2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

බෙලිඅත්ත කෝච්චි පාරේ ඇත්ත කතාව

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 180

“අපේ මිනිස්සුන්ට කොන්ද පණ තිබුණා නම් පිටින් ඇවිත් ලංකාවට මෙහෙම වැඩ කරන්නේ නැහැ. චීන අය වැඩ කරන්නේ අපේ ලංකාවේ මහත්තයෙක්ගේ යටතේයි. සිංහල මහත්තයා කියනවා නම් හරියට කරන්න කියලා ඒ මිනිස්සු හරියට කරනවා.”

ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න එපා කියන කතාව කුඩා කල සිටම වැඩිහිටියන් දරැවන්ට ටොකු ඇන ඇන කියාදෙන කතාවකි. එහෙත් බොහෝවිට ඇත්ත කියද්දි ගොඩක් අයට රිදෙන එක නවත්වන්නට කිසිවකුට නොහැකිය. රිදෙන තරමට නැගිටින්න උත්සාහ කරමු. එවිට අනාගතයේ සතුටු වීමට පුළුවන් වේවි. ශ්‍රී ලංකාව 2000 දීත් සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ පා තබන්නට සැරසී සිටිනුයේ 2020ටය. තවමත් අපේ රට හැඳින්වීමට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස මිස වෙන නිර්වචනයක් නොතිබේ. මේ කතාව උත්සවශ්‍රීයෙන් විවෘත කළ  බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඇත්ත තත්ත්වය පිළිබඳවයි.

දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කර තවමත් ගතවී ඇත්තේ මාස අටකි. නමුත් දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ගැන අසන්නට ලැබෙන්නේ එතරම් හොඳ කරුණු නොවේ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙහි දුම්රිය වේදිකා  බොහෝ ස්ථානවලින් පිපිරී ගොස් ඇති ආකාරය දක්නට හැකිය. එම පිපිරුම් සහිත ස්ථාන මේ දිනවලදී අලුත්වැඩියා කරන අයුරු දක්නට හැකිය. දුම්රිය වේදිකාවල පැති බැම්මේ කොටස් ගැලවී දුම්රිය මාර්ගයට වැටී තිබෙනු දක්නට හැකිය. දුම්රිය වේදිකාවල සවිකරන ලද ටයිල් විශාල ප්‍රමාණයක කතිර සලකුණු දමා තිබේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානය අවට ආරක්ෂක වැටෙහි කොන්ක්‍රීට් කණු කිහිපයක් පුපුරා ගොස් ඇත. මාතර සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන වැසි දිනවලදී තෙමෙයි. තවමත් ඒවාට පිළියමක් නැත. ජනතා අයිතියට පත්කර මාස හතරක් ගතවීමට මත්තෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රියපොළෙහි වහළයේ සිවිලිම බිම පතිත විය. දුම්රිය රියැදුරන් ඉන් බේරී තිබුණේ අනූ නවයෙනි. දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දුම්රියපොළ මෑත කාලයේ නායයාමට ලක්ව තිබිණි. එම නායගොස් තිබූ ස්ථාන ප්‍රමිතියකින් තොරව පිළිසකර කළ බව සේවකයෝ පැවසූහ.

ජලය කාන්දුවීම නිසා දුම්රියපොළෙහි උමං මාර්ගයට ඇතුළු වන ස්ථානයේ බිත්තියෙහි ජලය කාන්දු වූ පැල්ලම් දක්නට හැකිය. දුම්රිය මාර්ගයට සමාන්තරව දිවයන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පලවින්න ප්‍රදේශයේ අතුරු මාර්ගයක පැති බැම්මක් ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් සිදු කරමින් පැවතීම නිසා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා ඉකුත්දා (2) උපදෙස් දුන්නේ එම ඉදිකිරීම නවතා දමන ලෙසයි. චීන සමාගමක් මෙම ඉදිකිරීම් සිදුකළද මෙරට නිලධාරීන්ගේ අයහපත් කල්ක්‍රියා හේතුවෙන් වටිනා ව්‍යාපෘතියක් මෙසේ විනාශ වීමට හේතු වී තිබේ. තමන් හැදූ පුටුව ගැන හරියටම දන්නේ හදපු වඩු බාස්ය. එලෙසම බෙලිඅත්ත දුම්රිය මාර්ගය ගැනත් ඇත්ත තත්ත්වය දන්නේ දුම්රිය මාර්ග සේවකයන්ය. ඔවුන් මේ ඇත්ත රටට පවසනුයේ රටේ ජනතාවට කරන යුතුකමක් හා අවංක සේවයක් හැටියට සලකාය. එසේ කිරීම නිසා සමහරවිට හෙට දින ඔවුන්ගේ දරුපවුල්වලට පාරට බහින්නට පවා සිදුවන්නට වනු ඇත. අපේ රටේ ඉහළ පෙළේ බොහෝ ලොක්කන්ගේ තත්ත්වය එලෙසය. කෘතගුණ සලකන ජාතියක් ලෙස මේ රටේ ජනතාව මෙන්ම රටට ජනතාවට වගකියන  මාධ්‍ය මෙහෙවරක් උදෙසා කටයුතු කරන අපි ද මොවුන්ට ද එකී අසාධාරණයක් සිදුවනවාදැයි දැඩි අවධානයෙන් පසුවෙමු. දකුණට පමණක් නොව මුළු රටටම ලද මහඟු දායාදයක් සේ සලකන බෙලිඅත්ත දුම්රිය මාර්ගය පිළිබඳව ඇසෙන මේ දුක්බර සත්‍ය කතාවටත් නෙත් සිත් යොමු කරමු.

“බෙලිඅත්ත ස්ටේෂන් එක ළඟදී කෝච්චි පාර නාය ගියා. පස් ගොඩවල් ගහලා හැදුවාම ඔහොම තමයි. නායගිය තැන හදද්දි කකුල්වලින් තලලායි උඩින් කොන්ක්‍රීට් දැම්මේ. අපිට උපදෙස් දෙන විදියටයි අපි හැදුවේ. කිසිම සැලැස්මක් නැහැ. සිමෙන්ති කොට්ටයකට ගල් තාච්චි පනහක් පනස් පහක් විතර ගහන්න කියනවා. එහෙම තමයි මේවා හදල තිබෙන්නේ. හැමදාම විදුලිය කාන්දු වෙනවා. ඒ නිසා ලයිට් නැතිවෙනවා. හැමදාම ගලව ගලවා හදනවා. හිටපු ගමන් විදුලිය ඇත්තේම නැහැ.

දුම්රිය මාර්ගය හැදුවාට පස්සේ මැති ඇමැතිවරුන් ආවත් මේවා හදද්දී කවුරුවත් ඇවිත් බැලුවේ නැහැ. එහෙම බැලුවා නම් මේ වගේ අපරාධයක් වෙන්නේ නැහැ.  ලංකාවේ මිනිස්සු විදියට අපටත් දුකයි. දැන් ටයිල් විශාල ප්‍රමාණයක කතිර ගහල තිබෙන්නේ. ඒ බොල් වෙච්ච ඒවායි. ඒවා ඔක්කොම ගලවන්නයි එහෙම කතිර ගහල තිබෙන්නේ. වේදිකා දෙකේ ටයිල් එකසිය ගාණක් ගැලෙව්වා අපි මුල් දවස්වල. ඒවා ගලවලා ආයේ අලුතින් ඇල්ලුවා. හැඩය වෙනස්වෙලා ස්ටේෂන් එකේ මැද ටයිල් විශාල ප්‍රමාණයක් ගැලෙව්වා. සිමෙන්ති බොහොම පොඩි ප්‍රමාණයක් දාල තමයි ඒ ටයිල් අල්ලලා තිබෙන්නේ. කිසිම ලෙවල් එකක් නැතුව අල්ලාගෙන අල්ලාගෙන ගියා. ඊටපස්සේ ඉතින් ගලවාගෙන ගලවාගෙන යනවා. සිමෙන්ති අනපු අයට හිතුණු හිතුණු ප්‍රමාණය දාල තමයි සිමෙන්ති ඇනුවෙ. ඉතින් ටයිල් ටික ඉක්මනට අල්ලලා දානවා. අපේ මහත්තුරුන්  ඒවාට හරි කියනවා. එක වතාවක් එහෙම ටයිල් අල්ලද්දී නෝනා කෙනෙක් කිව්වා ඔක්කොම ටයිල් ටික ගලවන්න කියලා. ඊටපස්සේ ගැලෙව්වා. පැය දෙකකට විතර පස්සේ ගලවපු ටික ආයෙ දානවා. කලින් හොඳ නැති ටික පස්සේ හොඳ වෙලා. මේවා අපි කාටද කියන්නේ.

සමහර වෙලාවට කොන්ක්‍රීට් මිශ්‍රණය හොඳ නැහැ කියනවා. එහෙම කියලා එහා පැත්තෙ රවුමෙන් ගිහින් මෙහාට ආවාම ඒක හොඳ වෙනවා. විශ්මකර්මයක් වගේ. සිලිකන් ගම් එකක් දාල තියෙන්නේ වහළයට.  ගම් එක රත්වුණු ගමන් කෑලි ගැලවෙනවා. තහඩු දෙකෙන් පීලි දෙකක් පන්නලයි දාන්න ඕන. ඒත් එක පීල්ලක් පන්නලායි දාල තියෙන්නේ. අප මේවා කිව්වා. ඒත් ඇහුවෙ නැහැ. මේවා අධීක්ෂණය කරන්න දාපු මහත්තුරුවත් මේවා බැලුවෙ නැහැ. එයාලට ඕන විදියටයි මේවා හදල තිබෙන්නේ. මේ නිසා ස්ටේෂන් එක හැමදාම තෙමෙනවා. බෙලිඅත්ත පලවින්න ප්‍රදේශයේ අතුරු පාරක පැති බැම්මක් කිසිම ප්‍රමිතියකින් තොරව කොන්ක්‍රීට් කළා. අඩිතාලමක් නැතුවයි උඩින් කොන්ක්‍රීට් දැම්මේ. වතුර බහින්න කොන්ක්‍රීට් අතරට දැම්මේ කෙසෙල් කඳන්. එක පැත්තක මඩ ගොඩක් තියෙද්දි කොන්ක්‍රීට් පැති බැම්ම ඉදිකළා. බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇවිත් ඒ පැති බැම්මේ ඉදිකිරීම් නැවැත්වුවත් පසුව ආයේ උපදෙස් දුන්නා ඉතුරු ටිකත් ඉදිකරන්න. අපිට මේ දේවල්වලට කතා කරන්න බැහැ. අපේම මිනිස්සු උපදෙස් දෙන විදියට තමයි මේවා ඉදි කරන්නේ. අපි එදා ඉඳලා වැඩ කරපු මිනිස්සු. මේවා හදද්දි දන්නවා වෙන්නේ මොකක්ද කියලා. ස්ටේෂන්වල පොටි ඇඳල තියෙනවා. වැස්සට ඔක්කොම පොතු ගලවාගෙන යනවා. පපඩම් වගේ. හැමදාම පැච් ගහනවා. ආයෙ ගැලවෙනවා. පෙරළෙන්නේ නැති නිසා කෝච්චිය එනවා. අපි මේ විස්තර ඇමැතිතුමාට කියන්නම්. මේවා අපි කිව්වා කියලා රස්සාවෙන් අයින් කරල දැම්මොත් අපේ පොඩි එවුන්ටත් කන්න දෙන්න බැරි වෙනවා. අපි කතා කළාම අපේ ටයිම් ෂිෆ්ට් කපනවා.”

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක  මිරිස්සේ ධම්මවංශ හිමියෝ මෙසේ පැවසූහ.

“මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය කඩිනමින් විවෘත කෙරැණා. නමුත් කඩිමුඩියේ විවෘත කිරීම නිසා අඩුපාඩු රැසක් මේ වන විට අපිට අහන්න දකින්න ලැබෙනවා. ප්‍රමිතියෙන් තොර යම් යම් අංග රාශියක් අපිට දකින්නට පුළුවන්. දුම්රිය ස්ථානය විවෘත කර මාස කිහිපයකින් ගොඩනැගිල්ලේ සිවිලිම කඩාගෙන වැටුණා. දුම්රිය මාර්ගය අවට තිබෙන මාර්ග තවමත් ප්‍රතිසංස්කරණය කර නැහැ. මේ නිසා දුම්රිය මාර්ග අවට ජනතාවට යන්න එන්න මාර්ගයක්වත් හරියට නැහැ. ඕනෑවට වඩා කැණීම් කර දුම්රිය මාර්ගය ඉදිකළ නිසා ජනතාවට පානීය ජල ගැටලුවකට පවා මුහුණ දෙන්න සිදුවුණා.”

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසුවේය.

“නව දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් මම දැනටමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන්නේ. ප්‍රමිතියකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් මට කරුණු වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදීත් සොයා බලන්න කටයුතු කරනවා. මෙම දුම්රිය මාර්ගය තවමත් දෙපාර්තමේන්තුවට පවරා ගැනීමක් සිදුකර නැහැ. අඩුපාඩු සකස් කරන තුරු එය දෙපාර්තමේන්තුව භාර නොගන්නැයි මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. තවදුරටත් සිදු කරන ගෙවීම් තාවකාලිකව නතර කරන්නැයි දැන්වුවා” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සටහන සහ සේයාරූ - සිටිනාමළුව අනීෂා මානගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00