2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

කඹඇදිල්ලකට යන වතු කම්කරුවන්ගේ දාහේ වැටුප

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව කාලයක සිට පැවති අර්බුදයකි. ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා ඔවුහු අවස්ථා ගණනකදී උද්ඝෝෂණ කළහ. දිනකට රුපියල් පන්සියයක්ව පැවැති වැටුප හත්සියය දක්වා වැඩිවූයේ එම උද්ඝෝෂණ නිසාය. එය ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් රුපියල් දහසක දිනක වැටුපක් ලබා දෙන ලෙසටත් පසුගිය රජය සමයේ ඔවුන් කළ ඉල්ලීම අනුව තවත් රුපියල් පනහක දීමනාවක් ඔවුන්ට හිමිවිය. එම දීමනාව ලබාගැනීම සඳහා සෑම සේවකයකුම දිනකට අවම වශයෙන් දලු කිලෝ 18ක් සැපයිය යුතු විය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ වතු කම්කරුවන්ගේ වැටුප රැපියල් 1000ක් කරන බවටය. එම පොරොන්දුව ඉටු කරමින් ලබන මාර්තු 1 දින සිට වතු කම්කරු දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද බව සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත. ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට එම වැඩිවීම දරාගත නොහැකි බවටය. වතු කම්කරැවන් සඳහා දෛනිකව රැපියල් දහසක වැටුපක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පොරොන්දු වූයේ තම සංගමය සමග සාකච්ඡා කිරීමෙන් තොරව යැයි වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේය. එසේම එසේ වතු හාම්පුතුන්ගේ අනුදැනුමකින් තොරව රුපියල් දහසක දෛනික වැටුප ගෙවන ක්‍රමවේදය හෙළිකරන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ. 

පසුගිය රජය සමයේදී වතු කම්කරු වැටුප රුපියල් දහසක් කරන ලෙසට උද්ඝෝෂණ ඇතිවෙද්දී රුපියල් 50 දීමනාවක් ලබාදෙමින් වැටුප රුපියල් 750 දක්වා වැඩිකරන බව සඳහන් කරමින් වසර දෙකක කාලයකට වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. 2021 දක්වා බලපවත්වන එම ගිවිසුම කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුව නිසා උල්ලංඝනය වන බවද වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද්දේ වතු පාලනය කරනු ලබන වැවිලි සමාගම් විසි දෙකක් වෙනුවෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වැඩිම වතු කම්කරු ජන ප්‍රතිශතයක හිමිකාරත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය හා ලංකා ජාතික වතු කම්කරැ සංගමය විසිනි.

පසුගිය ජනවාරි 20 දා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැතියේය. එයට ප්‍රාදේශික වැවිලි සමාගම්වල නියෝජිතයන් හා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. ඔවුහු තමනට පවතින අසීරැතා සම්බන්ධයෙන්  වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා දැනුම්වත් කළහ. මේ දිනවල තේ කර්මාන්තයේ පවතින පසුබෑම හා යළි ගොඩගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, නිෂ්පාදන වියදම ඉහළ යෑම හා තේ අලෙවිය පහත වැටීම, තේවල තත්ත්වය ඉහළ නැංවීම, නව වෙළෙඳපොළ සොයා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී  සාකච්ඡා විය. තේ කර්මාන්තශාලා හිමිකරැවන්ට රුපියල් මිලියන 500ක සහන පැකේජයක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් එය ඉදිරි කාලයේ මහජන බැංකුව මගින් ලබාදීමට ක්‍රියා කරන බවටත් අමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය හමුවකදී වතු හිමියන් මුහුණ දෙන ගැටලුවලට ලබා දී ඇති සහන සම්බන්ධයෙන් රමේෂ් පතිරණ ඇමැතිවරයා කියා තිබුණේ මිලියන 500ක සහන පැකේජයට අමතරව වැට් බදු අඩුකිරීම, ආර්ථික සේවා ගාස්තු ඉවත් කිරීම හා පොහොර සහනාධාරය වැනි සහන ක්‍රියා මගින් වතු හිමියන්ට ඇති වියදම් අවම කෙරෙන හෙයින් වතුහිමියන්ට වැඩි ලාබයක් අත් කරගත හැකි බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා තවත් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ &මෙම වැටුප් වැඩිකිරීම වතු සමාගම්වලට ටිකක් දරාගන්න අමාරු වේවි. ඒ නිසා රජය තේ මණ්ඩලයට මුදල් ලබාදී ඒ හරහා වතු සමාගම්වලට මුදලක් ගෙවීමට කටයුතු කරනවා යනුවෙනි.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය මගින් මුදල් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් රජයට අමතර බරක් පැටවෙන බව ලංකා වතු සේවා සංගමය ප්‍රකාශ කරයි. මෙම  වැටුප් වැඩිවීම වතු සමාගම් මගින් ලබා දීමට කටයුතු කළ යුතු බවත් වතුසමාගම්වල ආදායම ඉහළ දැමීම සඳහා කොළඹ තේ වෙන්දේසියේදී සිදුවන අක්‍රමිකතා නවතා දැමිය යුතු බවටත් එම සංගමය සඳහන් කරයි. තේ කිලෝවක නිෂ්පාදන වියදම පොදුවේ ගත් කළ රැපියල් හාරසිය හැට අටක් පමණ වේ. තේ වෙන්දේසියේදී පොදුවේ ගත් කළ ඒවා අලෙවි කෙරෙනුයේ රුපියල් හයසිය විස්සක මුදලටය. ඒ අනුව තේ කිලෝවකින් සමාගමට හිමිවන ලාබය රුපියල් එකසිය පනස් හතරකි. රුපියල් හයසිය විස්සට මිලට ගන්නා තේ කිලෝවක් අපනයන සමාගම අලෙවි කරනුයේ පොදුවේ රුපියල් අටසිය හතකටය. ඒ අනුව තේ අපනයන සමාගම කිලෝවකින් රැපියල් එකසිය අසූ හතක් උපයා ගනී. වතුහිමියන්ට වඩා වැඩි ලාබයක් අපනයන සමාගමට හිමි වේ. මෙම ක්‍රමවේදය වෙනස් කොට වතු හිමියන්ට වැඩි ලාබයක් අත්වන පරිදි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද, එවිට වතු සේවයකයන්ට වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම්වලට හැකිවන බවද  ලංකා වතු සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. 

අපනයනය කෙරෙන තත්ත්වයේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා අමු තේ දලු කි.4 ග්‍රෑම්250 ක් අවශ්‍යවේ. සාමාන්‍යයෙන් වතු කම්කරැවෙක් දෛනිකව අමු තේ දලු කිලෝ 18 ක් නෙළනු ලැබේ. එම දලු ප්‍රමාණයෙන් හොඳ තත්ත්වයේ තේ කිලෝ හතරක් නිෂ්පාදනය කළ හැකිය. කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝවක් අලෙවි වන මිල රුපියල් 620.00 කි. ඒ අනුව එම තේ වෙන්දේසියෙන් අවම වශයෙන් රුපියල් 2480.00 ක මුදලක් කම්කරුවකු දෛනිකව නෙළන ලබන තේවලින් වතු හිමියන්ට ලැබේ. 

වැවිලි සමාගම් නිතරම පාඩු ලබන බව නිතර අසන්නට ලැබෙන්නකි. ලෝක වෙළෙඳ පොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා පවතින ඉල්ලුම අඩුවීම ඊට බලපා ඇතැයි ඔවුහු පවසති. එම තත්ත්වය ඇතිවීමට කරුණු කිහිපයක් බලපා තිබේ. කසළ තේ හොඳ තේ ලෙස අපනයනය කිරීමේ ජවාරම ඉන් එකකි. තේ වතුවල නිලධාරීන් විසින් සිදුකරන අයථා කටයුතුද ඊට බලපා ඇතැයි පැවසේ.

වතු කම්කරැවන්ගේ ඉල්ලීම වන්නේ රැපියල් දහසේ දෛනික වැටුප දීමනාවක් ලෙස නොව මූලික වැටුපට එක්කළ යුතු බවටය. නැතහොත් මෙම වැඩිවීම ටික කලක් ගෙවා ඉන්පසු අත්හිටුවීමට ඉඩ ඇතැයි ඔවුහු පවසති.

තේ කර්මාන්තය සඳහා රජය 45%ක සහනාධාරයක් සපයයි. තවමත් තේ කම්හල් මගින් නිෂ්පාදනය කෙරෙනුයේ නියමිත ධාරිතාවට වඩා අඩු නිෂ්පාදනයකි. තේවල පවතින ක්ෂුද්‍ර අවශේෂ මට්ටම (micro residual level) පරීක්ෂා කරනුයේ ජපානයේ ඇති රසායනාගාර මගිනි මේ සඳහා තේ නිෂ්පාදකයන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. තේ කම්හල් හිමියන්ගේ ඉල්ලීමක් වන්නේ එවැනි රසායනාගාරයක් ශ්‍රී ලංකාවේද පිහිටුවන ලෙසටය.

වතුකම්කරු වැටුප සම්බන්ධයෙන් රජය සහ වතුහාම්පුතුන්, වෘත්තීය සමිති හා එක්ව පොදු එකඟතාවකට පැමිණිය යුතුය. වතු ආර්ථිකය නංවාලන අතරම වතුකම්කරැන්ගේ අවශ්‍යතා සපුරාලීම මේ සියලු පිරිසේ වගකීමයි. එහෙයින් සියල්ලන් එක්ව පොදු තීන්දුවකට පැමිණිය යුතු වන අතර දෙපිරිස අතර පවතින කඹ ඇදීම නවතා දැමිය යුතුය. එසේ නොවුණහොත්  පීඩාවට පත්වන්නේ මෙරටට විශාල විදේශ විනිමයක් උපයා දෙන අහිංසක වතු කම්කරුවන්ය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා