2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පරම්පරා තුනක විද්‍යාපතිවරුන්ගේ යුග මෙහෙවර

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:31 667

රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍ය තුළ ශේක්ස්පියර්ගේ “මැක්බන්” නාට්‍යයේ දර්ශන දෙක තුනක් අඩංගු විය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ 1991 රාජ්‍ය නාට්‍ය උළෙලට මා පරිවර්තනය කොට ඉදිරිපත් කළ මැක්බන් නාට්‍යයේ දර්ශනයන්ය. එම දර්ශන රූගත කිරීම සඳහා නවක නළු නිළියන් පුහුණු කිරීමේ කාර්යය ද රොෂාන් මට පැවරුවේය. ඒ සඳහා “ප්‍රාණ” ඇකඩමියෙන් නවක ශිල්පීන් ඔහු මට ඉල්ලා දුන්නේය.

ගිය වසරේ නොවැම්බර් මාසයේ අපි එම කාර්යය ඉටු කළෙමු. එහි වූ යක්දෙස්සියන්ගේ දර්ශනයට පහතරට බෙරයක හඬ අවශ්‍ය වූයේ අප එයට පහතරට යක්කම්වල ආභාෂය ලබාගත් නිසාය. දර්ශනය රූගත කරන දිනයේදී නව යොවුන් විය පසුකළ කඩවසම් තරුණ බෙර වාදන ශිල්පියෙක් අපට අවශ්‍ය බෙර වාදන සපයන්නට ආවේය. ඔහු ඉතා දක්ෂ ලෙස පහතරට බෙරය වාදනය කරමින් අපට අවශ්‍ය සහාය දුන්නේය. අප දෙදෙනා සුහදව කතාවට වැටුණු විට මම ඔහුගෙන් වතගොත ඇසුවෙමි.

“පුතා කොහොමද බෙර වාදනය කරන්න ඉගෙන ගත්තෙ?”

(පහතරට බෙරය හොඳට හුරුවන්නේ දහ දෙනකුගෙන් එක්කෙනකුට පමණක් බව කේ.එස්. ප්‍රනාන්දු ශිල්පියා අපට කියා තිබුණි.)

“අපේ කලායතනයෙන්”

“කලායතනය මොකක්ද?”

“රවිබන්දු කලායතනය”

“ඔයාගෙ නම මොකක්ද පුතා?”

“විශ්ව විද්‍යාපති”

(විද්‍යාපති පරපුර ගැන මම දැන සිටියෙමි.)

“රවිබන්දු කවුද ඔයාගෙ?” මම ඇසුවෙමි.

“ඒ මගේ මහප්පා”

“උදේනි කවුද?”

“ඒ අපේ අම්මා. මනුබන්දු මගේ තාත්තා”

මනුබන්දු සහ රවිබන්දු දෙදෙනාම නොහඳුනන අයකු නාට්‍ය ක්ෂේත්‍රයේ නැත. උදේනිව මා දැන සිටියේ ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ පටන්ය. නවසිය අනූ ගණන්වල මුල් කාලයේ ගිහාන් ප්‍රනාන්දු වැඩ කළේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේය. උදේනිගේ වසරේ ශිෂ්‍යාවන් හත් අට දෙනකුම ගිහාන් හරහා අපි එකල හඳුනාගෙන සිටියෙමු.

යම් හදිසි අනතුරකට මුහුණ දී සිටි උදේනි ඒ කාලයේ බෙල්ලේ (ආබාධිත) කොළරයක් ලාගෙන සිටියා මට මතකය. ඒ උදේනි මනුබන්දු සමඟ විවාහ වන්නට පෙර ආදරයෙන් බැඳී සිටි කාලයයි. උදේනි අති දක්ෂ නැටුම් ශිල්පිනියක වූවාය.
ඒ දෙපළගේ දරුවා දැන් තරුණ වියට එළඹ අප සමඟ නිර්මාණයට හවුල් වෙමින් සිටී. මට දැනුණු ප්‍රීතිය කියා නිමකළ නොහැකි තරම් විය.

උදේනි - මනු දෙපළගේ විවාහ දිවියට අවුරුදු 26 ක් සපිරී තිබුණේ ඊයේ පෙරේදාය. ඔවුනට මම මුහුණුපොත හරහා සුබ පැතුවෙමි.

ඒ අතර මනුගේ අයියා රවිබන්දු වයසින් හැට වස සපුරා තිබේ. ඒ නිමිත්තෙන් ඔවුන් වැඩසටහන් හතරක් සංවිධානය කොට තිබේ. 15, 18, 23, 28 දිනවල පැවැත්වෙන මෙම වැඩසටහන් කලාවේ විවිධ දිශානතිවලට විදිහෙන ඒවාය.
දෙසැම්බර් 15 – The Rite of Spring

             බැලේ නාටකය
            (සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ - පණීභාරත ශාලාවේ)

දෙසැම්බර් 19 - නර්තන ඡායාරෑප, රංග වස්ත්‍ර හා පසුතල නිර්මාණ ප්‍රදර්ශනය
    (කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී)

දෙසැම්බර් 23 - නර්තන චිත්‍රපට
    (තරංගනී ශාලාව - ජාතික චිත්‍රපට සංස්ථාව)

දෙසැම්බර් 28 - කොහොඹා කංකාරිය
    ප.ව. 7.30 සිට පසුදා පහන් වනතුරු
    (කෝට්ටේ රජමහා විහාරයේදී)

මට හමුවුණු තරුණයා, හෙවත් විශ්ව විද්‍යාපති විශ්වීය කලා පරපුරක හතරවැනි පුරුක නියෝජනය කරන්නෙකි. එය විශ්ව පරපුරක් වන්නේ කලාවේ සියලු මාධ්‍යයන් ඔස්සේ සීමාවකින් තොරව එකී පරපුර ශ්‍රී ලාංකික රසිකයා වෙත නිර්මාණ ඉදිරිපත් කොට ඇති බැවිනි. එකී නිර්මාණ, රසිකයාට මොහොතක දෙකක වින්දනය පිරිනමන නිර්මාණ නොවේ. ඒවා රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන ගිය නිර්මාණයන්ය. රසිකයාගේ බුද්ධිය ඇමතූ නිර්මාණයන්ය.

එකී පරපුරේ බුද්ධිමය කලා මෙහෙවර අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේගේ පටන් නොකියන්නේ නම් එතැන අඩුවක් සිදුවෙයි. අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ චිත්‍රසේන, පණීභාරත යන අසහාය ශිල්පීන් දෙදෙනාගේම ගුරුවරයෙකි. එතුමා ප්‍රථම උඩරට නැටුම් ශිල්පිනිය වූ චන්ද්‍රලේඛාගේ ද ගුරුවරයාය. විද්වතුන්ගේ නොමඳ ප්‍රශංසාවට භාජනය වූ අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේගේ නර්තන රසවිඳින්නට අපේ පරම්පරාවේ අයට වාසනාවක් නොතිබිණි. අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ, මන්බන්දු, රවිබන්දු දෙදෙනාගේ මව වූ මාලතීගේ පියාය. රවිබන්දු මන්බන්දු දෙදෙනාගේ පියා සෝමබන්දු විද්‍යාපතිය. 

සෝමබන්දු විද්‍යාපති කලාකරුවානන්ගේ යුග මෙහෙවර පිටු කිහිපයකින් කියා නිම කළ නොහැක්කකි. මනුබන්දු රවිබන්දු දෙදෙනා දැනට නිරතවන කලාව සම්ප්‍රදායෙන් ඔබ්බට ගෙන යන විශ්ව මෙහෙවර ඇරඹී ඇත්තේ සෝමබන්දු විද්‍යාපතිගෙනි. 1923 මාර්තු 21 වැනිදා උපත ලැබූ සෝමබන්දු විද්‍යාපතිගේ පියාණන් ද සම්ප්‍රදායික නැටුම් ශිල්පියෙකි. මූර්ති ශිල්පියෙකි. සිත්තරෙකි. ගමේ පන්සලේ සාර්ලිස් මාස්ටර් චිත්‍ර අඳිනු බලා සිටි සෝමබන්දුගේ චිත්‍ර ඇඳීමේ ආසාව මහත් සේ වර්ධනය වූ බව වාර්තාවල සඳහන්ය. එසේම පන්නිපිටියේ මොරකැටියේ පරමධම්ම විහාරස්ථානයේ චිත්‍ර කර්ම කළ කොරනේලිස් සිත්තර ගුරුන්නාන්සේ සෝමබන්දුගේ ආතා කෙනෙකි. එතුමාද නර්තන ශිල්පියෙකි. ශාන්ති නිකේතනයෙන් චිත්‍ර කර්මය ඉගෙනගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඇස්.පී. සකලසූරිය මහතාගෙන් තම චිත්‍ර කලාව පිළිබඳ උනන්දුව වැඩි වූ බව එක් සාකච්ඡාවකදී සෝමබන්දු විද්‍යාපති කලාකරැවාණන් පවසා තිබේ. පසු කාලයේදී (1954) කල්කටාවේ ශාන්ති නිකේතනයට ගිය සෝමබන්දු විද්‍යාපති නන්දලාල් බෝස්ගෙන් චිත්‍ර කලාව ද, රාම් කිංකර්ගෙන් ප්‍රතිමා හා මූර්ති කලාව ද උගත්තේය. එකල ශාන්ති නිකේතනයේ ඉගෙනගත් චිත්‍රසේන සහ මකුළොලුව එතුමාගේ සමකාලීන ශිල්පීහු වෙති.
සෝමබන්දු විද්‍යාපතිගේ පසුකාලීන නර්තන ගුරුවරයා වන්නේ චිත්‍රසේනය. සෝමබන්දුගේ නිර්මාණාත්මක හැකියාව හොඳින් දුටු චිත්‍රසේන තම නාට්‍ය නිර්මාණවල පසුතල නිර්මාණය කිරීමේ කාර්යය පවරන්නේ ඔහුටය. චිත්‍රසේනයන්ගේ කරදිය, නළ දමයන්ති, රාවණා, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පබාවතී හා හස්තකාන්ත මන්තරේ නාට්‍යවල පසුතල නිර්මාණය කරන්නේ ද සෝමබන්දුය. අපේ වර්තමාන නාට්‍යවලට පවා බොහෝ සෙයින් බලපා ඇති පසුතල හා ඇඳුම් නිර්මාණ කර්තව්‍ය ඇරඹුණේ එතැනිනි. ඔහු ඇඳුම් නිර්මාණයේ ව්‍යාකරණය මෙරටට කියාදුන් බව රවිබන්දු කියයි. එය සත්‍යයකි.

සෝමබන්දු විද්‍යාපති ශිල්පියාණන්ගේ සිතුවම් කලා දිවියේ අසහාය බව ප්‍රදර්ශනය වනුයේ බෙල්ලන්විල රජමහා විහාරයේ බිතුසිතුවම්වලිනි. එම බිතුසිතුවම් එතුමාගේ තෙලිතුඩින් නිර්මාණය වූ ඒවාය.

පෙර පර දෙදිග කලා සීමාවන්හි සිර නොවී පොදු මානවයාගේ රසවින්දනයට හා බුද්ධි වර්ධනයට ඒවා ප්‍රබල ලෙස බලපාන ආකාරය වටහාගෙන එකී හරය භාවිතයට ගැනීම සෝමබන්දු විද්‍යාපති ශූරීන්ගේ විශේෂ ලක්ෂණයක් බව පෙනී යයි.
ඉලියඩි, ඔඩිසි කාව්‍ය ගැන පුතුන්ට කියා දුන් එතුමා වරෙක සද්ධර්මරත්නාවලියේ කතා කියා දුන් බව රවිබන්දු කියයි. ශේක්ස්පියර් නිර්මාණ රසවිඳි එතුමා වරෙක, ඔතෙලෝ, මැක්බන් වැනි චරිතවල කොටස් (උදාහරණ ලෙස) රඟපා පෙන්වූ බව රවිබන්දු කියනු මා අසා තිබේ. ඒ ශාන්ති නිකේතනයේ ආභාෂය බව මට හැඟේ. එය රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ආදර්ශයයි. නිදහස ලැබීමත් සමඟ ඉන්දියාවේ සියලු කලාවන් (සංගීත, නර්තන, චිත්‍ර කලා, සාහිත්‍ය කලා) නැවත ප්‍රතිසංස්කරණය කෙරිණි. ශ්‍රී ලංකාව තුළ එම කර්තව්‍ය ඉටුකළේ චිත්‍රසේන, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේවයන් ආදීහුය. අපේ නාට්‍ය කලාවට පසුතල හා ඇඳුම් නිර්මාණ අංගවලින් එම කාර්යය ඉටුකොට ඇත්තේ සෝමබන්දු ශිල්පියාණන්ය.

නර්තන නිර්මාණයකදී සාහිත්‍යමය හරයත්, නාට්‍යානුරූපී හරයත් තමා ඊට එක් කරන වග රවිබන්දු කියනු මම සම්මුඛ සාකච්ඡාවක දුටිමි. සම්ප්‍රදායේ මූලිකාංග උකහාගත් නිර්මාණය, අලුත් නිර්මාණයක් වන්නේත්, ලෝකය වෙත යන පතල නිර්මාණයක් වන්නේත් ඒ නිසා යැයි මට හැඟේ. සම්ප්‍රදාය පවතින්නේ එයින් වැඩ ගන්නට මිස සම්ප්‍රදායේ ඇලී ගැලී වෙලී ඉන්නට නොවේ.

කලා විචාරකයකු වූ මනුබන්දු අද ලෝකයේ උන්නතියට ගැලපෙන විචාර මං සොයන්නෙකි. කාලයක් පුරා විශ්ව නර්තන, විශ්ව සිතුවම් අධ්‍යයනය කිරීමෙන් ලත් පරිචය ඔහු සතුය. නූතන චිත්‍රපට ප්‍රවණතා සංගීතය යන මේ හැම කලා උපනිතියක් ගැනම පොහොසත් විචාරාත්මක දැනුමක් මනුබන්දු සතුය.

“නර්තන චින්තනයේ නොනිමි චලන” සහ “බිඳුණු අවකාශයක නර්තන මනස” ඔහු ලියූ ග්‍රන්ථයන් අතුරින් දෙකකි. 2019 විශ්වාභිනන්ද සම්මානයට ඔහු පාත්‍ර වූයේය.

කොළඹ ප්‍රදර්ශනය වන සාර්ථක නාට්‍යයක මුල් දර්ශනවලින් එකක් රවිබන්දු සහ මනුබන්දුගෙන් මගහැරෙන්නේ කලාතුරකිනි. සෙසු නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳ අවදියෙන් පසුවීම ඔවුන් දෙදෙනාගේ විශේෂ ලක්ෂණයකි.

සම්ප්‍රදායේ හරය රඳවාගනිමින් නව නිර්මාණකරණයේ යෙදෙන්නට ද සම්ප්‍රදාය අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා සම්ප්‍රදාය පවත්වාගත යුතුය. 28 වැනිදා කොහොඹා කංකාරිය ශාන්තිකර්මය රවිබන්දු කලායතනයෙන් සංවිධානය කර ඇත්තේ ඒ නිසා විය යුතුය. උඩරට රංගයේ සියලුම නර්තනාංග පාහේ කොහොඹා කංකාරිය තුළ අඩංගු වේ. ගුරැගේ මාලාව ආදී නාට්‍යමය ජවනිකා ද ඊට ඇතුළත්ය.

දශක ගණනාවක් පුරා, පරම්පරා තුනක් ඉටුකළ යුග මෙහෙවර ඉදිරියටත් ඉටු කරන්නට රවිබන්දු, සමන්ති දෙදෙනාගේ දරුවන් වූ ජිතේන්ද්‍ර හා අම්රිතාටත්, මනුබන්දු, උදේනි දෙදෙනාගේ දරැවන් වූ අපර්ණා හා මට හමුවූ විශ්වාටත් ශක්තියත්, ධෛර්යයත් ලැබේවා!

 සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00