ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ජාත්‍යන්තර මූල්‍ය සහ ආර්ථික කටයුතු ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “ඍණාත්මක” ලෙස සංශෝධනය කර තිබේ. ශ්‍රී ලංකාව ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීමේ ස්ථාවරයෙන් බැහැර වනු ඇතැයි යනුවෙන් හා එමගින් ණය තිරසරභාවයට අවදානමක් ඇතිවනු ඇතැයි යන උපකල්පනය අනුව මෙලෙස අපේ රට ඍණාත්මක තත්ත්වයට පත්කර ඇත.
දැනට “B”ශ්‍රේණියේ ඍණාත්මක තත්ත්වයේ පවතින ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණි ගත කිරීම අනුව තව එක් ශ්‍රේණියක් පහළ ගොස් DCCC තත්ත්වයට පත්වනු ඇතැයි අනතුරු ඇඟවේ. එයින් රටට සිදුවිය හැකි අහිතකර බලපෑම් විශාලය.
මෙයට පිළිතුරු ලෙස පසුගිය 19 වැනිදා නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍යාංශය නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය වටහා නොගෙන කඩිමුඩියේ ගන්නා ලද තීරණයක් හැටියට ශ්‍රී ලංකා රජය අවධාරණය කරන බව සඳහන් කරයි. එම නිවේදනය නිකුත් කර ඇත්තේ “ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ඍණාත්මක ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.” යන සිරස් තලයෙන් යුතුවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ෆිච් රේටින්ග්ස් වැනි ආයතන ශ්‍රී ලංකාවේ ආර්ථික චලන පිළිබඳ නිරතුරුව අවදියෙන් පසුවන අතර ණය ලබාගැනීම මෙන්ම ණය වාරික සහ පොලිය ගෙවීමට අපට තිබෙන හැකියාව බිඳවැටීම පිළිබඳ නිරතුරුව අනතුරු ඇඟවීම් සිදු කරමින් සිටි. එහෙත් ඒ පිළිබඳ රජය සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙලෙස පහළ ශ්‍රේණියකට දමා තිබෙන බව අනාවරණය වෙයි. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී දෙසැම්බර් 01දා සිට ක්‍රියාත්මක වන තීරු බදු සහ වෙනත් බදු සහන හා බදු කපාහැරීම් ආදිය නිසා ජාතික ආදායම තවදුරටත් දුර්වල වන බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර සිටිති.
එහෙත් මෙයට පිළිතුරැ ලෙස මුදල් අමාත්‍යාංශය කර ඇති නිවේදනය අනුව අනාවරණය කර ඇත්තේ ෆිච් රේටින්ග්ස් ආයතනය පවසන අන්දමේ රාජ්‍ය ආදායම දුර්වලවීමක් සිදු නොවන බවයි. රජය පෙන්වාදී ඇත්තේ වැට් බද්ද තුළින් ලැබෙන සියයට 15 බදු ආදායම මූල්‍ය අංශයේ බදුවලින් ලැබෙන නිසා එයින් හිඟයක් ඇති නොවන බවය. ජාතිය ගොඩනැගීමේ බද්ද වූ සියයට 2 ඉවත් කිරීමෙන් අහිමිවන ආදායම වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද සියයට 7.5 සිට සියයට 10 දක්වා ඉහළ නැගීම තුළින් ලබා ගැනීමට හැකිවන බවද කියයි. රාජ්‍ය ව්‍යවසායවලට වැට් බදු ආදායම සැලකිය යුතු ලෙස පහළ බැස්සද එය බදු නොවන ආදායමක් ලෙස නැවත ලබාගැනීමට කටයුතු යොදා ඇතිබවද පැවසේ. උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කර ඇති නමුත් එහි ඉහළ සීමාව ආදායම් බද්ද ලෙස යළි ප්‍රතිස්ථාපනය කර ඇති බවද කියයි.
මෙම නිවේදනය අනුව බදු ඉවත් කිරීමෙන් රජයට අහිමි වන ආදායම යළි ලබා ගැනීමට ගන්නා උපාය මාර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් කර ඇත. මෙම කරුණු පැහැදිලි කිරීම ජාත්‍යන්තරය පිළිගතහොත් ෆිච් ආයතනය තමන්ගේ නිර්දේශ වෙනස් කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීමට පුළුවන.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ප්‍රකාශ කරනුයේ ශ්‍රී ලංකා රජය ජනතාවගේ පැත්තෙන් සිට ගෙන ගන්නා ලද ඇතැම් තීරණ නිසා රටේ මූල්‍ය තත්ත්වයට අහිත කර බලපෑමක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තරය පුරෝකථනය කර ඇති බවකි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ හෙළීමට කටයුතු කිරීම තුළින් ජනතාවගේ ජීවන බර අඩු කිරීමට ගත් පියවරවල් වැදගත් වුවද රාජ්‍ය ආදායම රැකගැනීමට විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමුවීම අවශ්‍ය බවද ඔහු කියාසිටී.
“ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉතාම අවදානම් තත්ත්වයකට පත්වීම වැළැක්වීම අපහසුයි. ව්‍යාපාරිකයන්ගෙන් අයකර ගන්නා ආදායම් බදු හා වැට් බදු අඩුකිරීම සහ බදු ඉවත් කිරීම නිසා අහිමි වන ආදායම විශාල විය හැකියි. එයට විකල්ප වැඩපිළිවෙළක් තිබේද යන්න සොයාබැලිය යුතුයි. පිටරටින් ලැබෙන ප්‍රේෂණ බිලියන 500 පමණ මේ වනවිට අඩුවීම හා නිර්යාත සංවර්ධනය නොවීම මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ නිසා අනාගත දේශපාලන තත්ත්වයේ අවිනිශ්චිතතාව නිසා ආයෝජන පිළිබඳ උනන්දුව අඩුවීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සමයේ අපේ රට සමඟ පැවැති වැඩසටහන් මුළුමනින්ම වෙනස් කිරීමට පෙළඹීම ආදී හේතු නිසා රටේ ආර්ථික වර්ධනය පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම මෙන්ම ණය ගෙවීමේ නොහැකියාව නිසා රටේ ණය බර දිගටම වැඩිවනු ඇතැයි උපකල්පනය කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු බව කිව යුතුයි.”
මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ Fitch Rating ආයතනයේ අලුත්ම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණි ගත කිරීම් අතින් පහළ හෙළා ඇත්තේ මෑතකදී සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජාතික ආදායමට යම් පමණක හානියක් ඇතිවේය යන්න පුරෝකතනය කිරීම නිසා විය හැකි බවය.
“Fitch Rating” යනු ණය ශ්‍රේණි ගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර ආයතනයක්. මෙය ජාත්‍යන්තර වශයෙන් සියලුම රටවල් පිළිගෙන තිබෙනවා. රටක ණය හා ණය කළමනාකරණය පිළිබඳ සහ තවත් පැතිකඩ කිහිපයක් පිළිබඳ සලකා බලා රටවල් ශ්‍රේණිගත කිරීම මෙහිදී සිදුවෙනවා. රටවල මූල්‍ය කළමනාකාරීත්වයේ හොඳ නරක මෙයින් විග්‍රහ වෙනවා.
මෙම ආයතනයේ සොයා ගැනීම අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණයේ ගැටලු ගණනාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. ණය ආපසු ගෙවීමට මේ වනවිට පැනනැග ඇති නොහැකියාව පිළිබඳ අර්බුදයක් මතුව තිබෙනවා. පසුගිය වසරේ විදේශ ණය බිලියන 6ක් පමණ අපහසුවෙන් ගෙවා ඇති අතර මේ වර්ෂයේ එය තවත් වැඩිවනු ඇති බව පැවසෙනවා. අපේ වාර්ෂික ජාතික ආදායම පවා මේ වනවිට ණය සහ පොලී ගෙවීමට නොසෑහෙන තත්ත්වයට පත්ව තිබෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකයකුට වුවද බැංකුවක් ණය දෙන විට වත්කම් බැරකම් සහ ස්වකීය ආදායමෙන් ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳ බලනවා. වත්කම්වලට වඩා වගකීම් වැඩි නම් ඒ අනුව ආයතන බංකොලොත් බව පෙනෙනවා නම් ණය දෙන්න බැහැ. එයට හේතුව දුන් ණය අයකර ගන්න බැරිය යන සැකයයි. රටකටත් මේ තත්ත්වය එසේම පවතිනවා.
තමන්ගේ ආදායමෙන් ණය ගෙවීම පිළිබඳ අවදානමක් තිබෙනවා නම් එවැනි අවස්ථාවක පොලී අනුපාත වැඩි කරනවා. එහිදී මූල්‍ය වෙළෙඳ පොළෙන් අධි පොලියට ණය ගන්න සිදුවෙනවා. මෙහිදී ජාත්‍යන්තරයට ණය ගෙවීමට බැරි බවට තොරතුරු ගියොත් ණය ගන්න බැරි වෙනවා. මේ තත්ත්වය රටට අහිතකරයි. සහන ණය ගත නොහැකිවීම රටේ සංවර්ධනයට බාධාවක්. ණය බර වැඩිවෙනවා. මෙවැනි අවස්ථාවකදී එම තීරණය පිළිබඳ කරැණු ඉදිරිපත් කරන්න රටකට පුළුවන්.
අලුත් ආණ්ඩුව බලයට පැමිණි විගසම වගේ වැට් බදු කපාහැරීම නිසා අයවැයේ ආදායම් වියදම් පරතරය සියයට 3කින් පමණ වැඩි වුණා. තවද මිලියන 300ක් පමණ ණය කපා හැරීමට ද යෝජනා කර තිබෙනවා. මේ නිසා ණය පරතරය ඉහළ යනවා. ආණ්ඩුව කියන්නේ වැට් කපාහැරීම නිසා ආදායම අඩු වන බව බැලූ බැල්මට පෙනෙන නමුත් නව ව්‍යාපාර ඇතිවීම සහ තිබෙන ඒවා වර්ධනය වීම නිසා අඩු වැට් අනුපාතයට වුවද ලැබෙන ආදායම වැඩිවන බව කියයුතුයි. මේ ආකාරයට ආණ්ඩුවට පුළුවන් තම මූල්‍ය ශක්තියේ ස්ථාවර භාවය එම ආයතනයට සනාථ කරලා තත්ත්වය වෙනස් කර ගන්න. තර්ක අනුව එය නිවැරදි කළ හැකියි.
තවම ආණ්ඩුවේ වැඩපිළිවෙළ ආරම්භ කළා පමණයි. ආර්ථික ගමන් මග සනිටුවන් වන්නේ ඉදිරියටයි. අද පවතින තත්ත්වය නුදුරේදී වෙනස්විය හැකියි. මෙම තීරණය ගැනීමට පාදකවී ඇත්තේ පරණ සංඛාලේඛන විය හැකියි. අලුත් ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කරලා තත්ත්වය නිවැරදි කර ගන්නට පුළුවන් වෙනවා ඇති.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ මැදිහත්වීම මේ අවස්ථාවේ වැදගත් වෙනවා. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් සහ විදේශ දූත මණ්ඩල නිලධාරින් මේ පිළිබඳ කතා කළ යුතුයි. දේශපාලන ඇසින් මේ දෙස බැලිය නොහැකියි. ආණ්ඩුවට හෝ විපක්ෂයට මෙහි වරද පැටවිය නොහැක. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සුදුසුම පුද්ගලයා මේ වනවිට පත්කර තිබෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති ජාත්‍යන්තරය පිළිගත් දේශීය මහාචාර්යවරයකුයි මේ වනවිට මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන්නේ. ඔහු ආනයනය කළ අයකු නොවෙයි. දේශීය මූල්‍ය කළමනාකරණය ගැන ප්‍රවීණයකු නිසා ඔහු නිරතුරුව ප්‍රායෝගිකව කටයුතු කරාවියැයි හිතනවා.
මෙම ප්‍රශ්නය වේදිකාවල කතා කර විසඳන්න බැහැ. විපක්ෂයට වරද නොපටවා ආණ්ඩුව මෙයට විසඳුම් සෙවිය යුතුයි. අපි අපේ විසඳුම් දිය යුතුයි. තවම ආණ්ඩුවේ අයවැයක් අනුමතවී නැහැ. අයවැයක් නොමැතිව රටේ සංවර්ධනය ගැන පැවසිය නොහැක. අපේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ජාත්‍යන්තරයට කරුණු පැහැදිලි කළ යුතු වෙනවා. අයවැය ලේඛනයේදී වැට් බදු ආදායම වැඩියෙන් පෙන්විය හැකි නම් අපට යම් සහනයක් ලබාගත හැකියි.
ජපානය, සිංගප්පූරැව, කොරියාව වැනි රටවල් ණය කපාහැර බදු අඩුකර ආර්ථිකය නංවා තිබෙනවා. රටේ රැකියා අලුතින් උත්පාදනය කළ හැකි නම් එයින් ණය කපා හැරීමට වඩා වාසි ලැබෙනවා. පසුගිය ආණ්ඩුව සමයේදී රටේ ව්‍යාපාර කඩාගෙන වැටුණා. මූල්‍ය කළමනාකරණය අසාර්ථක වුණා. අයවැය උඩු යටිකුරු වුණා. දැන් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි. එතැනින් පටන්ගෙන ඉදිරියට යායුතු වෙනවා. දැනට ඉදිරිපත් කර ඇති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවෙයි. එය අයවැය ලේඛනය මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යනුකූල කරගත යුතු වෙනවා. හැකි ඉක්මනින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කර අපේ ඉදිරි දැක්ම පිළිබඳ අදහසක් ජාත්‍යන්තරයට දිය යුතුය. එවිට මෙම ඍණාත්මකය යන නිර්වචනය වෙනස් කරගත හැකි වනවා ඇත.”
► යසවර්ධන රුද්රිගු