2017 මාර්තු 25 වන සෙනසුරාදා

හොඳ හෝටලේකින් කෑම

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

අපේ අතිගරු ජනාධිපතිතුමාට හෝටල් පිළිබඳ මනා අවබෝධයක් ඇති බව එතුමා මෑතකදී කළ කතාවකින් හෙළිවුණි. ලංකාවේ ඇතැම් හෝටල්වල කුස්සිය දුටුවොත් කැමත් එපා වනු ඇති බව එතුමා කියා සිටියේය.
ජනාධිපතිතුමා දැන් කන්නේ හොඳ හෝටල්වලිනි. (ඒකාබද්ධ විපක්ෂය නම් සිතන්නේ, එතුමා තාම හොඳ හෝටලේකින් නොකෑ බවකි.) කලකට පෙර පොළොන්නරුවේ පොඩි හෝටල්වලින්ද කා පුරුදු නිසා, එතුමාට හෝටල් පාසලකම දැනුම අවබෝධය ඇති බව අපි විශ්වාස කරමු.

මීට කලකට පෙර, කොළඹ චමරියක අප සමඟ විසූ මිතුරකු, ඔහුගේ තේමා පාඨය ලෙස භාවිතා කළේ ශරීරයට කුණු අවශ්‍යයි යන්නය. ඔහු නාන්නේ කලාතුරකිනි. අපි ඇනුවල් බාත් නමින් හැඳින්වීමු. අනුන්ගේ තුවා, සරම්, කමිස, කලිසම් ඔහු තමන්ගේ කර ගනී. මේ ගති පැවතුම් නිසා මිතුරන් අතරේ ඔහු ප්‍රකට වූයේ හඩ්ඩා නමිනි. හඩ්ඩා පවසන අන්දමට ලංකාවේ මිනිසුන් තරම් කුණු කන ජරා ජාතියක් ලෝකයේ වෙන කොතැනකවත් නැත. ලාංකිකයෙක් පිටරටක පිරිසිදු හෝටලයකින් කෑම වේලක් කෑවොත්, එය පත්තියන් නොවී මරණයට පත්වීමට ඉඩ ඇතිය යනු හඩ්ඩාගේ මතයකි. ඔහු පවසන අන්දමට, ලංකාවේ කෑම බීම වල තිබී අසුවන ඇණ, මුරිච්චි, යකඩ කැබලි ආදිය එකතු කළහොත්, පොඩි පහේ හාඩ්වෙයාර් එකක් දා ගත හැකි

මිනිසුන්ට වස විස කවන වෙළෙඳුන් ගැන පුවත්පත් හා සමාජ මාධ්‍ය ජාල මගින් නිතර නිතර අසන්නට, දකින්නට ලැබෙයි. මුරුක්කු වර්ග කල් තබා ගැනීමට ප්ලාස්ටික් බෝතල් කම්බියට දැමීම, හොදි වර්ග වර්ණ ගැන්වීමට තීන්ත යෙදීම, පළතුරු ඉදවීම සඳහා රසායන ද්‍රව්‍ය යෙදීම වැනි දෑ ඒ අතර වෙයි. කොත්තු රොටී පිළිබඳවද කතා බොහෝය. ආප්ප වාටි ශක්තිමත් කිරීම සඳහා ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදන බවක්ද අප අසා ඇත.
ජනාධිපතිතුමාගේ කතාවේදීම කියැවුණු අන්දමට, එක හෝටලයක රොටී බාස්, නිදාගන්නේ ගෝදම්බ රොටී මිටියක්, හිසට තබා ගනිමිනි. කොළඹ පැත්තේ හෝටලයක පිටුපස වැසිකිළි කාණුව අසල, ගෝනියක් එළා ඊට පොල් ගාන සේවකයකුද මා දැක ඇත. සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නරක් වූ සහ කල් ඉකුත් වූ ආහාර පාන තිබෙන හෝටල් හා වෙළඳසල් වටලා නීති මාර්ගයෙන් ක්‍රියාකරන අවස්ථාද බොහෝය. එහෙත් අපිසිදුකමේ සහ ජරාව කැවීමේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය තවමත් බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙයි. හෝටල් කැම පිළිබඳව කිව හැකි රස කතා බොහෝය. 

සුනාමියෙන් මාස කීපයකට පසුව, රාජකාරි කටයුත්තක් සඳහා මට දකුණු පළාතේ සංචාරයක යෙදෙන්නට සිදු විය. මා සමඟ කණ්ඩායමක්ද විය. මුහුදු තීරයේ පිහිටි අපට සුපුරුදු නවාතැන්පළවල් සහ හෝටල් සියල්ලම වාගේ සුනාමියට බිලිව තිබුණි. එහෙයින් ආහාර ගැනීම සඳහා සුදුසු තැනක් සොයාගැනීම හැමවිටම දුෂ්කර ක්‍රියාවක් විය. එක් රාත්‍රියක තිස්සමහාරාමය පසුකර යමින් සිටින අපට, මග අයිනේ ඉදිකර තිබූ, තාවකාලික කොත්තු කඩයක් දක්නට ලැබුණි. කාන්තාරයකදී ක්ෂේම භූමියක් හමුවූ කලක මෙන් අපි එහි කඩා වැදුණෙමු.

පොල් අතු කඩය තුළ, කබල් මේසයක් සහ පුටු කීපයකි. කෙසඟ කොලුවෙක් ඉදිරිපස ඇති කොත්තු තැටිය අසල සිට, බෙලෙක් තහඩුවකින් සංගීත රාවයක් නංවමින්, වැඩෙහි යෙදෙයි. කොත්තු කීපයක් ඕඩර් කළ අපි, වෑන් රථය තුළට ගොස් මධු පානයක යෙදු‍ණෙමු. රථයේ කවුළුව තුළින් කොත්තු තැටියට ඉහළින් ඇති ටියුබ් ලයිට් බල්බය මගේ ඇස ගැසෙයි. මෙරු සහ තවත් කුඩා කෘමීන් විශේෂයක් ටියුබ් බල්බයේ වටා කැරකෙති. එහි ගැටෙති. ඉන්පසු කොත්තු තැටිය මතට වැටී පිළිස්සෙති. එය බලා සිටිය නොහැකි වූ මම, රථයෙන් බැස කොත්තු බාස් වෙත ගියෙමි. 

යාළුවා, තැටිය උඩට මෙරු වැටෙනවා නේද?
ඔව් සර්.... ටියුබ් ලයිට් එකට මෙරැ එනවනෙ. ඒක ඉතින් නවත්තන්ඩ බෑ.
ඔහු පිළිතුරු දුන්නේ, එය සාමාන්‍ය සිද්ධියක් ලෙස සළකමිනි. අපි මෙරු කොත්තු කෑමේ අදහස අතහැර එතැනින් පිටවීමු.
නරක් වූ මස්, මාළු සහ කුණු බිත්තර ගැනද හෝටල් සහ කෑම කඩ ප්‍රසිද්ධය.
ඉංග්‍රීසි ගුරැවරයකු වූ පෙරේරා මහතා, තනිකඩ දිවියක් ගත කරන්නකු බැවින් තුන්වේලම කෑවේ පිටිනි. එක් දිනක් දිවා ආහාර සඳහා හෝටලයකට ගොඩවුණු, ඔහුගේ මේසය මත තැබූ මස් ඉස්ටුවකින් දුගඳක් හමනු දැනුණි. වේටර් කැඳවූ පෙරේරා ඔහුගෙන් මෙසේ ඇසුවේය.
ළමයා... මේ මොනවද?
මස් ඉස්ටුවක්.
මස් ඉස්ටුවක්ද වර්ස්ටුවක්ද?
පෙරේරාගේ ඉංගිරිසිය වේටර්ට නොතේරුණි. කෙසේ වෙතත් ඉස්ටුවද, මේසයෙන් පිට කෙරුණි. (Worst යනු ඉතා නරක යන අරුත දෙන වදනකි.)
අසරණපාල මුදලාලිගේ දෙව්සිරි බේකරිය සහ හෝටලය, පරණ කෑම විකිණීම පිළිබඳව නම් දරාපු තැනකි. ඒ බව නොදන්නා විශ්‍රාමික ගුරුමහතෙක් බනිසයක් කාතේ කෝප්පයක් බීම සඳහා එහි පිවිසුණේය. එහි වීදුරු අල්මාරියක් තුළ තිබූ රොක් කේක් නොහොත් ගල් බනිස් කීපයක් දුටු ඔහු, වේටර් ලවා ඉන් දෙකක් ගෙන්වා ගත්තේය. මාස කීපයකට පෙර නිෂ්පාදිත එම ගල් බනිස්, මේ වනවිට පැවතියේ කළුගල් තත්ත්වයේය. අසුනින් නැගිට කැෂියරය අසලට ගිය ගුරුවරයා මුදලාලි ඇමතීය.

මට මේ ගල් බනිස්වලින් සීයක් දෙසීයක් ගන්ඩ පුළුවන් වෙයිද?
ඕඩරයක් දුන්නොත් නං හදල දෙතෑති. ඒ තරම් ගණනක් මොකටද මහත්තයා, උත්සවේකටද?
නෑ නෑ අපේ ගේ ඉස්සරහා කෑල්ලේ බාග බිත්තියක් බඳින්න හිතං ඉන්නවා. ඒකට දාන්ඩ.
එසේ කියූ ගුරුවරයා අඩියට දෙකට පාර පැන ගත්තේය. තවත් දිනෙක ඒ හෝටලයට ආ මහලු පුද්ගලයෙක් ගල් බනිසයක් ගෙනෙන මෙන් වේටර් කෙනකුට කීය. එය ගෙනවිත් තැබූ වේටර් මෙසේ ඇසීය. තව මොනව හරි ඕනෙද? ගල් බනිසය දෙපැත්ත පෙරළා බැලූ මහලු පුද්ගලයා මෙසේ කීය. ඔව්. නියනකුයි, මිටියකුයි ගේනවා.
කලකට පෙර දෙව්සිරි බේකරියේ සහ හෝටලයේ මී සේනාවක්ම විසූ නමුදු, දැන් එහි එකම මීයකු හෝ නැත. කලාතුරකින් හෝ මීයකු එහි යනවා නම්, ඒ කෑම සඳහා නොව දිවි නසා ගැනීමටය.

 කපිල කුමාර කාලිංග