පාතාලයේ කිරුළ දරන්නට කලින් කලට චණ්ඩින් බිහිවෙති. පාතාලය රජ කරන උන්ගේ අණට පිටින් යන ඕනෑම ජගතකුට අතපය අහිමි කරන්නට හෝ මරණය තෑගි කරන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැත. කුලියට මිනීමරන, වෙඩි තියන, පැහැර ගන්නා හෝ තරගෙට කප්පම් ගන්නා උන්ට නීතියක් අදාළ නැත. මත්කුඩු සහ ගිනි අවි ජාවාරම හරහා සල්ලි සොයන්නට උන්ගේ අණට දඟලන ගෝල බාලයෝද ඕනෑතරම් සිටිති.
අණක් ගුණක් නැති පාතාල කෙරුම් වර්ධනය වීමත් සමඟ ඔවුන් මර්දනය කිරීමට රජයේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටියි. පාතාල කිරුළ දරා සිටියදීම ඇතැමුන් පරලොව ගියේ එවැනි මෙහෙයුම්වලදීය. අත්අඩංගුවට පත් තවත් පාතාල නායකයෝ සහ ගෝල බාලයෝ මහඋළුගෙදර තපිමින් සිටිති. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතරතුර තැන තැන විසිරුණු සිය ගෝලබාලයන් යොදවා ජාවාරම් කිරීම, මිනීමැරීම හා කප්පම් එකතු කිරීමට පවා පාතාල නායකයෝ ශක්තිමත් වී සිටිති. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක ඌරුජුවා හෙවත් දිනිත් මෙවන් මාඹුල බන්ධනාගාර නිලධාරීන් මුදලට ගෙන ඔවුන්ගේ සහාය මත පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටින බව හෙළිදරව් වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඌරුජුවාගේ ගෝලයන් හතර දෙනකු අතුරුගිරිය, නවගමුව හා බියගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. දින කිහිපයකට ඉහතදී අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකින් කියා තිබුණේ පාතාල නායකයකුගේ ගෝලයකු විසින් කඩුවෙල නගරයට යතුරුපැදියක පැමිණ කප්පම් මුදල් එකතු කරන බවකි. වැඩිදුරටත් තොරතුරු දන්වා තිබුණේ එම පුද්ගලයා කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී බන්ධනාගාර නිලධාරීන් ඇසුරු කරන බවය. මෙම තොරතුරු අතුරුගිරිය බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා විසින් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත දන්වා තිබිණ.
ඒ අනුව සිදුකළ මෙහෙයුමකදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබුවේ බියගම ප්‍රදේශයේදීය. අත්අඩංගුවට පත්වන මොහොතේ ජංගම දුරකතනයක් හා එකම ජාලයකට අයත් සිම්පත් 2ක් ඔහු සන්තකයේ තිබී ඇත. වැඩිදුරට අනාවරණය වූයේ එම සිම්පතක් හරහා පාතාල සාමාජික ඌරුජුවාට කතාබහ කරන බවත් ඔහුගේ කීමට සැකකරු එම සිම්පත භාවිතා කරන බවත්ය. අනෙක් සිම්පත අමතර භාවිතය සඳහා තබාගෙන සිටි බවද පවතා තිබිණ.
සැකකාර තරුණයා “හච්” වර්ගයේ සිම්පත් 10ක් මිලට ගෙන තිබිණ. ඉන් සිම්පත් 5ක් කඩුවෙල අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරියකුට ලබාදී ඇත්තේ ඌරුජුවාට ලබාදීම සඳහාය. ඌරුජුවාගේ කීමට කටයුතු කළ මොහු විවිධ අවස්ථාවලදී අධිකරණ පරිශ්‍රෙය් සිට එම බන්ධනාගාර නිලධාරීන්ට දහස් ගණනින් මුදල් ලබාදුන් බවද ප්‍රකාශ කර ඇත.
ඔහු සන්තකයේ තබාගත් සිම්පත් පහෙන් එකක් බන්ධනාගාර නිලධාරියකුටත් සිම්පත් දෙකක් ඔහු නොහඳුනන ඌරුජුවාගේ හිතවතුන් දෙදෙනකුට දුන් බවද පවසා ඇත.
මෙම සැකකාර පුද්ගලයා ඌරුජුවා හඳුනාගැනීම වෙනස් කතාවකි. දිනක් බියගම ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර මොහු හා මිතුරු පිරිසක් ඊට සහභාගී වී ඇත. ප්‍රසංගය අතරතුර තරුණ දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ බුලත් කෙළගැසීමේ සිද්ධියක් හේතුවෙනි. එක් පිරිසක් තුළ සැකකාර තරුණයා සිට ඇති අතර පොලීසිය මැදිහත් වී දෙපාර්ශ්වයටම පහරදී ගැටුම සමතයකට පත්කර තිබිණ. එහෙත් සැකකාර බියගම තරුණයා විරුද්ධ පාර්ශ්වයේ අයට හොඳහැටි ගුටිබැට දුන් බවත් සිදුවීමේදී ඔහු කැපී පෙනුණු බවත් දුටුවන් ප්‍රකාශ කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් සැකකාර තරුණයා එදා පොලිස් අත්අඩංගුවට පත්විය. සිදුවීමට දින දෙකෙකට පසුව අත්අඩංගුවෙන් නිදහස් කළ තරුණයාට ලැබුණු දුරකතන ඇමතුමකි.
“මල්ලී මම වැලිකඩ බන්ධනාගාරේ ඉඳලා කෙනෙක් කතා කරන්නේ.... මගේ නම දිනිත්. හැබැයි ගොඩක් අය දන්නේ ඌරුජුවා කීවමයි.”
“හා ඔව්... අයියේ මම නම නම් අහලා තියෙනවා.”
“මොනවද මල්ලි මම ගැන අහලා තියෙන්නේ.”
“පත්තරවලයි ඉන්ටර්නෙට් එකෙයි අයියා ගැන විස්තර කියවලා තියෙනවා. චණ්ඩියෙක් කියලා තමයි දන්නේ.”
“හරි හරි ඒකට කමක් නෑ... මල්ලී මම කතා කළේ උඹ පව් කියලා හිතුණු නිසා... උඹ එදා සංගීතයේදී කොල්ලෙකුට ගැහුවා නේද? උඹ ගහලා තියෙන්නේ කොස්ගොඩ සුජියාගේ කොල්ලෙකුට. කොස්ගොඩ සුජී දන්නවද? ඌ ඉන්නේ මාත් එක්ක ඇතුළේ. මම උටත් හොරෙන් මල්ලිට කතා කරන්නේ. සුජී කියනවා එයාගේ කොල්ලට ගහපු පලිය ගන්න උඹ මරණවා කියලා. ඒකට කොස්ගොඩ තාරකගෙ කොල්ලෙක් උඹ හොයනවා. පරෙස්සම් වෙලා හිටපන්.”
මෙසේ ඌරුජුවා හා පෙර කී තරුණයා අතර වූ සංවාදයට දින කිහිපයකට පසුව යළිත් ඌරුජුවා තරුණයාව අමතා තිබිණ. එවිට තරුණයා “අයියේ මම බයේ ඉන්නේ අයියේ...” යැයි කියා ඇත. එවිට ඌරුජුවා මෙසේ කියා තිබිණි.
“හරි හරි මල්ලි උඹ අවුලක් ගන්න එපා. මම ඒක ෂේප් කළා... උඹ බය නැතුව හිටපන්. මම නිසයි උඹ ජීවත් වෙන්නේ. හැබැයි මටත් උඹ පොඩි උදව්වක් කරන්න ඕනේ.”
“අනේ අයියේ ඕනම දෙයක් කියන්න මම කරලා දෙන්නම්” යනුවෙන් තරුණයාගේ පිළිතුර වී තිබිණි.
එහිදී ඌරුජුවා කියා ඇත්තේ “ලොකු දෙයක් නෑ. උඹ කඩුවෙල පාලම ළඟට පලයං. එතැනට කෙනෙක් ඇවිත් උඹට සල්ලි දෙයි. පරෙස්සමට සල්ලි ටික මම දෙන ගිණුමට දාපං... ඊට කලින් උඹේ බයිසිකලේට ෆුල් ටෑන්ක් තෙල් ගහන්නයි, ෆෝන් එකටයි, අතේ වියදමටයි වුවමනා සල්ලි ටිකක් ගනින්.”
මේ ආකාරයට ඌරුජුවාට කෘතගුණ සලකමින් සිටි තරුණයා ඌරුජුවාගේ කප්පම් මුදල් එකතු කොට කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක තැන්පත් කිරීම සිදු කරගෙන ගොස් ඇත. වරකට රුපියල් 50,000 සහ 100,000 වැනි මුදල් එම ගිණුමට බැරකළ බවත් එකම පුද්ගලයා අවස්ථා කිහිපයකදී මුදල් ලබාදුන් බවත් ඔවුන් තමා නාඳුනන බවත් ඔහු කියා ඇත. මේ අතර කඩුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් මුදල් ලබාගන තිබෙන බවද ඒවා ඌරුජුවාට කප්පම් ලෙස ලබාදෙන මුදල් බවද කියා ඇත.
මෙම තරුණයා සංගීත ප්‍රසංගයේදී පහරදුන් සිදුවීමට පසුව ඌරුජුවා දුරකතන ඇමතුමකින් පවසා තිබූ කතාව මුසාවකි. තරුණයා එදා පහරදී තිබුණේ ඌරුජුවාගේ දන්නා අඳුනන කෙනකුටය. ඒ මාර්ගයෙන් ඌරුජුවා තරුණයා සිය කප්පම් එකතු කිරීමට යොදාගෙන තිබෙන බව වැටලීමෙන් පසුව අනාවරණය වී තිබේ.
ඌරුජුවා අධිකරණයට පැමිණෙන දිනට බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙක් පැමිණෙති. ඒ අතර රියැදුරු, ජේලර්වරයා, මාංචු නිලධාරියා, රාජකාරි බාර නිලධාරි සහ ගිනි අවි සහිත ආරක්ෂකයන් සය දෙනකු ලෙසය. ජේලර්වරයා පැති අවියක් හා ආරක්ෂක නිලධාරීන් ටී.56 ගිනි අවියක් සහිතව ඌරුජුවාගේ ආරක්ෂාවට පැමිණෙති. මේ පිරිසෙන් සිම්පත් හා මුදල් ලබාගෙන ඌරුජුවාට ගෙන යන පුද්ගලයා කවරෙක්ද? හඳුනාගැනීම සඳහා නිලධාරීන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර තිබේ. සෙසු දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටිති. පාතාල සාමාජික ඌරුජුවාගෙන් වරප්‍රසාද ලද බන්දනාගාර නිලධාරියා අද හෙටම නීතියට කොටුවනු ඇත.
ඌරුජුවා මීට පෙර ඝාතනයට ලක්වූ පාතාල නායක සමයංගේ හොඳම ගෝලයාය. සමයංගෙන් හිස් වූ පාතාල බලය කඩුවෙල ප්‍රදේශයේ පතුරුවාගෙන සිටින්නේ ඌරුජුවාය. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම දින දෙකක් පුරා වසා තබන්නට ඌරුජුවාගේ මැරබලය පසුගිය සමයේ සමත්ව තිබිණ. මිනීමැරුම්, වෙඩිතැබීම්, තර්ජනය කිරීම්, කපා කෙටීම්, කප්පම් ගැනීම්, ගෙවල් ගිනිතැබීම් ඇතුළු චෝදනා රැසකි.
ඌරුජුවා වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් අල්ලේ නැටවීම නියමාකාරවම සිදුකර තිබේ. අහිංසක මිනිසුන්ගෙන් ඌරුජුවා ලබාගත් කප්පම් සල්ලිවලින් සුරසැප විඳි බන්ධනාගාර නිලධාරීන් දෙතුන් දෙනකුම භුක්ති විඳි සියල්ල වැමෑරීමට තවත් ඇත්තේ කීප දවසකි.
බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ පොලිස් අධිකාරී විදුර ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන් 20553 මෙන්ඩිස්, 40248 ප්‍රසන්න, 10350 නවින්ද, 56958 ප්‍රසන්න, පොලිස් කොස්තාපල් 77688 අමිල, 72984 ගිහාන්, 81600 සමීර, 84762 කුමාර සමග පොලිස් කොස්තාපල් රියැදුරු 18818 තිලකසිරි යන නිලධාරීහු වැටලීමට දායක වූහ.
සමන්ත ප්‍රදීප් විල්තෙර