2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

තේ කර්මාන්තයටත් පැන්ෂන්!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

තේ අපේ ආර්ථිකයේ ප්‍රධාන අපනයන භෝගයකි. වර්තමානයේ මෙරට ප්‍රධානතම වැවිලි භෝගය ලෙස හැඳින්විය හැකි තේ කර්මාන්තයෙන් රටේ ලක්ෂ 25කට අධික පිරිසක් ජීවත් වෙති. රටේ භූමියෙන් හෙක්ටයාර් 187000ක පමණ ප්‍රමාණයක මේ වනවිට තේ වගාකර ඇත.

ශ්‍රී ලංකාවේ තේ වගාකරන ප්‍රධාන ප්‍රදේශ කිහිපයක්ම හඳුනාගත හැකිය. නුවරඑළිය, මහනුවර, තලවාකැලේ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, මොණරාගල, බදුල්ල මේ අතරින් ප්‍රධාන වේ. බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත තේ වගා කිරීම බහුල වශයෙන්ම දැකගත හැක්කේ පස්සර ‘මඩොල්සිම’ නමුණුකුල, වැලිමඩ යන ප්‍රදේශවලය.

කෙසේ වුවත් මෙරට තේ කර්මාන්තය මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණ පා සිටියි. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට අපේ රටේ තේ කර්මාන්තය එතෙර මෙතෙර පවතින විවිධ ගැටලු නිසා අභියෝග රැසකට මුහුණ දී ඇත. වතු සේවක වැටුප් වැඩි වීම, ශ්‍රමිකයන් අඩු බව මෙරට තේ කර්මාන්තය පවත්වාගෙන යාමට ඇති ප්‍රධානතම ගැටලුය.

පසුගිය කාලය පුරාවට වතු කම්කරැවන්ගේ මූලික වැටුප රු. දහසක් දක්වා ඉහළ නැංවිය යුතු බවට කියමින් වතු කම්කරුවන් විශාල ලෙස හඬ නැගුවද එයින් පලක් වූයේ නැත. කෙසේ වෙතත් වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙම වැටුප් අරගලයට ඉදිරිපත් වුවද පැවති යහපාලන රජය යටතේ ඔවුනට නිශ්චිත විසඳුමක් නොලැබිණි.

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන තේ වගාකරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ක්‍රමවේදයක් සකසන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය. කෙසේ වෙතත් ක්‍රමනේ තේ වගාවෙන් ඈත් වෙමින් තිබෙන තේ වතු හිමියන්ට අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ නව ජීවයක් ලැබී ඇත. මෙම ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් තේ වතුවල වැඩ කරන කම්කරුවන්ට හෙට දවස වඩාත් හොඳ විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් දක්වන තේ වගාකරැවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමවේදයක් සකසන්න මහා භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කරලා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පසුගිය කාලයේ තේවලින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනු ලැබුවා. නමුත් අද වනවිට මේ තේවලින් ලැබෙන ආදායම අඩු වෙලා. කුඩා තේ වතු හිමියන් තමයි මෙරට තේ වගාවට සියයට 70ක් පමණ දායක වෙන්නේ. ඒ වගේම තමයි මේ තේ වගාකරුවන් ඉල්ලීම් කරනවා ඔවුන්ටත් විශ්‍රාම වැටුපක් ලබාදෙන්න කියලා. ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් යෝජනාවක් ඉදිරිපත් කළා. කිසියම් දායක මුදලක් තේ දළු විකුණන විට අරගෙන විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙසට. මේ යෝජනාව ගැන රජයේ අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද තේ වගාවට අලුතින් අය එකතු වෙන්නේ නැහැ. ඉන්න අය රැඳී සිටින්නෙත් නැහැ. පරණ තේ ගස්වලින් දළු ටික කඩාගන්නවා. මෙම අයට මේ විදිහට යම් විශ්‍රාම ක්‍රමවේදයක් හඳුන්වා දුන්නොත් ඔවුන් මෙම කර්මාන්තයේ රැඳී සිටිනු ඇත. ඒ වගේම තමයි අපි තේ පැල ලක්ෂ 50ක් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ පැල නොමිලයේ ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත්

පසුගිය කාලය පුරාවටම තේ කර්මාන්තයේ නියැලී සිටි බොහෝ වගාකරුවන් කබලෙන් ලිපට වැටුණා. බොහොමයක් අය මෙම කර්මාන්තයෙන් ඈත් වෙලා හිටියේ ඔවුන්ගේ තේවලට නිසි ක්‍රමවේදයක් නොතිබුණ නිසාවෙන්. ඒ වගේම තමයි පුද්ගලයන් ලක්ෂ 20 – 25ත් අතර පිරිසක් දුෂ්කරතාවට පත්වුණා මෙම නිසා. ඒ වගේම තමයි බොහෝ බලධාරීන්ගේ උදව් මත කසළ තේ පිටරට යැවීම පිළිබඳවත් වත්මන් විෂය භාර අමාත්‍යවරයා අවධානයක් යොමු කළහොත් ඉතා හොඳයි. මේ වගේ වගාකරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය විසින් ක්‍රමවේදයක් සකසන බව පවසා තිබුණා. එය ක්‍රියාත්මක කරනවානම් මේ වගාකරුවන් උද්යෝගයෙන් මෙම කර්මාන්තය වටා නැඹුරු වෙයි කියන මතයේ අපි ඉන්නවා.

2015 වනවිට ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළේ සමස්ත තේ වෙළෙඳාමෙන් සියයට 40ක් පමණ දරා සිටිය ද මේ වනවිට ඉන් හරි අඩක්ම පසුබැස ඇති බව එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම දත්ත මගින් පෙන්වා දී ඇත.

තේ වගාකරැවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳව බොහෝ කුඩා තේ වතු හිමියන් මහත් ප්‍රසාදයෙන් සිටින අතර මෙය ඉදිරියේදී මෙරට තේ වෙළෙඳපොළ ජාත්‍යන්තරයේ නැවතත් නම සනිටුහන් කිරීමේ මූලික කාරණාවක් ලෙස දැක්විය හැක.

I සටහන - හසිත් අංජන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00