- ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක
ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක නවකතා, කෙටිකතා මෙන්ම සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයාය. ඔහුගේ අලුත්ම කෙටි කතා කෘතිය මද කිපුණු මීයෝ පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් කෙරිණි. මේ ඒ පිළිබඳව කතුවරයා දේශය සමඟ කළ සංවාදයකි.
මෙම කෙටි කතා පොතට මද කිපුණු මීයෝ කියන නම දැම්මේ ඇයි?
මේ නමින් එන කෙටි කතාවේ කියවීම නම් මානව හා සත්ව දෙකොට්ඨාසයේම පැවැත්මට අත්‍යවශ්‍ය ලිංගික උවමනාවන් විවිධ විෂම ආසාවන් තුළ ඉෂ්ට සිද්ධ කර ගන්නට විවිධ විෂම මනෝභාවයන්ගෙන් එල්ල වන උත්තේජනයේ බිඳක් විවරණය කිරීමයි. එක අතකට මේක මානුෂීය මෙහෙයුමක්. මෙහි එන මව, පියා, පුතා සහ ලේලි යන චරිත මූලික අවශ්‍යතාවක් වෙනුවෙන් ඇතුළාන්තය තුළ නන්නත්තාරව චලනය වන හැටි කියන්නයි මම උත්සාහ කළේ.
එකම වහලක් යට ජීවත් වන මී පවුලේ ලිංගික දැකුම් මනාපය යොදා ගත්තේ ප්‍රධාන මිනිස් චරිතවල හැඩරැව පෙන්නන්නයි. මෙහිදී “මද කිපුණු මීයෝ* කරන්නේ සංකේතාත්මක භූමිකාවක් විතරයි. ජීවිතයේ මූලික අවශ්‍යතා සන්තර්පණයේදී තරැණ, මැදිවිය අතර මහ ලොකු දුරස්බවක් නැහැ. අපේ සමාජ ජීවියාගේ/ පවුල් සංස්ථාවේ යථාර්ථයෙන් අංශු මාත්‍රයක් විතරයි මේක. අනිත් කතා සමඟ ගලපද්දී මේ නම පොතට යෙදීම යුගයේ අවශ්‍යතාවක් ලෙසයි මම දැක්කේ.
පොතට ලැබුණු ප්‍රතිචාර ගැන කිව්වොත්?
මගේ නිර්මාණ සාහිත්‍ය කෘති (නවකතා, කෙටිකතා, යොවුන් නවකතා) සමඟ ළෙන්ගතු පාඨක ප්‍රජාවක් ඉන්න බව මම දන්නවා. එවැනි අයගෙන් හොඳ ප්‍රතිචාර රැසක් ලැබුණා. දන්න කියන සහෘද ලේඛක පිරිසෙන් කීපදෙනෙක් ඉදිරි ගමනක් යයි කිව්වා. විචාරක ප්‍රතිචාර නම් තවම ලැබුණේ නැහැ. කල් තියනවානේ.
ඔබ මේ වනවිට කෙටිකතා පොත් 05ක් පළකර තිබෙනවා. වාර්ෂිකව අපේ කෙටිකතාවලට සම්මානත් දෙනවා. මේ සම්මාන ගැන ඔබට හිතෙන්නේ මොනවාද?
මගේ මුල්ම කෙටි කතා පොත සෙනෙහෙලතා ගැහැනියක් වූවාය (1998) ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන් අනුමත වෙලා තමයි ප්‍රකාශයට පත්වුණේ. ඒක, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ 1996 පැවති ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි පරීක්ෂණයට ව්‍යාපෘතියක් විදිහට ඉදිරිපත් කළා. මහාචාර්යවරැන්ගේ විශේෂ ඇගයීමට ද ලක් වුණා. රාග ගිනි කෙටිකතා පොත 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට තෝරා ගත්තා.
මහා පුරුෂ කෙටි කතා සංග්‍රහයත් 2019 පසුගිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට තේරැණා. මහා පුරුෂ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනුත් පාසල් පුස්තකාල පොතක් ලෙස අනුමත කර තිබෙනවා. ඒ වුණාට මගේ පොතක් හොඳම කෙටිකතා පොතක් හැටියට කිසිම සම්මාන උත්සවයකින්වත් තවම තේරැණේ නැහැ. සම්මාන උත්සවවලදී සම්මානයක අගය (මුදලින්) තීරණය කිරීමේදී නවකතාවට සමාන වටිනාකමක් කෙටි කතාවටත් දිය යුතුයි. කෙටි කතාව අති විශිෂ්ට සාහිත්‍යාංගයක් වන නිසයි.
සම්මාන උළෙල නිසා අපේ කෙටිකතා දියුණු වුණු බවක් හිතෙනවාද?
මෑත අවදියේ සංඛ්‍යාත්මකව වැඩි කෙටිකතා පොත් ගණනක් ප්‍රකාශයට පත්වෙන්නේ සම්මාන උත්සව නිසා ලේඛකයා තුළ ඇති වන උත්තේජනය නිසයි කියලයි මට හිතෙන්නේ. මේක සාධනීය තත්ත්වයක්.
1, 2, 3ට තෑගි දෙන ධාවන තරගයකට තරගකරුවන් 4ක් ඉදිරිපත් වුණොත් නරඹන්නාට කිසිම ගතියක් නැහැ. ඒවගේ පොත් අතළොස්සකින් හොඳ ඒවා තේරීම අමාරුයි. පොත් ගණන වැඩි නම් වට කීපයකින් තෝරා බේරා හරවත්, අර්ථවත්, රසවත් කෘති තෝරා ගන්න පුළුවන්. ඒ වුණාට මෙහිදී තිබෙන අභියෝගය තමයි නිර්මාණ සාහිත්‍යය හා බැඳුණු හරි විනිශ්චය මණ්ඩල පත්කිරීම. තීන්දුව දීමට පෙර පොත සම්පූර්ණයෙන් කියවිය යුතුයි. කවරය බලා නම බලා තැනින් තැනින් පිටු කියවා තීන්දු දීම අපරාධ වරදක් හැටියටයි මම දකින්නේ. මධ්‍යස්ථ, ස්වාධීන, අපක්ෂපාත, විෂය ගැන ප්‍රාමාණික විනිසුරුවන්ගේ ඇබෑර්තු 2020 සම්මාන උළෙලවල්වලට කලින් පිරවීමට අදාළ බලධාරීන් කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
අපේ සාහිත්‍යාංග අතරින් දියුණුම කෙටිකතාව බව සමහර විචාරකයන් පවසනවා. ඒත් අපි කෙටි කතාවෙන්වත් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගොස් නෑ නේද?
මේක භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉංග්‍රීසි බසින් ස්වතන්ත්‍ර ලෙස කෙටිකතා පොත් ප්‍රකාශයට පත්වීම ඉතාම අඩුයි. එහෙම පොත් තියෙන බව පේන්නෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවේදී තමයි. ප්‍රධාන හේතුව ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තරයට යන්න නම් අඩු තරමින් සම්මානයට පාත්‍රවන (උත්සව කීපයකදීම එකම පොත හොඳම පොත වෙන අවස්ථාවල) කෙටි කතා පොත් ඉංග්‍රීසි බසට පෙරළා ජාත්‍යන්තර තරගවලට, වෙළෙඳ පොළට ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා රජයේ මැදිහත් වීම මෙන්ම ප්‍රකාශන ආයතනවල සහයෝගය ලැබීම අත්‍යවශ්‍ය වෙනවා. මේ දෙකොට්ඨාසයම ජාත්‍යන්තර ප්‍රවණතා ගැන හිතනවා හොරයි කියලයි මට හිතෙන්නේ.
කලකට පෙර පැවසුණා කෙටිකතා පොත් අලෙවි වෙන්නේ නෑ කියලා. ඒක දැන් අවලංගු වෙලාද?
මම හිතන්නේ තාම වලංගුයි. නවකතා පොත්වලට සාපේක්ෂව කෙටිකතා පොත් අලෙවිය අඩු තමයි. ඒ වුණාට කෙටිකතා පොත්වලටත් වටිනා ත්‍යාග දෙන්න පටන් ගත්තට පස්සේ නම් ප්‍රකාශකයොත් කලින්ට වඩා කෙටිකතා පොත් පළකරනවා. කලකට පෙර තත්ත්වය සමඟ ගලප ගත්තොත් කෙටිකතා කියවන පාඨක පිරිසෙත් වර්ධනයක් පේනවා. තියෙන ප්‍රශ්නය පාඨක ප්‍රජාව කෙටිකතා සාහිත්‍යාංගයට යොමු කරන එක. පාඨකයාට කෙටිකතා පොත් ගැන සන්නිවේදනය වීම දුර්වලයි. මේ විශේෂිත සාහිත්‍යාංගය ගැන ප්‍රචාරය දීම පුවත්පත්වල වගකීමක්.
තරුණ පෙළ කවි, නවකතා පොත් බහුලව පළකරන බව පෙනුණත් කෙටි කතා ක්ෂේත්‍රයට එන්නෙ කලාතුරකින් කෙනෙක් බවයි පේන්නෙ?
කතාව ඇත්ත... කෙටි කතා පොත්වලට සාපේක්ෂව කවි පොත්, නවකතා තරුණයන් අතින් බිහිවෙන ප්‍රවණතාවක් තියෙනවා. එයිනුත් වැඩි බර කවි පොත්වලට කියලයි මම හිතන්නේ. එක්තරා පළපුරුදු තරුණ පිරිසක් ඉන්නවා නවකතා දිගටම ලියන. නමුත් අලුතින් නිර්මාණ සාහිත්‍යයට එන යොවුන් පෙළේ බොහොමයක් කවියටමයි ළං වෙන්නේ.
මේකට ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ නවකතාවක් හරි කවි පොතක් හරි කරනවට වඩා අමාරුයි කෙටි කතා ලියන එක. එක්තරා සීමා රීති තියෙනවා කෙටි කතාවට. එක ප්‍රධාන ධාරණාවක් ඔස්සේ තමයි චරිතය හෝ දෙක විවරණය කරන්න වෙන්නෙ. අතුරු චරිත, සිද්ධි එහෙන් මෙහෙන් එකතු කිරීමත් අමාරුයි. ප්‍රධාන ප්‍රස්තුතයට හානි නොවන විදිහට අතුරැ සිද්ධි, චරිත ගේන්න පුළුවන් නිසා නවකතාව ලියන එක පහසුයි. තහංචි බාධක අඩුයි.
කුසුම්සිරි