2020 ජනවාරි 18 වන සෙනසුරාදා

කැටපත් කංකාරිය පාඨකයාට භෝජන සංග්‍රහයක්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

- ප්‍රවීණ ලේඛක රත්නායක තිලකරත්න

රත්නායක තිලකරත්න ලියූ රෝගීන් මැද නිරෝගීව නවකතාව 1994 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේය. ඔහු පරිවර්තන කෘති රුසක් ද පළ කළ ලේඛකයෙකි. රත්නායකගේ අලුත්ම නවකතාව කැටපත් කංකාරිය පසුගියදා සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. මේ ඒ ගැන ඔහු සමඟ කළ පිළිසඳරකි.

ඔබේ හත්වැනි නවකතාව වන කැටපත් කංකාරිය සිනමා සමාජයේ පුද්ගලයන් කිහිපදෙනකුගේ නිරුවත ලොවට හෙළිකරන කංකාරියක් කිව්වොත් ඔබ එකඟද?

කෙටි පිළිතුර ඔව්. විස්තරව කිව්වොත් නවකතාවේදී නිරැවත කියන්නේ ශරීර නිරැවත නොවෙයි. සැබෑ ලෝකයේදී ඔවුන් මුහුණදෙන සුඛ, දුක්ඛ දෝමනස්සයන් පොදිය. බොහෝ දෙනා හිතන්නේ කලාකරුවන් කීර්තිය, ධනය ඇති පදම් තියෙන සැපවත් ජීවිත ඇති අය කියල. ඒත් ඔවුන්ගේ ජීවිත ඛේදවාචකයක්. ඔවුන් අපිස් අය නෙවෙයි. සමාජය ඔවුන් දිහා බලන්නේ කිසියම් වපර ඇහැකින්. අනිත් අතට කේ. ජයතිලක මහත්මයා තමන්ගේ එක නවකතාවක පෙරවදනේ කියලා තියනව නිර්මාණකරණයේදී තමන් දන්නා අඳුනන අයගේ චර්යාවන් චරිත තුළට පිවිසීම නතර කරන්න බෑ කියලා. කැටපත් කංකාරියේ එන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාත්, සුප්‍රකට නිළියත් යන චරිත දෙක කෙළින්ම මේ සමාජයේ හිටපු හරි හිටිය හරි දෙදෙනෙක් නෙවෙයි. ඒ දෙන්නා හිටපු හා ජීවත්වෙන බොහෝ දෙනාගේ යම් යම් චරිත ලක්ෂණ ජානගත චරිත දෙකක්.

අද සිනමා, ටෙලිනාට්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රවල පුරාණ චරිතවලට පණ දෙමින් ඉතිහාසය පුනරුච්චාරණය කරන බවක් පේනවා. බොහෝවිට ඒවායේ පැරැණි සමාජය වැරදි සහගතව නිරෑපණය වන අන්දමක් පේනවා. පැරැණි කතා පුවත්වලට නව දේශපාලන අර්ථයක් මුසු කිරීමක් මේවායේ දක්නට නෑ නේද?

නිර්මාණ ක්ෂේත්‍රයේදී මානව ඉතිහාසයේ යම් යම් අවස්ථා ඉදිරිපත් කරන්නේ අරමුණු කිහිපයක් සඳහා. ආගමික සංසිද්ධීන් ගැන කියන Ten commandment නැත්නම් බෙන්හර් වගේ ලෝක ප්‍රකට චිත්‍රපට නරඹන රසිකයන්ට තම ආගම ගැන භක්තියක් ඇති කිරීමට ඒ කතා යොදා ගන්නවා. වීරයන්ගේ චරිත ඇසුරින් ජාත්‍යාලය, නිර්භීතභාවය, ජාතිකාභිමානය වැනි සංකල්ප රසිකයන්ගේ මනසට කාවද්දන්න උත්සාහ ගන්නවා. අනිත් අතට සිංහබාහු වගේ නාට්‍යවලින් සමාජයේ හැමදා පවතින පිය පුතු ගැටුම ගෙනහැර පානවා. ඒත් මම හිතන්නේ කලා කෘතියකින් නිරූපණය විය යුතු සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික හැලහැප්පීම් ඒවායින් ඉතා සීමිත පරාසයක මතුවෙලා පේනවා කියන එක. ඒවායින් කිසියම් ආරකට චරිතයන්ගේ මානසික තත්ත්වය නිරූපණය වෙනවා. ඒත් ඒ මානසික තත්ත්වයට බලපාන මම කිව්ව හැලහැප්පීම් ගැන සාකච්ඡා වෙන්නේ ඉතාම අඩුවෙන්. අනිත් එක රසිකයා තුළ විශ්වසනීයත්වය තහවුරු කරන එක අභියෝගයක්. තමන් රසවිඳින්නේ අතීත කතාවක් කියලා රසිකයාට දැනුණු ගමන්ම විශ්වාසනීයත්වය පළුදු වෙනවා. ඒ නිර්මාණවල භාෂාව, ඇඳුම් පැළඳුම්, ගොඩනැගිලි ගැන සැක ඇති වෙනවා. ඒ වගේම ඉතිහාස කතා පුනරුච්චාරණයෙන් කලාකරැවා තම වටිනා කාලය අපතේ යවනවා කියලා මට හිතෙනවා.

ඔබ මෙහි අලුත් ආකෘතියකින් නවකතාව ගලා යාමට සලස්වා තියෙනවා. සමහර ලේඛකයන් පාඨකයාට වෙහෙසකර ආකෘති භාවිත කරන බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන ඔබගේ අදහස විස්තර කළොත්?

කැටපත් කංකාරිය නවකතාවේදී මම විඥානධාරා රීතිය, චරිත කථනය හා චරිත ආත්ම භාෂණය යොදාගන්නේ පාඨක සහාය සියයට හැත්තෑවකට වඩා උදක්ම බලාපොරොත්තු වෙමින්. මම ඉන්නේ සියයට තිහක (30%) වපසරියක සම්පූර්ණයෙන්ම හැංගිලා. එහෙම ඉඳගෙන මම පාඨකයාගේ කල්පනා ශක්තිය, බුද්ධිය, ඔහුගේ නාට්‍ය, චිත්‍රපටි හා සාහිත්‍ය පොතපතින් උකහා ගත්තු දැනුම තම තමන්ගේ මනසේ දරාගෙන එය ආලෝකයක් කරගෙන මගේ නවකතාව කියවීමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. රූපකයක් ආධාරයෙන් කිව්වොත් විවිධ දේශයන්හි සංචාරය කර රස නහර පිනා යන මෙන්ම අපුල දනවන ආහාරපාන භුකිත් විඳ ඇති ආරාධිත අමුත්තකුට මම භෝජන සංග්‍රහයක් පවත්වනවා.

ඔබ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව රුකියාවක් කරනවා. අද සරසවි සිසු පරපුරේ සාහිත්‍ය ගැන උනන්දුවක් තියෙනවද?

මේ අධ්‍යාපන ක්‍රමය තරගයක් වෙලා. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තුළ රසවින්දනය මොටවෙලා. මට හමුවෙන බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිනපතා පුවත්පතක්වත් නොකියවන අය. ඔවුන් සුපර් ස්ටාර් ගැන, අවර ගණයේ ටෙලිනාට්‍ය ගැන නම් දන්නවා. මාර්ටින් වික්‍රමසිංහ ගැන දන්නේ මඩොල්දූව නවකතාව නිසා. කේ. ජයතිලක කියන්නේ කවුද කියලවත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ.

ඔවුන් ඔබේ පොත් කියවා ප්‍රතිචාර දක්වනවද?

මම කිසිම අවස්ථාවක මම අහවල් අහවල් පොත් ලියලා තියෙනවා කියලා කියන්නේ නෑ. එහෙම කියන්න මට ලැජ්ජයි. මට හීනමානයක් දැනෙනවා එහෙම කියන්න. විශ්වවිද්‍යාල රුකියාව මම දශක දෙකකට ආසන්න කාලයක් කරනවා. ඒ කාලය තුළ මගේ පොත්පත් කියවලා තියෙනවා කියලා කියන්නේ මම උගන්නපු ශිෂ්‍යයන් තුන්දෙනයි. ඒ මිස අනිත් අයට ඒවා කියවලා තියෙනවද කියලා මම දන්නෙ නෑ අවංකව කිව්වොත්. හැබැයි මගේ හයවැනි නවකතාව වන මම නොවෙමි මම ගැන ජපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමියක් වන ආචාර්ය ජයලතා මැදවත්ත මහත්මිය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එක්ක විශ්වවිද්‍යාලයේ සාකච්ඡාවක් කළා. ඒක මට කිසිම දිනක අමතක වෙන්නෙ නෑ.

සරසවි ආචාර්යවරු බහුතරයක් පවා සාහිත්‍ය අධ්‍යයන පර්ෙය්ෂණ සඳහා උනන්දුවක් නෑ නේද?

අතළොස්සක පිරිසක් හැරුණුවිට අන් අය බැරෑරුම් පර්යේෂණවල යෙදිලා ඉන්නවා කියන්න අමාරුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු/වරියන් පරම්පරා දෙක තුනකට අයිති අය. හැට හැත්තෑ අසුව දශකයක් තුළ අධ්‍යාපනය හදාරන අය තමන් උගන්වන විෂය පිළිබඳ ප්‍රාමාණිකයෝ වගේම සාහිත්‍ය කලා රසාස්වාදය ප්‍රබලව සේවනය කරන අය. තියුණු වින්දනයක් ඇති අය. ඒත් ඒ අය ක්‍රමයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවෙන් ඉවත්වෙලා යනව විශ්‍රාම යාමෙන්. එයින් ඇතිවන රික්තය පුරවන්නට ඉන්න වර්තමාන ආචාර්ය ප්‍රජාවෙන් බහුතරයක් තුළ අර තරම් කලාබර බලසම්පන්න නැති වග නම් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

වර්ෂයකට නවකතා පොත් විශාල ප්‍රමාණයක් නිකුත් වෙනවා. නමුත් බිහිවන කෘති ගැන හරවත් විචාර කෘති පළවෙන්නෙම නෑ නේද?

ඒක ඇත්ත. කලකට ඉහත සංස්කෘති සඟරාව වගේ සාහිත්‍ය විවේචන ගැඹුරු ලිපි ඉදිරිපත් කරපු යුගයක් තිබුණා. විරාගය, චරිත තුනක් විතරක් නොවෙයි භවතරණය ගැනත් සරච්චන්ද්‍රගේ නවකතා ගැන, ජපන් කාම කතා සෙවණැල්ල වගේ විවේචන කෘති පළ වුණා. එහෙම බලනකොට අද ඒ තත්ත්වය ඇත්තේම නැති තරම්. ඒත් පුවත්පත්වල නිර්මාණ සාහිත්‍ය ගැන ලියන පුවත්පත් කලාවේදීන්ට ලේඛකයෝ ස්තූති කරන්න ඕනෑ. ඒ පිරිස නැත්නම් අපේ පතපොත ගැන පාඨක ප්‍රජාව දන්නෙම නැහැ.

 කුසුම්සිරි