2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ජපන් සිනමාවෙන් ලෝකෙටම කතාකළ අකිරා කුරෝසාවා

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 260

හැත්තෑ ගණන්වල මුල් කාලයේ පැරැණි තරංගනී සිනමාහලේ (සෙවන් සමුරායි) චිත්‍රපටයේ පුවරුව දින දෙක තුනක් ප්‍රදර්ශනය වූවා මට මතකය. හැත්තෑ ගණන්වලදී අකිරා කුරෝසාවා ගැන අහන්නට ලැබුණත් අපට අකිරා කුරෝසාවාගේ චිත්‍රපටයක් අසූ ගණන්වල මුල් කාලය වන තෙක් දැකගන්නට ලැබුණේ නැත. හැත්තෑ හතෙන් පසු වැල්ලවත්තේ සැවෝයි, බම්බලපිටියේ මැජස්ටික්, කොල්ලුපිටියේ ලිබර්ටි, කොළඹ රීගල් යන සිනමාහල්වල එකදිගට ඉංග්‍රීසි හොලිවුඩ් චිත්‍රපට නරඹන්නට ලැබුණේය. බම්බලපිටියේ මැජස්ටික් සිනමාහලේ ක්‍රේසි බෝයිස් චිත්‍රපට හැරැණුවිට හරි හමං ඉංග්‍රීසි චිත්‍රපටයක් දැකගන්නට නැති කාලයක්ද තිබිණි. කැසෙන්ඩ්‍රා ක්‍රොසිං, ටවරින් ඉන් ෆර්නෝ ආදී චිත්‍රපටවලින් පටන්ගත් හොලිවුඩ් ඉංග්‍රීසි චිත්‍රපටවලට රූපවාහිනියෙන් පවා ඒ හැටි තර්ජනයක් එල්ල වූයේ නැත. අකිරා කුරෝසාවාගේ, කැගෙමුෂා චිත්‍රපටය මැජස්ටික් සිනමාහලේ ප්‍රදර්ශනය වන්නට බොහෝ කලකට පෙර පටන් එහි පූර්ව ප්‍රචාරක පටය (Trailer) ප්‍රදර්ශනය වන්නට ගත්තේය. 1980 නිපදවුණු කැගෙමුෂා චිත්‍රපටය 1982 පමණ වන විට මැජස්ටික් සිනමාහලේ ප්‍රදර්ශනය වන්නට ගත්තේය. බම්බලපිටියේ මැජස්ටික් සිටිය හෙවත් එම්.සී. එක එතැන ඉදි කරනු ලැබුවේ පැරණි මැජස්ටික් සිනමාහල කඩා ඉවත් කිරීමෙන් පසුවය.

කැගෙමුෂා චිත්‍රපටය මහා සිනමා වීර කාව්‍යයකි. අමෙරිකානු ඩොලර් මිලියන 7.5ක වියදමෙන් තැනූ දැවැන්ත සිනමා කෘතියකි. ජපාන ඉතිහාසයේ සෙංගෝකු සමයේ (1467 – 1615) කතාවක් එහි නිරූපණය වේ. ජපාන රණශූරයකු වූ වැඩවසම් වංශාධිපතියකු මියගිය විට ඔහු හා සමාන හැඩරුවෙන් යුතු සොරෙක් ඔහු වෙනුවෙන් (ඔහුගේ මරණය හෙළි නොකර) පෙනී සිටින්නට තෝරාගනු ලබයි. රණබිමෙහි, රණශූරයා ලෙස බොරුවට පෙනී සිටින සොරා බේරාගන්නට ඇතැම් රණවිරුවෝ ජීවිතය පවා දන් දෙති. සැබෑ රණශූර වංශාධිපතියා මියගිය බව දැනගන්නා සතුරෝ වඩාත් දිරිමත්ව සටන් වදිති. චිත්‍රපට උච්ඡ අවස්ථාවට පත්වන්නේ 1575 නගෂිනෝ සංග්‍රාමයෙනි. අශ්ව සේනාවන් මෙහෙයවන යුද දර්ශන, 1500 ගණන්වලට බෙහෙත් කොටන තුවක්කුවෙන් සාමූහිකව කරන යුද්ධ එහි සැබෑ සංග්‍රාමයක් ලෙස නිරෑපණය වේ. වඩාත් සිනමාරූපී දර්ශනයක් වූයේ සංග්‍රාමය අවසානයේ යුද භූමියේ දෙපැත්තේම අශ්වයන්, භටයන් බිම වැටෙමින් නළියන දර්ශනයයි. එය විනාඩි 10කටත් වඩා දිගු දර්ශනයකි. සොරාගේ චරිතයත්, වංශාධිපති රණශූරයාගේ චරිතයත් රඟපාන්නේ Tatsuya Nakadai (තත්සුයා නකඩායි) නම් නළුවාය.

සොරාගෙන් වැඩගෙන හමාර වූ පසු සෙස්සෝ ඔහුව ගල් ගසා මරා දමති. ඔහුගේ මළමිනිය ඉන්පසු ගඟක පාවෙන්නේ යුද බැනරයද සමඟයි. හොලිවුඩ් සිනමාකරුවන් අශ්වාරෝහක දර්ශන (බටහිර කව්බෝයි චිත්‍රපටවල) නිරූපණය කරන්නට ඉගෙන ගත්තේ කුරෝසාවාගෙන් යැයි ඒ වන විට අප අසා තිබිණි. කැගෙමුෂා චිත්‍රපටය දුටු අපි එය තදින්ම විශ්වාස කරන්නට ගත්තෙමු.

කුරෝසාවා 1951 දී නිපදවූ රෂෝමාන් චිත්‍රපටය වැනිසියේ චිත්‍රපට උළෙලේ ගෝල්ඩන් ලයන් සම්මානය දිනාගත්තේය. එය එකම සිදුවීම දෘෂ්ටිකෝණ හතරකින් කියන කතාවකි. අලුත විවාපත් වී වනාන්තරය මැදින් ගමන් කරන යුවළකට සොරකු මුණගැසේ. එම පුරුෂයා සමුරායිවරයෙකි. සොරා (ටජොමාරු) සමුරායිවරයාව මරා දමා කාන්තාව දූෂණය කරයි. කාන්තාවත්, සොරාත්, මියගිය තැනැත්තාගේ ආත්මයත් සිදුවූ පුවත වෙන වෙනම කියන්නේ එකිනෙකාට පරස්පර ලෙසයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට මනමේ නාටකය නිර්මාණය කිරීමටද රෂෝමාන් චිත්‍රපටය බලපෑ බව කියැවේ. මට 1990 දී පමණ මුලින්ම නරඹන්නට ලැබුණේ රෂෝමාන් චිත්‍රපටයේ වීඩියෝවකි. එවකට (මායා ශක්ති) රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණය හැදෑරූ අප ඉදිරියේ රෂෝමාන් චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ පරාක්‍රම නිරිඇල්ලය. එයින් ඔහු උත්සාහ කළේ කුරෝසාවාගේ චිත්‍රපට ගැන කියා දීමට වඩා රංගනයේදී යා හැකි දිශානති පිළිබඳව යමක් කියා දීමටය. එහි ඇත්තේ තාත්වික රංගනයෙන් මඳක් ඔබ්බට ගිය රංග ශෛලියකි. ටොෂිරෝ මිෆුනේගේ රංගනයට මුල්වරට මගේ අවධානයට පාත්‍ර වූයේ ඒ අවස්ථාවේදීය. එම චිත්‍රපටයේ සමුරායිවරයාව මරා දමන සොරාගේ චරිතය රඟපාන්නේ ටොෂිරෝ මිෆුනේ (Toshiro Mifune) ය. එදා ඔහුගේ රඟපෑම මගේ මතකයේ රැඳුණත් ඔහුගේ නම මගේ මතකයේ රැඳුණේ නැත.

සෙවන් සමුරායි චිත්‍රපටය මුලින්ම මා රසවින්ඳේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති දර්ශනයකදීය. චිත්‍රපටය පුරා සමුරායිවරුන්ගේ සටන් ඇතුළු සංග්‍රාම ජවනිකා තිබුණද එය මානව දයාව පිළිබඳ කියාපාන චිත්‍රපටයකි. ගොවිතැනෙන් ජීවත්වන ජපානයේ පැරැණි ගමක ප්‍රජාවකට හිමි අස්වැන්න නොකඩවා කොල්ලකරුවන්ගේ කොල්ලකෑමට ලක්වේ. ගොවි ප්‍රජාව රැස්වී ඊට පිළියම කුමක්දැයි සාකච්ඡා කරති. ප්‍රජාවේ වයස්ගතම තැනැත්තාගෙන් ඊට පිළියම කුමක්දැයි විමසූ විට ඔහු කියා සිටින්නේ සටන් කළ යුතු බවයි. සටන් කරන්නේ කෙසේදැයි ඔහුගෙන් විමසූ විට ඔහු කියන්නේ කුසගින්නේ ඉන්නා සමුරායිවරුන් ඊට යොදාගත යුතු බවයි. (ඒ සමුරායි වීරයන් නන්නත්තාර වූ කාලයකි.) නායක සමුරායිවරයකුගේ යුද සැලැස්මට අනුව කොල්ලකරුවන් පැරදවීම සඳහා සමුරායිවරුන් හත් දෙනකු අවශ්‍ය වේ. ගම්වැසියෝ සමුරායිවරුන් සොයා යති. ඔවුන්ට සොයාගත හැකි වන්නේ හය දෙනකු පමණි. එක් අයෙක් බොරු සමුරායි පාට් දමමින් ගම්වැසියන් පසුපස වැටේ. අවසානයේ ව්‍යාජ සමුරායිවරයාවද හත්වැන්නා ලෙස භාරගැනේ. චිත්‍රපටයෙන් ¾ ක් පුරා ඒ ව්‍යාජ සමුරායිවරයා කොමිට්කාරයෙකි. යුද්ධය නිමා වෙද්දී ඔහු මියයන්නේ සැබෑ සමුරායිවරයකු සේමය. මේ හත්වැන්නාගේ චරිතයට පණ දුන්නේ රෂෝමාන් චිත්‍රපටයේ ටජොමාරු නම් සොරාගේ චරිතය රඟපෑ ටොෂිරෝ මිෆුනෙය. ඒ චරිතය අතිශයින් මගේ සිත් ගත්තත් ඒ ඔහු බව මා හඳුනාගත්තේ නැත. එතරම්ම ඔහුගේ රඟපෑම එකිනෙකට වෙනස් විය. ඉන්පසු මම CD තැටියක් සොයාගෙන සෙවන් සමුරායි චිත්‍රපටය අධ්‍යයනය කළෙමි.

ඉන්පසු දිනෙක මට කොළඹ චිත්‍රපට ශාලාවක කුරෝසාවාගේ Red Beard චිත්‍රපටය නරඹන්නට ලැබුණේ කුරෝසාවා චිත්‍රපට උළෙලකදීය. එහි රතු රුවුලා දක්ෂ වෛද්‍යවරයෙකි. දැඩි මානව භක්තිකයෙකි. වෛද්‍යවරයා ස්ත්‍රී දූෂකයන් හත් අට දෙනකු හා සටන් වදිමින් ඔවුන් හත් අට දෙනාටම අතින් පයින් නෙලන දර්ශනය උද්වේගකර බව උපරිම ලෙස සිනමාවට නැගූ අවස්ථාවකි. එය ඇත්තෙන්ම ද්‍රවිඩ සිනමාවේ එන වර්ගයේ අභව්‍ය දර්ශනයක් නොවේ. විශ්වාස කළ හැකි ආත්මාරක්ෂක සටන්වලින් හෙබි දර්ශනයකි. එදා නාට්‍යවේදී පියල් කාරියවසම් එම චිත්‍රපටය නරඹන්නට පැමිණ සිටියේය. රතු රුව්ලාගේ චරිතය රඟපාන්නේද ටොෂිරෝ මිෆුනෙ බව මට මතක් කොට දුන්නේ පියල් කාරියවසම්ය. මිෆුනෙගේ එම චිත්‍රපටයේ රංග ශෛලිය කලින් කී චිත්‍රපට දෙකට වඩා හාත්පසින් වෙනස්ය.

කුරෝසාවාගේ ඉයුජින්බෝ චිත්‍රපටයේ කඩු සටන් වීරයකු (සමුරායිවරයකු) ලෙස රඟපාන මිෆුනෙගේ අතිශය සිනමාරෑපී සටන් ජවනිකා දෙකක් ඇත. ඉන් එකක් හත් අට දෙනකු හා කරන කඩු සටනකි. අවසානයේ ඉතිරිවන සටන්කරුවාට පහර නොදී එහිදී පන්නා දමන්නේ ඔහුව නිවටයකු බවට පත් කරමිනි. ඉයුජින්බෝ චිත්‍රපටයේ අනෙක් ඉහත කී සටන ද්වන්ධ කඩු සටනකි. ඒ සටන තවත් සමුරායිවරයකු සමඟය. දෙදෙනා තත්පර 40ක් පමණ එකිනෙකා දෙස බලා කඩු ඇදගනිති. මිෆුනෙගේ පහර එල්ල වන්නේද ඒ සමඟමය. අනෙකාගේ පපුවෙන් හෝස් පයිප්පයකින් නිකුත් වන්නා සේ රුධිර ධාරාවක් ගලා එයි. ඔහු වැටෙන්නේ ඉන් පසුවය. මෙයද උද්වේගකර වූ අතිශය සිනමාරූපී සටනකි.

ටොෂිරෝ මිෆුනෙ ගැන මම තවත් විස්තර සොයා බැලුවෙමි. ඔහු චිත්‍රපට 150 ක් පමණ රඟපා ඇත. ඉන් 16 ක් කුරෝසාවාගේ චිත්‍රපටය. කුරෝසාවාගේ (මැක්බත් නාට්‍යයේ අනුවාදනය) වූ Thron of Blood හි ප්‍රධාන චරිතය රඟපාන්නේද ඉෆුනෙය. 1920 අප්‍රේල් 1දා ඉපදුණු ඔහු 1997 දෙසැම්බර් 24 වැනිදා ටෝකියෝ නුවර කියෝරින් විශ්වවිද්‍යාල රෝහලේදී මිය ගියේය. ඔහු රංගනය උදෙසා සම්මාන ගණනාවක් දිනාගත්තෙකි.

1910 මාර්තු 23 උපන් කුරෝසාවා මියගියේ, 1998 සැප්තැම්බර් 6 වැනිදාය. කුරෝසාවා තම අවසාන කාලය ගෙවා දැමුවේ අමෙරිකාවේ බව මා අසා තිබේ. ඔහු මියගියේ ජපානයේදී වුවද තම 80 වැනි ජන්ම දිනය සමරා තිබුණේ ලොස් ඇන්ජලීස් නගරයේදීය. ජපානයේ අලුත් චිත්‍රපට නිපදවූ පරපුර ඔහුව අගය නොකළ හිතේ අමාරුවද ඔහුට තිබිණි. කුරෝසාවාගේ සිනමාරූපී ගුණය තුළ, නාට්‍යානුරෑපී බවක්ද මම දකිමි. එය ඔහුගේ වචනවලින් කිවහොත් සාහිත්‍ය නිමාවන තැන මතුවන ආඛ්‍යානයකි. කුරෝසාවා රෂෝමාන් අධ්‍යක්ෂණය කරන්නටත් පෙර 1948 දී ලෝක යුද්ධයෙන් අනතුරැව තැනූ Drunken Angle චිත්‍රපටයට මුලින්ම මිෆුනෙව ගන්නා තුරු මිෆුනෙ ප්‍රසිද්ධියට පත්ව උන්නේ නැත. ඊටත් පෙර කුරෝසාවා ඇන්ටන් චෙකොෆ්ගේ මඟුල් ප්‍රස්තාව (Proposal) නාට්‍යයට සම්බන්ධ ව්‍යාපෘතියකටද සම්බන්ධ වී තිබේ.

ජපානයේ තරුණ පරපුර අගය නොකළ කුරෝසාවාගේ මතකය අපට තවමත් සොඳුරුය.

 සමන් පුෂ්ප ලියනගේ