2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

සිතුල්පව්වේ ඇතාට මොකද වෙන්නේ?

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

රුහුණු රටේ පිහිටි ඓතිහාසික පුණ්‍ය භූමි අතරින් කතරගම යාල වනෝද්‍යානය තුළ පිහිටා ඇති සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ එහි ඇති ඓතිහාසික පසුබිම නිසාවෙන්මය. දොළොස් දහසක් මහ රහතුන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක් ලෙසින් සැලකෙන මෙම පූජා භූමිය මහාවංශයේ සඳහන් පරිදි කාවන්තිස්ස මහ නිරිඳුන් විසින් කරවූවක් බවයි සඳහන් වන්නේ. අලි, කොටි, වලසුන් ඇතුළුවන සතුන්ගෙන් පිරි සුන්දර වනයක් මැද පිහිටා ඇති මෙම පූජනීය භුමිය දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට හා පූජනීයත්වයට ලක් වූ ස්ථානයකි.

දිනපතා විශාල බැතිමතුන් පිරිසකගේ වන්දනාමානයට ලක්වන මෙම පූජනීය භූමිය පිළිබඳව මෑතක සිට දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ගොඩනැගී තිබේ. ඒ සිතුල්පව්ව රජමහා විහාරයට යන එන මාර්ගයේ සිට එහි යන එන බැතිමතුන්ට හයිරන් කරන බව කියන ඇතින්න එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ගත් තීරණයක් හේතුවෙනි. මේ සම්බන්ධයෙන් මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය හරහාද දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ. ඇතා මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය හා සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමියෝද මේ නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයටද ලක්ව සිටිති. මේ හේතුව නිසාම අප මෙහි ඇත්ත නැත්ත සොයා පසුගිය දින සිතුල්පව්වට ගියේ පාඨක ඔබට එහි ඇති සැබෑ තතු පහදන්නටය.

“යාල කලාප අංක 01 තම වාසභූමිය කරගෙන වාසය කරන නන්දිමිත්‍ර නම් ඇතා වනජීවි දෙපාර්තමේන්තුවේ අදාළ අංශවල විරෝධතාවයන්ද නොසලකා වනජීවී ඇමැතිගේ නියෝග මත වෙනත් තැනකට රැගෙන යාමට පිඹුරුපත් සකස් වෙමින් පවතී. යාල ජාතික වනෝද්‍යානයට ආඩම්බරයක් ගෙනෙමින් දශක තුනකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ ජීවත් වූ මෙම ඇත්රජා සංචාරකයන්ගේද දැඩි ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ සත්වයෙකි. මෙතෙක් නිදහසේ ඇවිද යමින් කා බී ජීවත් වූ මෙම ඇත්රජා අල්ලාගෙන ගොස් හොරොව්පතාන වන අලි සිරකඳවුරට දැමීමට පියවර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවකි. වත්මන් වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් මේ වනවිට මෙම අභිමානවත් හස්තියා අල්ලාගෙන යාමට නියෝග දී හමාරය. මේ ගෙවී යන්නේ නන්දිමිත්‍ර ඇතාගේ සිතුල් පව්වේ අවසන් දින කිහිපයයි. සිය පූජාභූමිය අවට අලි ඇතුන් වෙනුවෙන් ආහාරපාන ලබාදී මෙම සතුන් මානවයා වෙත ඇදබැද තබා ගැනීමට කටයුතු කෙරුණේ ද සිතුල්පව්ව පරිසරය විසින්මය. මහජන ආකර්ෂණය උදෙසා මෙම සත්ත්වයාට බත්, පළතුරු ඇතුළු ආහාර ලබාදී ඔහුගේ ස්වභාවික චර්යාවන් විනාශ කර දැමුවේද මෙම පරිසරය විසින්මය. 

මීට වසර කිහිපයකට පෙර නනදිමිත්‍ර ඇතාගේ සගයා හදිසියේම මියගියේ වස කැවීමක් හේතුවෙන් බව කියති. එවන් පරිසරයක් තුළ තනියම මේ වනයේ තනි වූ මෙම ඇතා අද වනවිට දැඩි අසරණ තත්ත්වයකට පත් කිරීමට වගකිවයුතු පාර්ශව කටයුතු කරමින් සිටී. වනජීවි නිලධාරින්ටද මේ මොහොතේ අසරණය. ඒ ඔවුන්ටද නියෝග ලැබුණේ ඉහළින්ම බව අපි හොඳාකාරවම දනිමු.

මේ සිතුල්පව්ව පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා නැගෙන චෝදනාවයි. වසර ගණනාවක් සිය නිජභූමිය ලෙස යාල කලාප අංක එක කොටසේ ජීවත් වූ මෙම නන්දිමිත්‍ර ඇතා හදිසියේම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට මෙලෙස විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා දැඩි විවේචනයක් එල්ලකරමින් තිබේ. මේ අතරට ඇතැම් පරසරවේදීන්ද තම අදහස් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ඇත්තේ මෙම ක්‍රියාව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරමිනි. මේ හේතුව නිසාම අපි මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව කිහිපයක්ද සම්බන්ධ කර ගැනීමට කටයුතු කෙළෙමු. මේ එල්ලවන චෝදනා අතරින් සිතුල්පව්ව වත්මන් විහාරාධිපති හිමියන්ටද එල්ලවන්නේ දැඩි විරෝධයකි. ඒ නිසාම අප උන්වහන්සේද හමුවීමු.

ඔය දොස් කියන අය ඇතා ළඟට ඇවිත් බලන්න කොහොමද කියලා
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ගාල්ල යටගල ඓතිහාසික රජමහා විහාරය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නාහිමියන්ගෙන්
අප සිදුකළ විමසීමේදි උන්වහන්සේ පැවසුවේ මෙවන් අදහසකි.

ඇත්තටම මේ ගැටලුව පිළිබඳව නොදන්නා පිරිසක් තමයි අද වනවිට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසීමට පටන් අරන් තියෙන්නේ. පිටතින් ඉඳන් බලන කෙනෙකුට මේ ගැටලුව පේන්නේ නෑ. සිතුල්පව්ව රජමහා විහාරයට බැතිමතුන් යන එන පාරේ නිතරම රුඳී සිටින මෙම නන්දිමිත්‍ර නැමැති ඇතා බැතිමතුන් පැමිණෙන වාහනවලට දැඩි ලෙස එළවා එළවා පහර දෙනවා. මේ හේතුව නිසාම සිතුල්පව්ව පුදබිමට පැමිණෙන බැතිමතුන් මේ වනවිට දැඩි ලෙස භීතියට පත්වෙලා ඉන්නවා. වනජීවි නිලධාරීන් මේ ඇතාට කියන්නේ නන්දිමිත්‍ර ඇතා කියලයි. නමුත් අපි නම් කියන්නේ කපිල ඇතා කියලයි. මේ වනවිට මේ ඇතාගෙන් සිදුව ඇති විනාශය සුළුපටු නෑ. සිතුල්පව්වට යන එන බැතිමතුන් යන එන වාහනවලට දැඩි ලෙස හානි කරමින් භයංකර ලෙස හැසිරෙන මෙම ඇතා පිළිබඳව මේ වනවිට රටම දන්නවා ගෙවුණු වසර කීපය තුළදී පමණක් විහාරස්ථානයට දාන මාන කටයුතු හා වන්දනාමාන කටයුතු සඳහා පැමිණි බැතිමතුන්ගේ වාහන 360කට විතර පහර දී අලාභහානි කරලා තියෙනවා. කොයි මොහොතක හරි මේ ඇතා මිනිස් ජීවිතයකට හානියක් සිදුකළොත් බැතිමතුන් විහාරස්ථානය යන්න එන්න බය වෙනවා. ඒ විතරක් නෙමෙයි අද ඔය කෑ ගහන පරිසරවේදීන් කියන පිරිස වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් එදාට මට දොස් කියාවි සිතුල්පව්වේ හාමුදුරුවෝ මේ ඔක්කොම දැනගෙන, මේ ඇතාගේ හැසිරීම් පිළිබඳව දැනගෙනත් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා. අද අපි මේ ඇතා අයින් කරලා දෙන්න කියලා වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලුවේ ඇතාගේ මෙන්ම බැතිමතුන්ගේත් යහපත උදෙසායි. ඇතාගෙන් සිදුවන හානිය නිසාම ජනතාව අතින් ඇතාට කරදරයක් වුණොත් කවුද ඒකට වගකියන්නේ. ඒ වගේම ඇතා අතින් මිනිස් ජිවිතයක් නැති වුණොත් කවුද ඒකට එදාට වගකියන්නේ. මම කියනවා ඔය දොස් කියන අයට එන්න. පුළුවන් නම් නන්දිමිත්‍ර ඇතා ඉන්නකොට මෙතනින් ගිහින් බලන්න. කොයිතරම් ජිවිත බියක් ඒ අයට දැනේවිද කියලා එතකොට තේරේවි.

ඔය කෑගහන සිවිල් ක්‍රියාකාරිකයින් හෝ පරිසරවේදීන් මේ ඇතාට එක වතුර උගුරක් දීලා නැතිව ඇති. නමුත් මම පසුගිය කාලේ තිබුණු දරුණු නියඟය වෙලාවේ මගේ අතින් සල්ලි වියදම් කරගෙන කැලේ වලවල් හාරලා සතුන්ට බොන්න බවුසර් වලින් වතුර ගෙනිහින් දැම්මා. කෑම බීමට පළතුරු එකතු කරගෙන ගිහින් කැලේට දැම්මා. අපි එහෙමයි මේ සතුන් බලා ගත්තේ. ඔය කෑගහන කවුරැවත් ඕවා දන්නේ නෑ. ඇතාගේ ජීවිතය වගේම මිනිස් ජිවිතත් ආරක්ෂා විය යුතුයි. ඒ නිසා මේ වෙලාවේ සිදුකළ යුතු හොඳම දේ තමයි මේ ඇතා මේ ස්ථානයෙන් ඉවත් කිරීම.

බැතිමතුන්ට දිගටම පහර දෙනවා
සිතුල්පව්ව විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ඒ.එච්.යූ. දිනකැළුම් මහතා
මෙසේ පවසයි.
නන්දිමිත්‍ර ඇතා සිතුල්පව්වට යන එන බැතිමතුන්ගේ වාහනවලට පහරදීම දිනෙන් දින ඉහළ ගිහින් තියෙනවා. අපි අවස්ථා කිහිපයකදීම වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලීමක් කළා මේ ඇතා මේ ස්ථානයෙන් ඉවත් කර දෙන්න කියලා. නමුත් ඒක කළේ නෑ. වෙන විකල්ප යෝජනා කළා විතරයි පසුගිය කාලේම. අපි වගකිවයුතු අයට පහදලා දුන්නා මේ සතාගෙන් විය හැකි හානිය පිළිබඳව. පසුගිය දවසක වන්දනාවේ පැමිණි වාහනයක් හරස් කරලා නන්දිමිත්‍ර ඇතා පහර දීලා. වාහනයේ ගමන්ගත් කිහිපදෙනෙකු භීතියට පත් වෙලා වාහනයෙන් බැහැලා දුවලා ගිහින් පාරේ බෝක්කුවක් යට හැංගිලා. ඒක ඊට එහා භයානක දෙයක්. මොකද මාර්ගය දෙපස තියෙන බෝක්කු යට දිවියන් හා වලසුන් සැඟව සිටීමේ අවස්ථාව වැඩියි. පසුගිය කාලේ අපි සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර ලෙස පසුගිය රජය සමයේ සිදුකළේ ඇතා ඉවත් කරනවා වෙනුවට ඇතාගේ බෙල්ලට කොලර් එකක් දමපු එක විතරයි. නමුත් ඒක වැඩක් වුණේ නෑ. පසුව වනජීවියෙන් යෝජනා කරලා තිබුණා නන්දිමිත්‍ර ඇතා සිටින ඉසව්ව මග හැරලා මඟුල් මහා විහාරය අසලින් ඔන්ඩච්චි බංගලාව හරහා කටගමුව ප්‍රවේශ මාර්ගයට විකල්ප මාර්ගයක් තැනිමත් හා කොච්චිපතාන කටගමුව හරහා සිතුල්පව්වට විකල්ප මාර්ගයක් තැනීමටත් තමයි යෝජනා වෙලා තිබුණේ. මම නම් විශ්වාස කරන්නේ නෑ ඇතා මඟහැරලා පාරවල් හැදුවා කියලා නන්දිමිත්‍ර ඇතා එම මාර්ගයට නොපැමිණ සිටීවි කියලා. ඒ නිසා හොඳම විකල්පය තමයි ඇතාටත් හානියක් නොවී මිනිසුන්ටත් හානියක් නොවන විසඳුමකට යාම. ඒ සඳහා කරන්න තියෙන්නේ මෙම ඇතා ආරක්ෂිත තැනකට ගෙනහින් දැමීමයි. දෝෂාරෝපණය කරන අයට මේකේ තියෙන බරපතළකම තේරෙන්නේ නෑ. ඔය විදියට බැලුවම ගම්මානවල ඉඳන් මිනීමරණ මිනිසුන්ගේ දේපළ විනාශ කරන අලි ඇතුන් පවා ආරක්ෂිත තැනකට ගෙනයාම වරදක් විදියට මේ අය ඉදිරියේදී දකින්න පුළුවන්. 

ඇතා යැව්වොත් සංචාරකයන්ට පෙන්වන්නේ මොනවද?
මේ සම්බන්ධයෙන් අප සෆාරි ජිෆ් රථ හිමියන් කිහිප දෙනෙකුගෙන්මද විමසිමක් සිදුකළ අතර එහිදී ඔවුන් පැවසුවේ මෙවන් අදහසකි.
අපි නම් මේ ඇතා අරගෙන යනවට දැඩි ලෙස විරුද්ධයි. මොකද මේ කැලේ තමයි මේ සතාට පුරුදු පරිසරය. ඔහු වෙනත් පරිසරයකට රුගෙන ගියොත් වෙන්නේ ඒ සතා තවත් තවත් ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. සිතුල් පව්වට යන එන දෙස් විදෙස් සංචාරකයන්ට මේ ඇතා පහර දෙන්න එළවනවා. නමුත් තවම නම් කියන්න තරමේ හානියක් සිදුවෙලා නෑ. වාහනවලට නම් පහරදීලා හානිකරලා තියෙනවා. අපි කරන්නේ සංචාරක ව්‍යාපාර ය.ඉතින් මේ ඉන්න අලි ඇතුන් එකා දෙන්නා අල්ලලා ගෙනිහින් වෙනත් ප්‍රදේශවලට දැම්මම අපි මොනවද මේ එන සංචාරකයින්ට පෙන්වන්නේ. ඒ නිසා නන්දිමිත්‍ර ඇතා රැගෙන යාමට අරගෙන තියෙන තීන්දුවට අපි නම් ‍ෙපෟද්ගලිකවම විරැද්ධයි.

මේ ඇතා අයින් කිරීම හොඳම විසඳුමයි
මේ සම්බන්ධයෙන් අප ගම්වැසියන් කිහිප දෙනෙකුගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් පැවසුවේ මෙවන් කතාවකි.
සිතුල්පව්වේ අලි ඇතුන් විතරක් නෙමෙයි වගවලසුන් පවා ඉන්නවා. නමුත් නන්දිමිත්‍ර කියන ඔය ඇතාගෙන් වගේ අනෙත් සතුන්ගෙන් නම් කරදරයක් නෑ. වන්දනාවේ යන එන වාහන රුසකටම පහුගිය කාලේ පහර දුන්නා. හානි සිදුකළා. එකවතාවක් වන්දනාවේ ආව වාහනයකට අලියා පහරදීලා. ඒ වාහනයේ ආව කෙනෙක් ඒකට බයවෙලා පපුවේ අමාරුවත් හැදිලා අපි ඉස්පිරිතාලේ එක්ක යන්න උදව් කළා. අලින්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බෑ. අනික තමයි සිතුල්පව්ව කියන්නේ දිනපතා විශාල පිරිසක් යන එන පූජනීය තැනක්. ඉතින් එතැනට එන පාරේ තමයි මේ අලියා ඉන්නේ. ඒ සතා නිරුපද්‍රිතව ඉවත් කිරීමයි සිදුකළ යුත්තේ. අලි ගැන නම් අපිට ඔය කවුරැවත් කියලා දෙන්න එන්න ඕනේ නෑ. අපි වැඩි කාලයක් ජීවත්වුණේ මේ වනසතුන් එක්කයි. ඒ සතුන් අතරින් කරදර කරන සතා කවුද නැත්තේ කවුද කියලා අපි දැන් හොඳට දන්නවා. නන්දිමිත්‍ර ඇතා ඇත්තටම මේ තරම් ප්‍රචණ්ඩ වුණේ සෆාරි ජීප් රථවල යන අය කන්න බොන්න දීලා මේ ඇතා ළඟට ගිහින් හෝන් ගහලා සංචාරකයන් පිනවන්න කටයුතු කරන නිසයි. ඒ නිසා ඇතා අයින් කරන එක විසඳුම ලෙස අපි දැක්කට අපි කියන්න ඕනේ ඇතාට කලින් සිතුල්පව්වට යන එන වාහනවලටත් යම් නීති රීතියක් පනවන්න ඕනේ. මොකද සතුන් ඉන්නේ කැලේ. ඔවුන්ට ඔවුන්ගේ නිදහසේ ඉන්න පුළුවන් පරිසරයත් තිබිය යුතුයි. ආණ්ඩුවලට ඕන ඕන විදියට සතුන්ගේ කැලේ මාරැ කිරීම නම් අපි අනුමත කරන්නේ නෑ.
කෙසේ වෙතත් පරිසර සංවිධාන නියෝජිතයින් වගේම ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් පවසන්නේ මෙම ඇතා සිය නිජභූමියෙන් ඉවත් කිරීම සාධාරණ නොවන බවයි. එය හරියට නිවසින් එළියට ඇදලා දමනවා වගේ වැඩක් බවයි. එය කෙසේ වුවත් ඇතාගේ ජීවිතය වගේම මිනිස් ජීවිතවලටත් ආරක්ෂාවක් තිබිය යුතුය යන්න අපගේ හැඟීමයි. නන්දිමිත්‍ර ඇතා සිය නිජභූමියෙන් එලවා දැමීම නම් ඇතැම් ගම්මුද කිසිසේත් අනුමත නොකරති. එනිසා ඒ දෙපැත්තම ආරක්ෂා වෙන විදියේ වැඩසටහනක් නම් ක්‍රියාත්මක විය යුතු බව පැහැදිලිය.

► සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර