2020 ජනවාරි 18 වන සෙනසුරාදා

කසිප්පු එක්ක ඇල්ලූ පොලීසියෙන් ගේම ඉල්ලූ මන්ත්‍රී දුවගේ තාත්තා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

“වෙන්නප්පුව සීනෝර් හන්දියේදී ට්‍රැෆික් පොලීසියේ රාළහාමිලා දෙන්නකුගෙන් ගේම ඉල්ලුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය මතකද? අන්න ඒ දුලක්ෂි ප්‍රනාන්දු කියන මන්ත්‍රීවරියගේ තාත්තා ඉස්සර කසිප්පු පෙරලා විකුණුවා. පොලීසියට අහුවෙලා උසාවිත් දාලා තිබුණේ. දුව පොලීසියත් එක්ක දාගත්තු ප්‍රශ්නයට පස්සේ ජාවාරම නතර වෙලා තිබුණේ. නමුත් දැන් ආයෙත් ජයටම කරනවා. දැන්ම පියවරක් නොගත්තොත් ගමේ අපිටත් ඉන්න බැරිවෙනවා.”

මාස කිහිපයකට ඉහතදී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට බැණ තර්ජනය කරන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ ආන්දෝලනාත්මක ලෙස ප්‍රසිද්ධියට පත්වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රීනී දුලක්ෂි ප්‍රනාන්දු මෙනවියගේ පියා සිදු කරන කසිප්පු ජාවාරම පිළිබඳව අවස්ථා ගණනාවකදී පොලීසියට ඔත්තු ලැබී තිබිණ.

කාලයකට පෙර කසිප්පු ජාවාරම සිදුකළ එම පුද්ගලයා අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ යළිත් එම වරද නොකරන බවත් නීති විරෝධී මත්පැන් ජාවාරමෙන් ඉවත්වන බවත් ප්‍රකාශ කර තිබිණ. ඒ අනුව සිය දියණිය වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය පොලීසිය සමඟ ඇති කරගත් ගැටුමෙන් පසුව ජාවාරම සහමුලින්ම අතහැරදමා ඇතැයි වාර්තා විය.

“රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදුකරමින් බැණ වැදුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ සිදුවීමත් සමඟ ඇගේ පියා කසිප්පු ජාවාරමෙන් ඉවත්ව තිබුණා. ඊට පෙර ඔහු අධිකරණයට යොමු කිරීමේදීත් ඒ බව පොරොන්දු වී තිබුණා. ජාවාරම අතහැර ඇති බවට සාක්ෂි තිබූ නිසා පොලීසිය නැවතත් සෝදිසි කළේ නෑ. එහෙම ඉද්දි ගම්වාසීන් කිහිපදෙනෙක් තොරතුරු දුන්නා යළිත් මන්ත්‍රීවරියගේ පියා කසිප්පු ජාවාරම සිදුකරනවා කියලා. ඒ පිළිබඳව රහසිගතව විමර්ශනයක් සිදු කළා. අනතුරුව වැටලීමක් සිදුකරලා ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා” යැයි වෙන්නප්පුව පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.

පොලීසියට ලැබී තිබුණු තොරතුරු අනුව දින කිහිපයක් සිදුකළ සෝදිසි කිරීම්වලින් පසුව වැටලීමට දින නියම කෙරිණි. ඒ අනුව නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් තිබුණේ ලුණුවිල සිරිගම්පළ ප්‍රදේශයටය. එහි රැඳී සිටි නිලධාරීන්ට පෙර ලැබුණු ඔත්තුවේ තොරතුරුවලට සමාන සැක සහිත යතුරුපැදියක් ධාවනය වන බව නිරීක්ෂණය කොට තිබුණි. එහි තරමක් විශාල පොහොර උරයක් තිබෙන බවද හඳුනා ගැනීමෙන් පසුව මාර්ගය අවහිර කර යතුරුපැදිය නැවැත්වීමට නිලධාරීන් ක්‍රියා කර තිබිණ.

අනතුරුව සිදුකළ සෝදිසි කිරීමේදී පොහොර උරයේ අසුරා තිබූ කසිප්පු බෝතල් 30ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනිණ. මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වර්ණකුලසූරිය අශෝක සමන් කුමාර නැමැත්තෙකි. මොහු නිවසට නුදුරැව ඇති කැලෑබද ස්ථානයක කසිප්පු නිෂ්පාදනය කොට බෝතල්වල අසුරා නිවසට රැගෙන එන අතරතුර අත්අඩංගුවට ගෙන තිබිණ. මීට පෙර අවස්ථාවකදී මෙකී ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කළ පසුව යළිත් එම වරද සිදු නොකරන බවට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ. පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු දින දෙකක් රිමාන්ඩ් බාරයේ තබා තිබුණු අතර ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිත බව ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.

සැකකරුගේ දියණිය වූ දුලක්ෂි ප්‍රනාන්දු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය රථවාහන පොලිස් නිලධාරීන්ට බැණ වැදී ගැටුමක් ඇතිකරගත් සිදුවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිණ. දැනට එම නඩුව මාරවිල අධිකරණයේ විභාග වෙමින් පවතී.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සමඟ වෙන්නප්පුව පොලීසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා දේශපාලන බේදයකින් තොරව ප්‍රදේශයේ සිදුවන ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි. එහෙත් ඊට විරැද්ධ ජාවාරම්කරුවන් ඇතැම් ඉහළ නිලධාරීන්හට තුටු පඬුරු ලබාදෙමින් නිදහසේ ජාවාරම සිදුකිරීමට වටපිටාව සකසන ලෙස කන්නලව් කරන බවද වාර්තා වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00