2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

කෑගසනවා ඇහුණා. ගිහින් බලද්දි මෛත්‍රී මහත්තයට අලියා ගහලා

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

ගොවිබිම් ආශ්‍රිත ග්‍රාමීය ජනතාවට බරපතළ තර්ජනයක් වී තිබෙන වන අලි ගැටලුව ප්‍රදේශ ගණනාවකට බලපා තිබේ. විදුලිය සහිත අලි වැට අක්‍රීය වීම නිසා වගා බිම් ඇතුළු ගම්මාන අලින්ගේ තර්ජනයට ලක්ව පවතී. වන අලි - මිනිස් ගැටුම උග්‍ර වීමෙන් මිනිස් ජීවිත හා දේපළ මෙන්ම වන අලි ඝාතනය වීමේ සිද්ධීන් ද වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වන වනජීවී නිලධාරීන්ට ප්‍රමාණවත් පිරිස් බලය හා පහසුකම් නොමැතිකමින් එම නිලධාරීන්ගේ ජීවිතවලට ඇත්තේ ද අවදානමකි.

වස්ගමුව, හබරණ, මින්නේරිය, ගිරිතලේ හා දුම්බර කඳුවැටිය ආශ්‍රිත කැළෑවේ වන අලි බහුලව ජීවත් වෙති. මොරගහකන්ද හා කළු ගඟ ජලාශවලට ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමත් සමඟ වන අලින්ගේ වාසස්ථාන ගිලිහී ගොස් ඇත. ඒ සමඟම වන අලින් ගම්වැදීම බහුලව සිදුවන අතර මාතලේ නගර සීමාව දක්වාම එම තර්ජනයේ බලපෑම එල්ල වන බව දකින්නට ලැබේ. මෙහි අවාසනාවන්ත අවස්ථාවක් පසුගියදා වාර්තා වූයේ වන අලි පහර දීමකින් වනජීවී අඩවි සහකාර නිලධාරියකු ජීවිතක්ෂයට පත්වීමෙන්ය.

මාතලේ රජ්ජම්මන වනජීවී කලාපයේ වන අලි පලවාහැරීම සඳහා සිදුකළ මෙහෙයුමක් අතරතුරදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ වනජීවී අඩවි සහකාර මෛත්‍රී මධුෂාන් වික්‍රමසිංහ (42)ය.

ඔහු මාතලේ, රත්තොට, කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

මාතලේ, නාඋල, ලග්ගල, දඹුල්ල, පිල්ගමුව, ගලේවෙල ඇතුළු ප්‍රදේශවලට බලපා තිබෙන වන අලි තර්ජනය අතර පසුගියදා නාඋල, නාලන්ද ලිහිණිපිටිය ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් දසසිල් මාතාවක ජීවිතක්ෂයට පත්විය. ප්‍රදේශ කිහිපයක ජන ජීවිතයට බාධා එල්ල කරමින් ගම්වදින අලි රංචුවක් පලවාහැරීම සඳහා මාතලේ රජ්ජම්මන වනජීවී කාර්යාලයේ නිලධාරීහු ප්‍රදේශයේ පොලිස්ථාන කිහිපයක නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙහෙයුමක් සූදානම් කළහ. ඒ අනුව මෙහෙයුම ආරම්භ කොට තිබුණේ පසුගිය 14 වැනිදාය. මාතලේ උතුරු මාතලේ ප්‍රදේශයේ වන අලි සැරිසරන බවට ලැබුණු තොරතුරු අනුව මෙහෙයුම ආරම්භ කර තිබුණේ එම ප්‍රදේශයෙනි.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමත් සමඟ කාලයක් පුරා පැවති අලිමංකඩ ඇහිරීම නිසා මාතලේ නගරය ආසන්නයට පවා වන අලින් පැමිණෙන බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. එසේ වන අලි ගැවසෙන ඉසව්වක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත උතුරු මාතලේ ප්‍රදේශයේ මෙහෙයුමට ගිය නිලධාරීන් පිරිස අතර සිටි මෛත්‍රී මධුෂාන් පසුපස වන අලියකු පන්නාගෙන ඇවිත් පහරදුන් බව සෙසු නිලධාරීහු පවසති.

වනජීවී නිලධාරියාට පහරදුන් වන අලි රංචුව තුවාල සහිතව වැටී සිටි මධුෂාන් හැරදමා නොයා එතැනට වී සිටි බවද එබැවින් මධුෂාන් එතැනින් ඉවත් කර ගැනීමට මහත් පරිශ්‍රමයක් යෙදූ බව නිලධාරීහු කියති. කෙසේ හෝ මාතලේ රෝහල වෙත රැගෙන යනවිටත් මෛත්‍රී මධුෂාන් වනජීවී අඩවි සහකාර නිලධාරියා මියගොස් සිටි බව වාර්තා විය. මේ අතර අසන්නට ලැබුණේ මෙම නිලධාරියා මීට ඉහතදී සම්බන්ධ වූ වන අලි පලවා හැරීමේ මෙහෙයුමකදී අලියකුගේ ප්‍රහාරයකට ලක්ව සිටි අයකු බවය.

මෛත්‍රී මධුෂාන්ගේ අවාසනාවන්ත මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය මාතලේ මහ රෝහලේදී පැවැත්විණි. එහිදී සාක්ෂි ලබාදෙමින් මෛත්‍රී මධුෂාන් මහතාගේ බිරිඳ වන සංජීවනී ගලලියද්දගේ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

“මහත්තයා උදේම නැගිටලා වෙනදා වගේම වැඩට යන්න ලෑස්ති වුණා. ගෙදරින් යද්දි කීවා අද අලි පන්නන මෙහෙයුමක් තියෙනවා කියලා. කලිනුත් අලි එලවන්න ගිහින් මහත්තයට ආබාධයක් වුණා. එහෙම මෙහෙයුම්වල විස්තර ගෙදර ඇවිත් කියනවා. මහත්තයා සතුන්ට පුදුම ආදරයක් තිබුණා. අන්තිමට එහෙම සතෙක් නිසාම මහත්තයා නැතිවුණා. අපට දරුවෙක් ඉන්නවා. මහත්තයාගේ මරණය දරාගන්නත් බෑ. මේ මරණය ගැන සැකයක් නෑ”

මේ අතර අදහස් දැක්වූ සීගිරිය වනජීවී කාර්යාලයේ වනජීවී ආරක්ෂක චන්ද්‍ර බණ්ඩාරනායක මහතා මෙසේ පැවසීය.

“මෛත්‍රී අපි හිටපු තැනට එහා පොඩි කන්දක් වගේ තැනක හිටියේ. එතැනට පහළ හරියේ තරමක් කැලෑව. අනිත් නිලධාරීන් කන්ද පාමුල හිටියේ. එකපාරටම මෛත්‍රී කෑගහනවා ඇහුණා. ඒත් එක්කම අලිත් කෑගහනවා ඇසුණා. පස්සේ ඒ පැත්තට අපි ගිහින් බලද්දි මෛත්‍රී මහත්තයට අලි ගහලා. ඇඳුම් ඉරලා දාලා තිබුණා. සිරුර ගන්නත් ටික වෙලාවක් ඉන්න වුණා.”

අවම පහසුකම් යටතේ වුවද වනජීවී නිලධාරීහු වන අලි ගැටලුවට මුහුණ දී සිටින අහිංසක ජනතාව බේරාගැනීමට මෙවැනි මෙහෙයුම් සිදු කරති. කිසිවිටෙකත් ඔවුහු වන සතුන්ට හිරිහැරයක් නොකිරීමට වගබලා ගනිති. තම සගයකු දෑස මානයේදීම මරණයට පත් කළද අවි ආයුධ අතැතිව සිටි ඔවුන් අලින්ට හිරිහැරයක් කිරීමට උත්සාහ කොට නැත. මෙසේ කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් හා පිරිස් බලය මදිකම ප්‍රධාන ගැටලුවකි. වනජීවී නිලධාරීන්ගේ ජීවිත අනතුරට වැටීමට එය ප්‍රධාන හේතුවකි. එබැවින් අවශ්‍ය කරන පහසුකම් හා ප්‍රතිපාදන ලබාදීම ආණ්ඩුවේ වගකිව යුතු බලධාරීන්ගේ යුතුකමය.

සමන්ත ප්‍රදීප් විල්තෙර
    පසුබිම් වාර්තා හා සේයාරූ - ඉන්දික අරුණ කුමාර 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00