2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ප්‍රයිවට් බස් සංගීත ප්‍රහාර ඇත්තටම නවතියිද?

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

රටක පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව රටේ සංවර්ධනය මනින සාධකයකි. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය පවතින්නේ ඉතා උසස් මට්ටමකය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මගින් ද ප්‍රවාහන සේවා සපයන නිසා බොහෝ රටවල පොදු ජනයාට එමගින් සැලසෙන්නේ විශාල සේවයකි.

අපේ රටේ සියයට 80ක් පමණ මහජනතාව සිය ගමනාගමන කටයුතු සපුරා ගන්නේ බස් රථ සහ දුම්රිය යන පොදු ප්‍රවාහනය මගිනි. දුම්රිය රටේ සියලුම ස්ථානවලට ගමන් නොගන්නා බැවින් ඒ ඒ පළාත්වලට බහුතර ජනතාවට ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සපයාගත යුතුව ඇත්තේ බස් රථ මගිනි. එයින්ද වැඩි අනුපාතයක් හිමිවන්නේ පෞද්ගලික බස් රථ සේවාවටය. මීට දශක කිහිපයකට පෙර ලංගමය මහජනතාවට ලබාදුන් සේවය අද ඉටුකර දෙන්නේ බස් රථ කර්මාන්තයෙනි.

ලංගම මෙන්ම පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන් බොහෝදෙනකුට බස් රථ තුළ ක්‍රියාත්මක කර තිබෙන ඝෝෂාකාරී සංගීත වාදනයට සවන් දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබිණි. කාලයක් මුළුල්ලේ මගී ජනතාවගෙන් මෙම ඝෝෂාකාරී සංගීතයට අදාළ මැසිවිලි නැගුණ ද ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසී තිබුණේ නැත. එමගින් මෙම මස ජනවාරි මස පළමුවැනිදා සිට මගී ප්‍රවාහන බස් රථ තුළ ඝෝෂාකාරී සංගීතය වාදනය කිරීමට වර්තමාන රජය විසින් පියවර ගෙන ඇත.

දුර ගමන් සේවා මෙන්ම කෙටි ගමන් සේවා බස් රථවල මෙම ඝෝෂාකාරී සංගීත වාදනය නැවැත්වීමට රජය ගත් මෙම තීරණයට බොහෝ මගීන් සිට ප්‍රසාදය පළකර තිබේ. කෙනකුගේ මතය වී ඇත්තේ බස් රථ තුළ කන්කරච්චලය දැන් අහවර වනු ඇති බවය. තවත් කෙනකුගේ අදහස වී ඇත්තේ මින් පසු තමන්ගේ පාඩුවේ ගමනාගමනයේ යෙදිය හැකි බවයි. මගීන් පවසන කතාවේ ඇත්තක්ද තිබේ.

ශබ්ද දූෂණය නීතියෙන් තහනම් කළ හැකිය. මිනිසාගේ ශ්‍රවණේන්ද්‍රියට ඔරොත්තු දෙන ඩෙසිබල් ගණනක් තිබේ. එය අභිබවා ශබ්දය නිකුත් වනවිට කරදරයකි. ඇතැම්විට මගියා එයින් රෝගී තත්ත්වයට පත්විය හැකිය. සාමාන්‍ය ජනතාවගේ මානසික තත්ත්වය අවුල් වන්නේ යැයි කෙනකු තර්ක කළහොත් එය පහසුවෙන් බැහැර කළ නොහැකිය. එයට ප්‍රධාන හේතුව ඝෝෂාකාරී සංගීත යැයි කිව හැකිය. රියැදුරන් හෝ කොන්දොස්තරවරුන් බොහෝදෙනකු ශබ්ද දූෂණය ගැන දන්නේ නැත. මේ තත්ත්වය පෞද්ගලික බස්ර රථ තුළ පමණක් නොව, ලංගම බස් රථ තුළ පවා පවතී.

සංගීත කලාව පවත්වාගෙන යා යුත්තේ මිනිස් සිත් පහන්කොට යහපත් දේවල් සඳහා උත්තේජනයක් ලබාදීමටය. උසස් රසවින්දනය මගින් මිනිසාගේ විචාර බුද්ධිය පුළුල් වන බවත්, ජීවිත පරිඥානය වර්ධනය වන බවත් ප්‍රකාශ වී තිබේ. නමුත් අපට එබඳු සංගීතයක් නැත. අද පවතින බොහෝ සංගීතවල ශබ්ද මිස අර්ථවත් පද මාලා මෙන්ම සුන්දර ගී තනු ද නැත. සැබැවින්ම මගීන්ට එබඳු ගීත ශ්‍රවණය කළ නොහැක.

වැඩේ හොඳයි: හැබැයි ප්‍රායෝගික නෑ

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

බස් රථවල ඝෝෂාකාරී සංගීත ශබ්දය පිළිබඳ නීතියක් තාම නැහැ. ශබ්ද දූෂණයට, නලා ශබ්දයට නීති රෙගුලාසි තියෙනවා. නමුත් බස් රථ ඇතුළේ ශබ්ද දූෂණය පිළිබඳව මෝටර් රථ ආඥා පනතට නව නීති සම්පාදනය කළ යුතුයි. නමුත් බස් රථ තුළ ඝෝෂාකාරී සංගීතය මම අනුමත කරන්නෙත් නැහැ. පසුබිම් ගායනයක් වගේ නම් මගී ජනතාවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිසුන් මේ ඝෝෂාකාරී සංගීතයට කැමති නැහැ. මොකද විවිධ මානසික මට්ටම්වල අය බස් රථ තුළ ගමන් කරනවා. සමහර දුර ගමන් සේවා මෙන්ම කෙටි ගමන් සේවා බස් රථ තුළත් විශාල ප්‍රමාණයේ බෆල් සවි කරලා ගීත වාදනය කරනවා. මිනිසකුට ඔරොත්තු දිය හැකි ශබ්ද තරංග ගණන බලලා තමයි මේ නීති ගෙන ආ යුත්තේ. වෙනත් දියුණු රටවල එහෙම තියෙනවා. නමුත් ලංකාවේ එහෙම ක්‍රියාත්මක කරන්න බැහැ. මේ ඝෝෂාකාරී සංගීතය නවත්තන්න ගත්ත පියවර හොඳයි. නමුත් මේක ප්‍රායෝගික නෑ.

මගී යහපත අපට වැදගත්

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්

දුර ගමන් සේවා මෙන්ම කෙටි ගමන් සේවා බස් රථ තුළ අධික ශබ්ද සහිතව වාදනය වන ඝෝෂාකාරී සංගීතය නතර කිරීමට ගත් පියවර ගැන අපි සතුටු වෙනවා. මේ පිළිබඳව බොහෝ මගීන් විවිධ අවස්ථාවල පැමිණිලි කර තිබුණා. ඇත්තටම මගී ජනතාව පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව බෙහෙවින් බලාපොරොත්තු වනවා. බස් කර්මාන්තකරැවන් විදිහට මගී ජනතාවගේ පහසුව තමයි නිරතුරැවම අපි සොයාබැලිය යුත්තේ. මගී ජනතාව නිසා තමයි අපි මෙම කර්මාන්තය පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ මගින් මගී ජනතාවට වන පීඩනය අවම වෙනවානම් අපිත් කැමතියි මේ බස් රථ තුළ ඝෝෂාකාරී සංගීතය නැවැත්වීමට පියවර ගැනීම පිළිබඳව.

නීතියක් නොවේ: කාරුණික ඉල්ලීමක්

ප්‍රවාහන කළමනාකාර විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර

බස් රථවල ඝෝෂාකාරී සංගීතය වළක්වන්න අපි පියවර ගත්තේ මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සලකා බලලා. බොහෝ මගීන් අපිට කිව්වේ මේ ඝෝෂාකාරී සංගීතය නැතුව නිවීසැනසිල්ලේ තමන්ගේ ගමනාන්තය දක්වා අපිට ගමන් කරන්න අවස්ථාව සලසා දෙන්න කියලා. මෙම වැඩපිළිවෙළ කිසිසේත්ම නීතියක් විදිහට ක්‍රියාත්මක කරන්න කැමති නෑ. රියදුරු මහතුන් තමන් තුළ ආකල්පයක් ඇතිකර ගත යුතුයි අපි මේ කරන්නේ මහජනතාවට හිංසාවක් කියලා. ඒ නිසා මානුෂීයත්වය සලකා බලලා මේ මහා හඬින් ගීත වාදනය කිරීම නවත්වන ලෙස මම කාරුණිකව මේ බස් රථවල රියදුරැ මහත්වරැන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මෙම මස 15 වැනිදා දක්වා කාලයක් ලබාදෙනවා මෙම ඝෝෂාකාරී සංගීතය නවත්වන ලෙසට. ඒ වගේම තමයි අපේ අමාත්‍යංශය මගින් ස්වභාවික ගීත ඇතුළත් ගී තැටි ලබාදෙන්න අප කටයුතු කරනවා. මේ වැඩපිළිවෙළ තුළ විශාල අර්ථයක් තිබෙනවා. ජනාධිපතිතුමන් විසින් අලුත් රටක් ගොඩනැගීම වෙනුවෙන් ගෙන යන මෙම වැඩපිළිවෙළ තුළ අපගේ මගී ප්‍රවාහන පද්ධතිය නව මුහුණුවරකින් සකස් විය යුතුයි. ඇත්තටම රටක් සංවර්ධනය වන්නනම් ප්‍රධාන වශයෙන් ප්‍රවාහන සේවයත් විධිමත් විය යුතුයි. මේ නිසා මෙම වැඩපිළිවෙළට සහය දෙන්න කියලා අපි රියදුරැ මහත්වරැන්ගෙන් මෙන්ම කොන්දොස්තර මහත්වරැන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

කුමන කලාවකට වුවද අධීක්ෂණයක් හා කිසියම් පාලනයක් තිබීම වැදගත්ය. කලාව අයාලේ ගියවිට එහි ප්‍රතිඵල හානිකර වීමට ඉඩ තිබේ. මහජනයා පවසන පරිදි මෙන්ම බස් රථ හිමියන්ගේ සම්මේලනයෙන් පවසන පරිදි බස් රථ තුළ ඝෝෂාකාරී සංගීතය නැවැත්වීම මෙම රජය විසින් ගත් යහපත් තීරණයකි.

 


සටහන - හසිත් අංජන