2020 ජනවාරි 25 වන සෙනසුරාදා

නොගැලපුණත් සාර්ථක විවාහයක්

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

විසාලා මහනුවර රජකම් කළ ලිච්ඡවි රජතුමා රූප සොබාවෙන් යුත් කෙනෙක්. එසේම එතුමා ශ්‍රද්ධා සම්පන්න වුණා. බුද්ධමාමක වුණා. ධම්මමාමක වුණා. සංඝමාමක වුණා. කොටින්ම යහපත් රජ කෙනෙක්.

මේ රජතුමා දිනක් බුදුන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලාට මහ දනක් පිළියෙළ කළා. දෙව්රම් වෙහෙරට ගොස් උන්වහන්සේලාට දානයට ආරාධනා කළා.

බුදුන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය රජගෙදරට වැඩම කළා. ලිච්ඡවි රජතුමාගේ අගබිසව උස මහත අවලස්සන ස්ත්‍රියක්. රජතුමාට මොන අතකින් බැලුවත් ගැලපෙන්නේ නෑ. අප්‍රසන්නයි.

සංඝයා වහන්සේලාට එතුමියත් දන් බෙදුවා. පසුව රජතුමා සමඟ ඉඳ අනුමෝදනාවත් ඇසුවා. මේ යුවළ දැක සංඝයා වහන්සේලාට රජතුමාගේ සහ අගබිසවගේ නොගැලපීම ගැන කුකුසක් ඇතිවුණා. ඒ බව හෙළි කළේ නෑ. විහාරයට වැඩියා.

දම්සභාව ඇරැඹි අවස්ථාවේ රජතුමාගේ අගබිසව ගැන කතාබහ වුණා.

ලිච්ඡවි රජතුමා කොපමණ හොඳ රජ කෙනෙක්ද? ඒ වුණාට හරිම අභාග්‍යසම්පන්නයි. භික්ෂු නමක් කිව්වා.
ඒ ඇයි? තවත් හිමිනමක් ඇසුවා.

විරූපී අගබිසවක් සමඟ

ඇයි දැක්කේ නැද්ද? අගබිසවගේ කැත. මුලින් කතා කළ හිමිනම කිව්වා.

ඒක නම් ඇත්ත තමයි. හරි අප්‍රසන්නයි නේද? තවත් හිමිනමක් ඇසුවා.

මේ රජතුමා කෙසේ ඔය බිසව සමඟ යහන්ගත වෙනවාද? හිමිනමක් කිව්වා.

මේ අතර බුදුරජාණන් වහන්සේ දම්සභාවට වැඩම කළා. මහණෙනි! කුමක්ද මා එන්න පෙර කතා කළේ?

එය ඔබට අදාළද? බුදුන් විචාළා.

ස්වාමිනී! ඔබවහන්සේ නොකියන්න වදාළ කතා නොවේ. බුදුන් මගේය ධර්මය මගේය සංඝයා මගේය කියා හැමවිටම කටයුතු කරන ලිච්ඡවි රජතුමා ගැන කළ කතාවක්. හිමිවරු කිව්වා.

කුමක්ද ඒ කතාව? බුදුන් විමසා සිටියා.

ස්වාමිනී! රජතුමා ස්ථූල විරූපී අගබිසව සමඟ කෙසේ සංවාසය කෙරෙද්දැයි චකිතයක් අපට ඇතිවුණු නිසා කතාබහ වුණා. හිමිවරු කිව්වා.

මහණෙනි! ඔය රජතුමා දැන් මතුනොවේ පෙරත් ඔය අගබිසව වැනි විරෑපී ස්ත්‍රියක් අගබිසව කරගෙන සිටියා යැයි බුදුන් වදාළා.

ස්වාමිනී! එය අපට පහදා දෙනු මැනවි. රැස්වී උන් භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ මෙම කතාව වදාළා.

යටගිය දවස බරණැස් නුවරට අයත් ජනපදයක අසාමාන සිරුරක් ඇති විරෑපී ස්ත්‍රියක් උන්නා. ඇය කිසිම අරමුණක් නැතිව ජීවත් වුණා. ජීවිකාව ලෙස කළේ අනුන්ට බැලමෙහෙවර කිරීම. ඈ ඒ රුකියාව සොයා මුළු බරණැසම ඇවිද්දා. හමුවුණු දෙයක් කෑවා. කොතන හරි වැටී නිදාගත්තා.

මේ ස්ත්‍රියට දිනක් රැකියාව සොයා ඇවිදගෙන යනවිට මළ මුත්‍රා කිරීමට අවශ්‍ය වුණා. ඇය වටපිට බැලුවා. බඹදත් රජතුමාගේ රාජාංගණය දුටුවා. කිසිම බය සැකක් නැතිව රාජාංගණයට ගිහින් ඉඳගෙන අවශ්‍ය කාර්යය කළා. නැගී සිටියා.

මේ වන විට බඹදත් රජතුමා සිව්මැඳුරු කවුළුවෙන් වටපිට බලමින් උන්නා. එතුමා මේ ස්ත්‍රිය කළ කාර්යය මුල සිටන්ම දුටුවා. ඇගේ අඟපසඟ මෙන්ම නිබයව නැගී සිටීම දුටු රජතුමා මේ ස්ත්‍රිය හොඳ නිරෝගී අයෙක්. මැය අගබිසෝ කර ගැනීමට හොඳා. එවිට ඇයට පුතකු ලැබුණොත් ශක්තිමත් නිර්මල කෙනෙක් වෙයි සිතුණා. රාජපුරැෂයන් කැඳවූවා.
ඔවුන් ආවා. 

අර රාජාංගණය ළඟ ඉන්න ස්ත්‍රිය බලන්න.

දේවයන් වහන්ස! ඒ ස්ත්‍රිය අනුන්ගේ බැලමෙහෙවර කරමින් ඇවිදින ස්ත්‍රියක්.

ඒකට කමක් නෑ. තොප ගොස් ඇය සස්වාමිකද? අස්වාමිකද? අසා එව.

රාජපුරුෂයෝ ඇය ළඟට ගියා. ඈ බිය වුණා. ඒ තමන් රාජාංගණයේ මළ මුත්‍රා කිරීම වරදක් හෙයින්. රාජපුරුෂයන්ට එය තේරුණා. ඔබ බියවන්න එපා. දඬුවම් කරන්නේ නෑ. ඔබ අස්වාමිකද? සස්වාමිකද?

මා වැනි ගැහැනියක් බිරිය කර ගන්නා පුරුෂයා කවුරුද? උතුමාණෙනි! ඈ ඇසුවා.

ඒ කියන්නේ ඔබ අස්වාමිකයි.

එසේය.

එහෙම නම් අපි යළි එනතුරු ඔතැනම ඉන්න කී රාජපුරුෂයෝ ආපසු ගොස් රජතුමාට ඇගේ පිළිතුර කිව්වා.
ඇය කැඳවාගෙන එන්න. රජතුමා කිව්වා. රාජපුරුෂයෝ ඒ ස්ත්‍රිය කැඳවාගෙන ආවා. රජතුමා ඇය අගබිසව කර ගත්තා. ඒ බිසව රජතුමාට අතිශය ප්‍රියමනාප වුණා. රජතුමාත් ඇයට බෙහෙවින් ආදරය කළා. කාලය එසේ ගෙවී ගියා. ඒ අගබිසව පුතකු වැදුවා. ඒ කුමරු සවිමත් නැණවත් වුණා. පියරජතුමා ඇවෑමෙන් පසු බරණැස රජ වුණා. ඒ රජතුමයි අගබිසවයි තමයි මේ රජතුමයි අගබිසවයි. බුදුන් වදාළා.

(බාහිය ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00