2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හොර ලියවිලි රහස් එළියට

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 181

2020 වසරේ සිදුවන ප්‍රථම රවි මාරුව හෙවත් සූර්ය සංක්‍රාන්තිය 2020 ජනවාරි මස 15 වැනි බුධ දින පාන්දර 2 පසු වී විනාඩි 8ට රවි ග්‍රහයා සෙනසුරැට අයත් මකර රාශි ගතවීමෙන් සිදුවනු ඇත. රවි මකර රාශියෙහි 2020 පෙබරවාරි මස 13 වැනි ගුරු දින සවස තුන පසු වී විනාඩි තුනක් දක්වාම  ගමන් කරනු ඇත. මේ වනවිටත් බුධ ග්‍රහයා ද 2020 ජනවාරි මස 13 වැනි සඳු දින උදේ 11 පසුවී විනාඩි 35ට මකර රාශිගතව ගමන් කරන අතර බුධ ග්‍රහයා මකර රාශියෙහි 2020 ජනවාරි 31 වැනි දින පාන්දර 2 පසුවී විනාඩි 54 දක්වාම රවි සමඟ යෝගව ගමන් කරයි.

රවි හා බුධ මකර රාශියෙහි ගමන් කරන්නා වූ මෙම කාල වකවානුව ගැන අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කර්මාන්තශාලා දෙපාර්තමේන්තු ආශ්‍රිතව අශුභ සිදුවීම් ඇතිවන කාලයක් බව කිව යුතුය. එම ආයතනවල ප්‍රධානීන්ට යම් යම් චෝදනා එල්ල වන්නාවූත් කාලයක් ද වේ. යම් යම් නීති පනත් ඉවත් කරනු ලබන කාලයක් වන අතර නව නීති ද සම්පාදනය කෙරේ. නීත්‍යානුකූල නොවන ලියවිලි පිළිබඳ රහස් එළියට එන වකවානුවක් ද වනු ඇත. මෙම කාලය තුළ කුඩා දරුවන්ට විවිධ අපරාධ ක්‍රියාවල් ඇතිවීමත් යම් යම් රෝගාබාධ පීඩා මෙන්ම හදිසි විපත් සිදුවීම් ද අධික වන කාලයක් බැවින් වැඩිහිටියන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුවේ. මේ රට තුළ යම් යම් අපරාධ ක්‍රියා වැඩි කාල සීමාවක් වන බැවින් ආරක්ෂක නිලධාරීන් ආදීන් අවධානයෙන් සිටිය යුතු වෙයි. රජයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයකුට මාරක ඇතිවන කාලයක් ද වේ..

විදේශීය වශයෙන් අවධානය යොමු කිරීමේදී එංගලන්තය, ජර්මනිය, ජපානය, පලස්තීනය, සිරියාව යන රටවල සන්නිවේදන කටයුතු ආශ්‍රිතව පිබිදීමක් ඇතිවන කාලයකි. ප්‍රසිද්ධ ලේඛකයකුට මාරක ඇති වේ. එසේම නවීන සොයාගැනීමක් පිළිබඳ වාර්තා වන කාලයක් ද වේ. අප්‍රිකානු රටවල් හා ඉන්දියාව, මුරසි දූපත්, ටියුනිසියාව, ඇල්ජීරියාව යන රටවල ආණ්ඩුවලට විසඳිය නොහැකි ප්‍රශ්න පැන නගිනු ඇත. භූමියට ද අයහපත් වන අතර හදිසි කාලගුණික විපර්යාස මත ගොවිතැන් විනාශ වන සමයක් ද වේ. පතල් අනතුරක් ද වාර්තා වනු ඇත. රජයේ ප්‍රධානීන්ට ඉතා අශුභ වන අතර හදිසි පීඩා ද මාරක ද ඇතිවනු ඇත. ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, සිසිලි, රැමේනියාව ආශ්‍රිතව අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවන අතර නාට්‍යයක් හෝ චිත්‍රපටයක් පිළිබඳ අර්බුදයක්, නීතිමය ප්‍රශ්නයක් පැන නගින කාලයකි. අධ්‍යාපනික ස්ථානයක් ආශ්‍රිතව යම්කිසි අශුභ සිදුවීමක් ද වනු ඇත. පෘතුගාලය, සහරා කාන්තාරය, සෞදි අරාබි රටවල් හා චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි දියුණුවක් ඇතිවනු ඇත. කිසියම් ආයතනයක ප්‍රධාන නිලධාරියකුට නීතිමය ප්‍රශ්නයකට ද මැදිහත් වීමට සිදුවන කාලයක් ද වේ.

මේෂ - සිතේ සතුට

ඔබට යහපත් ඵල උදාවන කාලයක් වේ. සිතේ සතුට ඇතිවනු ඇත. තම මතයට අනුව කටයුතු කරන අතර රුකියාවේ උසස් වීමක් අපේක්ෂා කළේ නම් එම බලාපොරොත්තුව ද ඉෂ්ඨ වන අතර නව රැකියා අපේක්ෂා ද සාර්ථකව ඉටුකර ගත හැකිවෙයි. තම දරැවකුගේ ජයග්‍රහණයක් හේතුවෙන් සිතේ සතුටක් ඇති වන කාලයක් ද වේ.

වෘෂභ - විදේශ ගතවීම්.

තම උත්සහයෙන් වැඩකටයුතු රාශියක් සාර්ථක බවට පත්කරගන්නාවූ සමයකි. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වන අතර සිතේ සතුට ඇතිවන කාලයක් වේ. තමා කරන කටයුතුවල සාර්ථක බවක් ද පෙන්නුම් කරයි. විදේශගත වීමේ අපේක්ෂා සාර්ථක වන කාලයක් ද වේ.

මිථුන - කල්පනාවෙන් වැඩ

ඔබට එතරම් යහපත් ඵල අත්නොවන කාලයක් වේ. ඔබ විසින් සිදුකරනු ලබන සෑම කටයුත්තකදීම ඉතා කල්පනාකාරී විය යුතු අතර නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුයි. යම්කිසි ආකාරයක ඇපවීමක් කිරීමක්ද සිදුකරන කාලයක් වන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධාවන් ද ඇතිවන්නා වූ සමයක් වේ.

කටක - ව්‍යාපාරවලට හොඳයි

පවුල් දිවියේ යම් යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන්නාවූත් කාලයක් ද වේ. නීතිමය ගැටලුවලට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභ ඵල ගෙන දෙනු ඇත.

සිංහ - ශරීර පීඩා

තමාට අවශ්‍ය යම්කිසි දෙයක් ලබාගත නොහැකි වී සිටි කාලයක් නම් එම දේ යළි ලබාගත හැකිවනු ඇත. ගමන් බිමන්වලින් හදිසි ශරීර පීඩා මතු වන බැවින් පරිස්සම් විය යුතු වේ. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා එල්ල වෙයි. උණ පීඩා ඇතිවිය හැකි නිසා පරිස්සම් වන්න.

කන්‍යා - වැඩ පමා වේ

ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ වූ බාධා ඇති වන අතර වැඩවල ප්‍රමාද ගති ද ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වෙයි. ප්‍රේම සබඳතාවලට බාධා ගෙන දෙමින් ඒවා කඩා බිඳ දැමීමට ලක්වන්නා වූ කාලයක් වේ.

තුලා - හිතට දුක

ඔබට ශුභ ඵල අත්වන නමුත් සිතේ සහනය අඩුවන කාලයක් වේ. හිතේ දුක් ඇතිවනුද ඇත. උරුම හිමිකම් ලබාගැනීමට උත්සාහ දැරිය යුතුය. පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු අතර එම ගැටලු තමා කරා පැමිණිය හැකි බැවින් පරිස්සම් වන්න. නිවසේ අලුත්වැඩියාවක් ද කරනු ඇත.

වෘශ්චික - නිර්මාණශිලී අදහස්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර තාක්ෂණික හැකියාවන් ද ඔප්නැංවේ. නිර්මාණශීලී අදහස් ජනති වන කාලයක් ද වේ. දුර ගමන් හා විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

ධනු - ආර්ථික වාසි

තමාගේ උත්සාහයට බලාපොරොත්තු වන ඵලය අත්කරගත නොහැකි වන කාලයක් වේ. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ද ඇතිවනු ඇත. ආර්ථික වාසි අත්වන අතර විවාහ යෝජනාවලදී ඉක්මන් තීරණ නොගත යුතු කාලයක් ද වේ. ඇස්වල පීඩාවක් මතුවිය හැක.

මකර - හදිසි ශරීර පීඩා

තම හිතුමතයට කටයුතු කරන කාලයක් වන අතර විශාල අන්දමෙන් මුදල් යොදවන ක්‍රියාවලට උනන්දු නොවිය යුතුය. එයට හේතුව ඒවායින් විශාල ලෙස පාඩු ඇතිවීමට ඉඩ වැඩිවීමය. හදිසි ශරීර පීඩා මතුවිය හැකි නිසා කල්පනාකාරී විය යුතු අතර දුරගමන් විදේශ ගමන් යාමේ අපේක්ෂා ද ඉෂ්ඨ කරගත හැකි වන්නාවූත් කාලයක් ද වේ.

කුම්භ - සමගියට බාධා

ජලයට සම්බන්ධව කටයුතු කරන අය පරිස්සම් විය යුතු අතර ජලයෙන් පීඩා අත්වන කාලයක් වේ. තම කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන කාලයක් වේ. සතුන්ගෙන් යම්කිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු අතර ඇස්වල පීඩා ද මතුවනු ඇත.

මීන - කෙටි ගමන් හොඳයි

දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. හවුල් කටයුතුවලින් ද ඵළ අත්වනු ඇත. සමාජ සේවා කටයුතුවලට වැඩිපුර යෙදෙන අතර කෙටි ගමන්වලින් යහපත් ප්‍රතිඵල අත්වන කාල සීමාවක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල