2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

මියයන කොරල්පරයට හුස්ම පිඹින කල්පිටිය

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 278

අප රටේ වැඩිම ජෛව විවිධත්වයකින් යුත් දුර්ලභ කොරල්පරයක් වූ කල්පිටිය බාර් රීෆ් නොහොත් මහා බාධක කොරල්පරය මේ වන විට 98%ක් පමණ විනාශ වී ඇතැයි පරිසරවේදීහු පවසති. පුත්තලමට ඉහළින් පිහිටි කල්පිටියේ උච්චවේලිවල සිට මුහුදු සැතපුම් 1-2 අතර පිහිටි මේ කොරල්පර අභයභූමිය වර්ග කිලෝමීටර් 306ක විශාලත්වයකින් යුක්තය. කොරල්පරය පමණක් වර්ග කිලෝමීටර් 40ක් විශාලය. එහි කොරල් විශේෂ 122ක් පමණ සහිතය. මෙම කොරල්පරය වනජීවී අභයභූමියක් බවට පත් කළේ 1992 දීය. ඒ ආශ්‍රිතව ජීවත්වන මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 420 ක් පමණ වේ.

අප කල්පිටියට ගොස් බෝට්ටුවක නැගී යන්නේ කොරල්පරයේ අලංකාරත්වය නැරඹීමටය. ඒ අවට සැරිසරනා ඩොල්පින් මසුන්ගේ රැඟුම් දැකගැනීමටය. දහස් සංඛ්‍යාත විදෙස් සංචාරකයන් පවා ආකර්ශනය කළ මෙම කොරල්පරය දැන් මළ කොරල්පරයක් බවට පත්වෙමින් පවතී. තවදුරටත් එහි ජීවය පවතින්නේ 2%ක් වැනි සුළු අගයක් පමණි.

ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ 1998 වර්ෂයේ හටගත් එල්නිනෝ තත්ත්වයයි. නමුත් සුරැක්කු ලයිලා වැනි තහනම් දැල් යොදා කරන ධීවර කර්මාන්තය, ඩයිනමයිට් දැමීම, කොරල්පර මත ඇවිදීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් මෙහි විනාශය උග්‍ර කර තිබේ. මේ මියයන කොරල්පරයට ජීවය ලබාදීමේ වැඩසටහනක් සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානය (Orca) විසින් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය සහ අධීක්ෂණය ද හිමිවේ.

ලෝකයේ බොහෝ රටවල් මියයන කොරල්පර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට විවිධ උපක්‍රම භාවිත කරයි. අප රටේ ද රෑමස්සල ඇතුළු ස්ථාන කිහිපයක කෘත්‍රිම කොරල් වගා කිරීමට සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානය මෙයට පෙර මැදිහත් වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කල්පිටිය අඩවි වන නිලධාරී මොරතැන්න මේ කටයුත්ත පිළිබඳව අපට අදහස් දැක්වූයේ මෙලෙසයි. මෙහිදී සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානය සිදු කරන්නේ කොන්ක්‍රීට්වලින් කෘත්‍රිම කොරල්පර හදලා මුහුදේ විනාශ වූ කොරල් පිහිටි ස්ථානවලට දැමීමයි. ඒවා මත කොරල් කැබලි අලවා රෝපණය කිරීමක් සිදු කෙරෙනවා. ඒවා නැවත වගාකිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ යුතු වෙනවා. නාවික හමුදාවෙනුත් මෙයට පෙර මෙවැනි කොරල් වගා වැඩසටහනක් කළා. ඒක මෙයට වඩා වෙනස්. විවිධ ආකාරයට කොරල් වගාකිරීම ගැන අපි අත්හදා බලනවා. කොරල්පරවල සිටින මසුන් මේ කෘත්‍රිම කොරල්පරවලට ආකර්ශනය වන බව අපට නිරීක්ෂණය වුණා.

රළ ගසන මහ සමුදුරේ ධීවර බෝට්ටු ඒ මේ අත යාත්‍රා කරයි. සංචාරකයන් සහිත බෝට්ටු ද ඉඳහිට ගමන් කරයි. යුද්ධයෙන් පසු කල්පිටිය අවට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේය. පුළුල් වැලිතලාව සහිත මුහුදු වෙරළ, ශුෂ්ක කලාපීය ශාක සහිත වනාන්තර, පහත්බිම් හා වැලිකඳු, බූරැවන් සහිත ලඳු සංචාරකයන්ට අපූරැ අත්දැකීම් ලබාදීමට සමත්ය. නමුත් කොරල්පරය මියයාම සංචාරක ආකර්ශනය අඩුවීමට හේතුවක් වී තිබේ.

කොරල්පර ඉහළ ජෛව විවිධත්වයක් සහිත පරිසරය පද්ධති වේ. කොරල් ජීවීන් වන සිලෙන්ටරේටා වංශයට අයත් කුඩා මුහුදු සතුන් විසින් ස්‍රාවය කරන කැල්සියම් කාබනේට් සහිත අස්ථිමය සැකිලි මගින් කොරල්පර නිර්මාණය වේ. එලෙස ගොඩනගනු ලබන අස්ථිමය ද්‍රව්‍ය හා එහි වාසය කරන මුහුදු සතුන් හා ශාක සජීවී කොරල්පර ලෙස හැඳින්වේ. කොරල්පර වඩාත් හොඳින් වර්ධනය වන්නේ සූර්යාලෝකය හොඳින් පතිත වන නොගැඹුරැ මුහුදු කලාපවලය. කල්පිටිය එවන් මුහුදු කලාපයකි.

සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානයේ උපදේශක ප්‍රසන්න වීරක්කොඩි විනාශ වූ කොරල්පරය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ගැන අප සමඟ පැවසුවේ මෙලෙසයි. අපි මුලින්ම මේ කොරල්පරය ගැන සමීක්ෂණයක් කළා. 1998ට පෙර කල්පිටිය තමයි ලංකාවේ හොඳම කොරල්පරය වුණේ. නමුත් එල්නිනෝ පරිසර තත්ත්වය නිසා කොරල් විරංජන අවස්ථාවක් හටගත්තා. කොරල් තුළ තිබෙන ඇල්ගී පිටවීම නිසා ඒවා සුදු පාට වීමටයි විරංජනය කියන්නේ. ඒක දකුණු ආසියාවටම බලපෑවා. එලෙස විනාශ වූ දකුණේ කොරල්පර එකක්වත් නැවත හරියට හැදුණේ නෑ. නමුත් උතුරු නැගෙනහිර කොරල්පර නැවත නිර්මාණය වන බව පෙනුණා. කල්පිටිය කොරල්පරයත් එලෙස නිර්මාණය වෙමින් තිබුණා. එයට හේතුව යුද්ධය නිසා මානව ක්‍රියාකාරීත්වයක් සිදුනොවීම. 2016 දී නැවත විරංජන අවස්ථාවක් පැමිණ කල්පිටිය කොරල්පරය විනාශ වුණා. මේක යළිත් ප්‍රතිෂ්ඨාපනය වීමට නම් මානව ක්‍රියාකාරකම් අඩු කරලා වර්ධනය වීමට ඉඩ දිය යුතුයි. අපි උත්සාහ කරන්නේ එලෙස වර්ධනය වීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි.

යුද්ධය නිසා උතුරු නැගෙනහිර කොරල්පර අවට ධීවර කටයුතුවල යෙදීම මෙන්ම ඒවා නැරඹීමට ජනතාව පැමිණීම ද සිදු නොවුණි. මේ නිසා කොරල්පරයට ජීවය ලබාදීමට නම් තාවකාලිකව හෝ ප්‍රදේශයේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම්වලට නැවතීමේ තිත තැබිය යුතු වේ. ශ්‍රී ලංකාවේ සෑම කොරල්පරයක්ම පාහේ මියයාමේ අනතුරට මුහුණපා සිටී. හික්කඩුව, රෑමස්සල, බොනාවිස්ටා, පරෙවි දූපත, පොල්හේන, වාකරේ, සිලාවතුර ඒ අතරින් කිහිපයක් පමණි. වර්ෂ 2050 වනවිට මෙරට සමස්ත කොරල්පර පද්ධතියම විනාශවීමේ දැඩි අනතුරකට මුහුණපා ඇත.

කල්පිටිය කොරල්පරය නරඹන ස්ථානවල යම් කොටසක් බෝය දාලා මිනිස් ක්‍රියාකාරකම්, ධීවර කටයුතු නතර කළා. පරයේ පොළොව දැනට හැදිලා තිබෙන්නේ මියගිය කොරල්වලින්. ඒවා කැඩිලා පොළොවට වැටිලා තිබෙන්නේ. එම කැඩුණු කැබලි රළත් සමඟ රෝල්වෙලා ගිහින් නැවත නිර්මාණය වන කොරල් විනාශ වෙනවා. මේ නිසා අපි කෘත්‍රිම පොළොවක් හැදීමට පටන් ගත්තා. අපි කළේ සිමෙන්ති කණුවලින් එය තනා කොරල්පර මත තැන්පත් කිරීමයි. ප්‍රසන්න වීරක්කොඩි තවදුරටත් තම වැඩපිළිවෙල විස්තර කළේය. මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමඟ රාජ්‍ය ආයතනද මූලිකත්වය ගෙන ඇත. වනජීවී දෙපාර්තමේන්තුව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවල සහාය ඒ සඳහා හිමිවේ. මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ක්‍රියාත්මක කලාඔය සංවේදී පරිසර කලාප ව්‍යාපෘතිය මගින් වෙන්කළ ප්‍රතිපාදන මේ සඳහා යොදාගන්නා බව සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානය පවසයි.

කල්පිටිය අඩවි වන නිලධාරී මොරතැන්න අප සමඟ පැවසුවේ මෙම වැඩසටහන සාර්ථක වීම තුළින් සංචාරක කර්මාන්තයට ද ධීවර ප්‍රජාවට ද වාසිදායක වන බවයි. දැන් ඒගොල්ල ලයිලා, සුරැක්කු, දැල් දැමීම නිසා මහා පරිමාණයෙන් කොරල්පර විනාශ වෙනවා. ඒකෙ අවාසිය ධීවරයන්ට හා බෝට්ටු හිමියන්ටමයි. එවිට කොරල්පරයේ මත්ස්‍ය ගහණය අඩුවෙනවා. මේක සාර්ථක වුණොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ආදර්ශ වැඩසටහනක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00