍රමයකටය. සංගමයට දුරකථනයක් ඇත. සිනමන් බේ, අර්ල් රීෆ්, යප්සිලෝන් ආදී හෝටල් එම දුරකථනය අමතා ඔවුනට හයර් ලබාදෙයි. එවිට රෝස්ටර් ක්‍රමයට හැමට අවස්ථාවක් ලැබේ. දිනය අවසානයේදී එක අයෙක්ට රාත්‍රියේ වගකීම අනුපිළිවෙළින් පැවරෙයි. මුළු රාත්‍රියේ පුරා ඔහු සංචාරකයන්ට මෙන්ම හෝටල් සේවකයන්ට සිය සේවාව සැපයිය යුතුවේ. රාත්‍රියේ වගකීම වැඩිය. ලොකු කුඩා කියා හයර් තෝරා බේරා ගැනීමට ඔවුන්ට නොහැක. සංගමයේ නීතිය එයයි. වරදක් වුවහොත් කවුරුන් හෝ පැමිණිලි කළහොත් දඬුවම් ලැබෙනු ඇත. මේ සංගමයේ දඬුවම් මොනවාද යන්න පිළිබඳ අපට ඇතිවූයේ ගැටලුවකි. සභාපතිවරයාගෙන් අපි ඒ පිළිබඳ විමසා සිටියෙමු. ඔහු එය පැහැදිලි කළේ උදාරහරණයක් දෙමිනි.
අපිට තිබෙනවා ව්‍යවස්ථාවක්. ඒ වගේම නීති මාලාවක්. වරද මොකක්ද ඊට අදාළ දඬුවම මොකක්ද කියලා ඒකේ දක්වලා තිබෙනවා. උදාහරණයක් විදිහට අපේ නිල ඇඳුම ඇඳගෙන කවුරුහරි මත්ද්‍රව්‍ය පානය කරලා ගිහිල්ලා පොලීසියට අහුවෙනවා. වරදකරු වුණොත් මාස තුනක් පාක් එකට එන එක තහනම්. ගමන් වාර කපා හරිනවා. ඒ වගේම දේශීය, විදේශීය මගීන් හෝ හෝටල් අපේ අයෙක් ගැන පැමිණිල්ලක් කොළොත් අපි ඒක හොයලා බලලා දඬුවම් දෙනවා. ගමන්වාර අහෝසි කිරීම, දඩ පැනවීම වගේ දේවල් ගොඩක් ක්‍රියාත්මක වෙනවා.”
මෙම විනය ගෝල්ඩන් මයිල් ත්‍රීරෝද රථගාලේ පැවැත්මයි. මුල්කාලීනව විවිධ පාර්ශ්වල අභියෝග එල්ල වී තිබේ. සංචාරක කර්මාන්තයේ ඒකාධිකාරය පවත්වාගෙන යන පිරිසක් ඕනෑම ප්‍රදේශයක අද දක්නට ලැබේ. මෙහිදීද සිදුව ඇත්තේ එවැන්නකි. නමුත් ඒ හරහා සංගමය ක්‍රමයෙන් ශක්තිමත් වී තිබේ. අද විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් ප්‍රදේශයේ කාගේත් ආදරය දිනාගෙන ඇත. සෑම වසරකම සංගමයේ නිලධාරී මණ්ඩලය අලුත් වන අතර ප්‍රතිපත්තිවල විශාල වෙනසක් නොවන බවත් සිහි කළ යුතුය. එසේම නීතිවලට අභියෝග කිරීම හෝ නොතකා හැරීම සියල්ලෝම බරපතළ ලෙස සලකති. අභියෝගය ගැටලු මෙහි නැත්තේ නොවේ. එහෙත් ඔවුහු ඒ සියල්ල විසඳා ගනිමින් ඉදිරියට යති.
මෙම සංගමය සමාජසේවා කටයුතු අතින්ද ප්‍රදේශයේ සුප්‍රකටය. හැම වසරකම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාර ස්ථානවලින් ලැබෙන මුදල් මෙම කටයුතු වෙනුවෙන් ඔවුහු යොදවති. ඔවුන් සිදුකර ඇති කටයුතු අතරින් කිහිපයක් හරහා මෙහි ප්‍රබලතාව අවබෝධ වනු ඇත. වරක් ගම්මානයේ දහම් පාසල් ත්‍රිත්වයේ පුස්තකාලය ආරම්භ කිරීමට උපකාර කළ යුතු යැයි සිතූ ඔවුහු රුපියල් ලක්ෂයකට ආසන්නව වැයකොට පොත් මිලදීගෙන දහම් පාසල් වෙනුවෙන් ප්‍රදානය කළහ. තවත් වරෙක ගැබිණි මාතාවන් විශාල සංඛ්‍යාවකට අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට කටයුතු කළහ.
මුලදී ක්‍රීඩා තරග සංවිධානය කිරීම සිදුවුවද මේ වනවිට එය නවතා විවිධ සමාජ සුභසාධන කටයුතු අරඹා තිබේ. ඒවාට අමතරව වාර්ෂිකවද ඔවුන් සිදුකරන කටයුතු රැසකි. රණවිරු අභිමානී වැඩසටහන, මොරගල්ල දම්මිකාරාම විහාරයේ වෙසක් දානය, ප්‍රදේශයේ දහම් පාසල්වල පවත්වන බක්මහ සැණකෙළිවල ප්‍රධාන අනුග්‍රහය දැරීම එයින් කිහිපයක් පමණි. සැබැවින්ම ඔවුන් මේ දක්වා ගමේ කිසිදු පොදු කටයුත්තක් මගහැර නැත. ප්‍රදේශයේ ඕනෑම යහපත් කටයුත්තක් වෙනුවෙන් සිය අරමුදල් සහ ශ්‍රමය ඔවුහු යොදවති. මේ අතර අවසානයේ සංගමයේ සභාපති වැදගත් යමක් කිවයුතු බව පවසයි.
“මතක් කරන්න ඕනෑ අපිට සුභසාධන කටයුතුවලට උදව් කරන්නේ සංචාරක වෙළෙඳ ව්‍යාරිකයෝ. නම් කිහිපයක් මතක් කරන්නම ඕනෑ. අයිඩා, අමල් විලා, ලැලූනා, අයේෂා, ලූලු සෙන්ටර්, ඩීස් ස්ටෙප් වගේ ආයතන රැසක් තිබෙනවා. අපි ඒ ආයතනවලට සංචාරකයෝ අරගෙන යනවා. එයාලාට අපි ගැන පූර්ණ විශ්වාසයක් තිබෙනවා. තව දෙයක් පියල් නිශාන්ත මහත්තයා ප්‍රදේශීය සභාවේ සභාපති වෙලා ඉන්න කාලේ ඉඳලා අද වෙනකල් අපේ පස්සේ ඉන්නවා.”
මේ සියල්ල පසුපස රථගාල සමීපයේ කඳු මුදුනේ පිහිටි දම්මිකාරාම විහාරයෙන්ද උපකාර වන බව ඔවුන් සිහිපත් කරන්නේ ගෞරව සම්ප්‍රයුක්තවය. දම්මිකාරාමයේ වැඩ සිටින මාවරලේ සුදම්ම හිමියන්ව සියල්ලෝම සිහිකලේ ඉතා ගෞරවයෙනි. සංගමයේ අනුශාසක ධූරය දරන්නේ උන්වහන්සේය. හිමියන් සමඟ එක්ව සිය ටෙන්ට් පුටු කොඩි සහ කොඩි කණු ආදිය ගමේ අවශ්‍යතාවයන් සඳහා ලබාදීම ඔවුන් සිදුකර තිබේ. මේ ආදී කටයුතු රැසක් පිළිබඳ අප දීර්ඝව කතා කළමුත් සියල්ල ලියා තැබීමට ඉඩකඩ මදිය.
අවසානයේ කිවයුත්තක් තිබේ. ගෝල්ඩන් මයිල් තුන්රෝදකරුවන්ගේ සටන ගෞරවනීය වෘත්තීයක් වෙනුවෙනි. විනයක් සහිත ගෞරවනීය වෘත්තියක් බවට ත්‍රීරෝද රථ කර්මාන්තය පත් කිරීමේ අරමුණ පෙරදැඩිව මේ පිරිස කටයුතු කරති. නූතනයේ ත්‍රීරෝද රථකරුවාගේ භූමිකාව තේරුම් ගැනීම මෙය අපූරු අවස්ථාවක් වෙතැයි අපට සිතේ. ඔවුන්ගේ ආදර්ශය තවත් පිරිසක් ලබන්නේ නම් අපූරුය. දහඩිය සුවඳ හඳුනන මේ මිනිසුන්ට අලුත් යුගයක් එවිට නිර්මාණය වනු නියතය.
► චමිඳු නිසල්