2017 මාර්තු 25 වන සෙනසුරාදා

මේවා මළ සමයං මහත්තයෝ. . .

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

"සමයං" මරා දැමුණි.  මරා දැමුණු සමයංට පත්තරකාර‍ෙයා් නැවතත් පණ දුන්නහ.  ඔවුහු සමයං පිළිබදව මහත් අභිරුචියෙන් යුතුව ලිවූහ.  සයිටම් කඩය වහන්නට සතර දිග් භාගයෙන් පැමිණි ශිෂ්‍ය සේනා කොළඹ වටලද්දී, පත්තර මිතුරන් ලිවූයේ සමයං මුලින්ම පිස්තෝලයක් අත ගෑ ඓතිහාසික මොහොත ගැනය. ටෙලිකොම් මෑන් පවර් සේවකයන් අසාධාරණ සූරා කෑමට එරෙහිව අප්‍රතිහත ධෛර්යයයෙන් යුතුව සටන් වදිද්දී, පත්තර මිතුරන් ලිවූයේ සමයං හා හා පුරා මිනිස් ඝාතනයක් කළ ඒ අසිරිමත් මොහොත අරභයාය. එතෙක් රට නොදත් සමයං ගේ ජීවිතයේ සියලු අහුමුළුවලට සිය ආලෝක ධාරා එල්ල කරන්නට පත්තර මිතුෙරා් අමතක නොකළහ. පත්තර මිතුරන්ගේ ඒ ප්‍රතිභාවේ අනුහසින් වීරයන් අහිමි සමාජයකට නව වීරයෙක් පහළ විය. 

රොබින්හුඩ් ළඟට, සරදියෙල් ළඟට සමයං ඔසවා තැබිණි. දැනට සති කීපයකට පෙර දීපාල් සිල්වා මිය ගියේය. ඊටත් සති කීපයකට පෙර විමල් කුමාර ද කොස්තා මිය ගියේය. දීපාල් ගායකයෙකි. ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා, එළියට ඇවිදින් යාපනෙ දෙමළුන්ට බණිනවා යැයි ඔහු ගායනා කළේය. එසේ ගැයුවද ඔහු කිසිවෙකු මරා දමන්නට පිස්තෝල අතට ගත්තේ නැත. එබඳු වික්‍රමාන්විත සිංහ පෝතකයෙකු නොවූ බැවින්, අප පත්තර මිත්‍රයන් දීපාල්ගේ ජීවිතයට ටෝච් අල්ලන්නට ගියේ නැත. කොස්තා ගැන කතාව ඊටත් වඩා දුක්මුසුය. දශක ගණනක් සිංහල සිනමාව එළිය කළ කොස්තා ගේ මියයාම බොහෝ පත්තරවලට ප්‍රවෘත්තියකට වඩා යමක් නොවීය. එලෙස අප්‍රකටව මිය යන ශාස්ත්‍රවන්තයෝ  ආචාර්ය මහාචාර්යවරු සිටිති. සාහිත්‍යවේදීහු සිටිති. කවිෙයා් සිටිති. දැනට කලකට පෙර චින්තා ලක්ෂ්මිආරච්චි මිය ගියාය. බෙංගාලි සාහිත්‍යයේ ගුණ සුවද අපට ගෙන ආ ඇගේ මරණය පත්තරවලට මරණ දැන්වීමක්වත් නොවීය. එහෙත් සමයංලා ගැන එහෙම නොවේ. ගෝනවල සුනිල් කිව්වාම නොදන්නේ කවුද? සොත්ති උපාලි කිවිවාම නොදන්නේ කවුද? නාවල නිහාල්ලා, කිඹුලා ඇලේ ගුණාලා ගැන නොදන්නේ කවුද? ඔවුන්ගේ අලගිය මුලගිය තැන් කට පාඩමින් කියන්නට සමාජය දනිති. ඒ අපේ පත්තර මිතුරන්ට පින් පෙත් අත් විය යුතුය. කලාකරුවන්, ශාස්ත්‍රවන්තයන්, සාහිත්‍යවේදීන් අමතක කරන අපි සමයංලා වීරත්වයට දේවත්වයට ඔසවා තබන්නෙමු. එහි තේරුම ලංකාවට අදාළව ශිෂ්ඨාචාරය එක තැන නතර වී තිබෙන වගද? එයට තවදුරටත් ලංකාව නම් පොළවේදී, ලංකාව නම් සමාජ අවකාශයේදී කිසිදු ආකාරයක ප්‍රගමනයක් නොමැති වගද? චණ්ඩින්ට වන්දනාමාන කළ සමාජයක් දශක කීපයකට පෙර අපට තිබිණි. මරදන්කඩවල යකඩයා බිහි වූයේ එහෙම සමාජයකය. මරැ සිරා බිහි වූයේ එහෙම සමාජයකය. 

පොළොන්නරුවේ පොඩි විජේද අයිති එහෙම සමාජයකටය. ඔවුන් ගැන ප්‍රබන්ධ නිර්මාණය වුණත් කවුරුත් ඔවුන් පාතාල නායකයන් ලෙස හැඳින්වූයේ නැත. පාතාලය යනුවෙන් හඳුන්වන පෙදෙස් ලෝකයේ තැනින් තැන තිබේ. අමෙරිකාවේ චිකාගෝ එහෙම තැනකි. ඒ බල සීමාවට පොලීසියටවත් ඇතුළු වන්නට නොහැකිය. ලංකාවේ එහෙම පාතාලයක් නැත. තැන තැන සිප්පි කෑලි ටිකක් සිටිති. මේ සිප්පි කෑලි බිහි වන්නට හේතු වූ සමාජ විද්‍යාත්මක සත්‍යයන් තිබේ. ආර්ථික විද්‍යාත්මක සත්‍යයන් තිබේ. ආර්ථික වශයෙන් සුඛිත මුදිත, සංස්කෘතික වශයෙන් ප්‍රශස්ත ගුණයන් අත් කර ගන්නා සමාජයකින් නම් මෙවැනි සිප්පි කෑලි අහුලා ගන්නට නොහැකිය. අවාසනාවකට අප තවමත් දුප්පත්කමේ නරා වලේ ගිලී සිටින සමාජයකි. අගමැතිව වරයාම පසුගියදා ප්‍රකාශ කළ පරිදි 43 ක් ජනතාව ලබන්නේ දෛනිකව ඩොලර් දෙකකට අඩු ආදායමකි. එවැනි ආර්ථික වටපිටාවකින් බෝසත්වරු පහළ නොවේ. 
ජීවත් වීම උදෙසා ඕනෑම දුෂ්ඨකමක් කරන්නට නොපැකිලෙන පිරිස් මෙවැනි සමාජ තලයකින් බිහිවීම ස්වභාවිකය. එය තුන් තිස් පැයේ බණ කියා සුමගට ගත නොහැකි සමාජයකි. ඒ සදහා බරපතල සමාජ පරිවර්තනයක් අත්‍යවශ්‍යය. පත්තර මිතුරන් ගැන අපේ විවේචනය තිබෙන්නේ මෙන්න මෙතනය. සමයං කන බොන හැටි ලියූ කිසිවෙකු සමයංලා බිහිවෙන සමාජ ආර්ථික තතු ගවේෂණය කරන්නට උත්සාහ දරා තිබුණේ නැත. පණ දිය යුතුව තිබුණේ අන්න ඒ කතිකාවතට මිස සමයංට නොවේ. සමයං ගැන ඇග හිරි වැටෙන වෘත්තාන්ත නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ සමයංලා පරම වීරයන් කරගත් පරපුරක් බිහිවීමයි. සමයංලා සිහින කුමාරයන් බවය පත් පරපුරක් බිහි වීමයි. සමයංලා අනුව යන තරුණ කොටසක් බිහිවීමේ සමාජ ආර්ථික කොන්දේසි හොඳටම හොඳින්ම පවතින සමාජයක පත්තර මිතුරන්ට මෙහෙම ආතල් ගැනීමේ අයිතියක් නැත. එසේ ආතල් ගන්නේ නම්, අපට කියන්නට තිබෙන්නේ සමයංලා තරම්ම හානියන් ඔබද මේ සමාජයට සිදු කරමින් තිබෙන වගය. 

 නලින්ද සංජීව ලියනගේ