2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

අලුත්ම චීන උණට චීනෙන්ම බෙහෙත්!

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 288

සෑම වසර 100කට වතාවක් ලෝක ජනගහනය පාලනය කිරීමට ස්වභාවික ආපදාවක් සිදුවන බවට විශ්වාසයක් තිබේ. ඒ අනුව නම් මේ ඒ සඳහා කාලයයි. ලෝ ප්‍රසිද්ධ සත්‍ය අනාවැකිකාරියක වූ බාබාවැන්ගා 2020 ගැන කියා ඇති අනාවැකියකට අනුව ලොවපුරා භයානක උණ වසංගතයක් පැතිරීමට නියමිත කාලයද මෙයයි. ඒ කතා සනාථ කරන්නට මෙන් හදිසියේ පැතිරයන්නට වූ චීන කොරෝනා වෛරස් උණ රෝගය මේ වනවිට වසංගතයක් බවට පත්වේද යන සැකය මතුව තිබේ.

දැන් චීන්නු පැය 24 පුරා එක ලෙස වෙහෙස වන්නේ එය වසංගතයක් වීම වැළැක්වීටය. චීනයේ වූහාන් නගරයේ එරට ප්‍රධානතම වෛරස් පර් ෙය්ෂණාගාරය ඇති නිසා මේ වනවිට මාධ්‍ය ජාල ඔස්සේ තවත් අලුත් භීතිකාවක් පැතිර ගොස් තිබේ. මේ අලුත් වෛරසය එකී පර් යේෂණාගාරයෙන් එළියට කාන්දු වූ ජාන වෙනස් කළ  මාරකයක්  කියාය. එහි ඇත්ත නැත්ත කෙසේ වුවත් ඒ අතර චීනය මේ රෝගීන් වෙන්කර තබන්නට අලුතෙන්ම රෝහල් 4ක් ලහිලහියේ සාදන ආරංචිය එළියට පැමිණීමත් සමඟ මේ සැකයේ භීතිකාව උපරිමය කරා ළඟා වී හමාරය.

මේ සැක සංකා කෙබඳු වුවත් මේ හදිසි ආගන්තුක ව්‍යසනය හමුවේ චීන බලධාරීන් සහ ජනතාව ක්‍රියාකළ ආකාරය ලෝකයටම ආදර්ශයකි. සිය නගර සීල් තබද්දී, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හැමතැනදීම වෛද්‍ය පරීක්ෂණ පවත්වද්දී චීන ජාතික වූ නිසා තමන් පමණක් රටේ රැදී සිට විදේශික සැමියා බිරිය රට යැවීම ගැන මේ අය රජය පෙරළන්නට පාරට බැස්සේ නැත. ලෝකය වටා අඳෝනා දෙමින් හිඟමනේ ගියේ නැත. එකිනෙකා තමන්ට හිතෙන හිතෙන කතා කියමින් රට පැටලුවේද නැත. සමාජ ජාල ඔස්සේ ලෝකයට විහිළු සැපයුවේද නැත. ඒ වෙනුවට සියල්ලෝම එකම අරමුණකින් එකමුතුව, සිය වගකීම දරමින්, කඩිසරව කටයුතු කරමින් විනයගරුක එකම ජාතියක් ලෙස තමන්ගේ ශක්තිය ලොවට පෙන්නූහ. කොරෝනා දුර්භාග්‍යය සිය රට වෙත  රැගෙන ආ අවාසනාවේ ඔටුන්න ඔවුන් විනයගරුක ජාතික එකමුතුවක ජයග්‍රහණයේ කිරුළ බවට වෙස් පෙරළා ගත්තේය.

ලෙඩේ මතුවුණ තැන

අලුත් ලෙඩේ හදන කොරෝනා වෛරසය 2019-nCoV, මධ්‍යම චීනයේ වූහාන් නගරයේ සජීවී සහ මියගිය සතුන් විකුණන මස්, මාළු තොග වෙළඳ මධ්‍යස්ථානයේ සේවකයන් හෝ එය වෙත ගිය අය අතරින් මුලින්ම මතුවිය. ඒ පසුගිය දෙසැම්බරය අගදීය. මෙහි වෘක පැටවුන්, බලු මස්, මොණර මස්, සැලමැන්දරාවුන්, ඔටු මස්, තාරා මස්, කුරුලු මස්, ගෙම්බන්, සර්පයන්, පණගැහෙන මාළු වර්ග ඇතුළු විවිධ වර්ගයේ මාංශ රැසක් විකුණන තැනකි. දැන් මෙය සර්පයන් සහ සමහර අමු මාළු අහාරයට ගැනීමෙන් බෝවන බව සැලකේ. සතුන්ගෙන් පමණක් මිනිසාට බෝවන බව මුලින් අනුමාන කළද ලෙඩේ සාර්ස් පැතිරැණාටත් වඩා වේගයෙන් පැතිර ගියේ මිනිසුන් අතර එකිනෙකාට බෝවන බව සනාථ කරමිනි. එක් ආසාදිතයෙක්ගෙන් දෙතුන් දෙනෙකුට බෝවන බව දැන් විශ්වාස කරයි.

මොකක්ද මේ කොරෝනා වෛරසය?

කොරෝනා වෛරසවලට එම නම ලැබී ඇත්තේ එහි පිටත ඝන ප්‍රෝටීන් ආවරණයේ දක්නට ලැබෙන ඔටුණු බඳු නෙරුම් නිසාය. මේවා ඔටුණු හැඩැති නිසා ලතින් බසින් ඔටුන්න යන අරුත දෙන (corona) නම එයට දී ඇත. 
සතුන් මත දිවි ගෙවන කොරෝනා වෛරස ගණයට අයත් වෛරස රාශියක් නිදැල්ලේ පවතින නමුත් මේ දක්වා මිනිසුන්ට ආසාදනය වී තිබුණේ ඉන් හයක් පමණි. මෙම මාරාන්තික වෛරස රෝගය මිනිසා ඉල්ලා දමාගන්නා ලෙඩය. මක්නිසාදයත් මේ වෛරස සියල්ලක්ම පාහේ විවිධ සතුන්ගේ මාංශ පරිභෝජනයට ගැනීම හේතුවෙන් මිනිස් සිරුරට ඇතුළු වී ඇති බව සනාථ වී ඇති නිසාය. නිදසුනක් ලෙස වසර 2002දී    මෙලෙසම චීනයෙන් පැතිරයාම ආරම්භ වූ, පුද්ගලයන් 8098 දෙනෙකු ගොදුරු වූ, ඉන් 774 දෙනෙක් මියගිය, සාර්ස් (Sars) වෛරසය මිනිස් සිරුරට ඇතුළු වී තිබුණේ උරුලෑවකුගෙනි. 2012දී මර්ස් (Mers) නමැති අලුත් ලෙඩකට බිලිවූ රෝගීන් 2494 දෙනෙකුගෙන් 858 දෙනෙක් මියගියහ. මැද පෙරදිග රටවලදී එම වෛරසය වරින්වර මිනිසාට ආසාදනය වී තිබුණේ ඔටුවන්ගෙනි. චීනයේ විශාලත්වය, ජන ඝනත්වය සහ සතුන් සමඟ පවතින සමීප ඇසුර හේතුවෙන් මෙම වෛරස ශරීරගත වීම බහුලය. පර් යේෂණවලින් අනතුරුව චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ මෙම 2019-nCoV, වෛරසය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාව සහිත හත්වැනි කොරෝනා වෛරසය ලෙසටය.

වසංගතයක් නොවේ: චීනෙන්ම අලුත් බෙහෙතක්!

ලෝක සෞඛ්‍ය සංවිධානය මරණ අනුපාතය 1000කට 01ක් පමණ වන මේ රෝගය  තවමත් වසංගත තත්ත්වයක් ලෙස නම්කර නැත. මේ අතර පැය 24 පුරා චීන විද්‍යාඥයෝ නිදි නොලබා මේ සඳහා නව ඖෂධයක් සෙවීමේ නිරතව සිටිති. ෂෙජියෑං පළාතේ පර් යේෂණාගාරයේදී නව වෛරසය වෙන්කර ගැනීමට ඔවුහු සමත් වූහ. මේ නිසා දැන් වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමේ හැකියාව ඉහළය. බෙයිජිංහි රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය දැන් එයට අතගසා ඇත. ෂැංග්හයි මහජන සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය සිය සෞඛ්‍ය සේවකයන් වෛරස රෝගී තත්ත්වයට ගොදුරුවීම වැළැක්වීමට උගුරට ඉසින ප්‍රතිවෛරස දියරයක් හඳුන්වා දී තිබේ. ෂැංග්හයි තාක්ෂණ සරසවියේ කණ්ඩායම් දෙකක් මේ වනවිට පවතින ප්‍රතිවෛරස ඖෂධ යොදා සාර්ථක නව වට්ටෝරුවක් සකසා හමාරය. එයට දැනට ඒඩ්ස් වැළැක්වීමට දෙන ප්‍රතිවෛරස ඖෂධ 12ක් ඇතුළු ඖෂධ වර්ග 30ක එකතුවක් යොදාගෙන ඇත. මේ අතර චීනයේ පැරැණි ආයුර්වේද වට්ටෝරු ගැනද අවධානය යොමුව ඇත. විශේෂයෙන්ම Polygonum cuspidatum නමැති චීන ශාකසාරය ගැන අවධානය යොමුව ඇත. තමන්ගේ රටේ  ව්‍යසනයට තම රටින්ම ප්‍රතිකර්ම සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

වූහාන් චීන උණට අලුතෙන්ම රෝහල් 4ක්

චීන කොරෝනා වෛරස නව මාදිලිය 2019-nCoV මගින් අසාදනය වූ රෝගීන්ට පමණක්ම වෙන්වූ රෝහල් 4ක් මේ වනවිට දිවා රෑ නොතකා අලුතෙන්ම කඩිනමින් තැනෙමින් පවතී. රෝහල් 2ක් වූහාන් අසල තැනෙයි. රටේ දේශීය විශ්වාසයන් අනුව යමින් මේ රෝහල් 2 සඳහා නපුරට එරෙහිව සටන් කරන දෙවිවරැන් දෙදෙනෙකුගේ  නම් ලබාදී තිබේ. ගිගිරුම් දෙවියාගේ සහ ගිනි දේවතාවාගේ නම්ය. චීනයේ වූහාන් නගරයේ සිට ඈත බටහිරට වන්නට ඇඳන් 1000ක රෝහලක් පැය 48ක් තුළ සූදානම් කිරීමට එහි ඉදිසුරු - කම්කරු පිරිස සමත්වූහ. ගිනි දෙවියාට අයත් කඳුවැටියේ හැදූ එය වෙත දැන් මුල්ම රෝගීන් පිරිසද ඇතුළත් කර හමාරය. 2003දී SARS උණ පැතිර ගිය අවස්ථාවේ මෙලෙසම දින 7ක් තුළ ඔවුන් රෝහලක් අලුතෙන්ම තැනූහ. මෙවර අලුතෙන්ම හදන අනෙක් රෝහල ඇඳන් 1500ක එකකි. එයද දින 7කින් හදන්නට මේ දිනවල බරටම වැඩය. තුන්වැන්න යාබද හූවාන්ග්ගැන්ග් ටවුමේය. සිවුවැන්න මධ්‍යම  චීනයේ ෂෙන්ෂෝ වලය.

නගරය පාළු වෙයි

චීන වූහාන් නගරය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශ ගණනාවක් පාළු වී ගොසිනි. ආයතන කඩසාප්පු  වැහිලාය. වූහාන් නගරයේ ජීවත් වූ මිලියන 11න් මේ වනවිට සිටින්නේ මිලියන 9ක් පමණය. වැඩිදෙනෙක් අවුරුදු නිවාඩුව සඳහාත්, වෛරස් ලෙඩේ නිසාත් එයින් පිටව ගොසිනි. ප්‍රාදේශික 31කට සෞඛ්‍ය අවදානම් අනතුරු දැනුම් දී ඇත. වූහාන් ඇතුළු ප්‍රධාන නගර 17ක් සීල් තබා ඇත. ඒ අනුව මිලියන 57කට ආසනන්න පිරිසක් වෛරසය හේතුවෙන් එළිමහන් සිරකරුවන් බවට පත්ව සිටිති.
ඒ රටේ මේ මාසයේ පැවැත්වීමට තිබූ සියලු විභාග කල්දමා ඇත. පාසල්, සරසවි සහ කාර්යාල නිවාඩු කාලයද දීර්ඝ කර ඇත. මොන්ටිසෝරියේ සිට සියලු අධ්‍යයන ආයතන නැවත ඇරෙන්නේ පෙබරවාරි 17 වැනිදායින් පසු නැවත දැනුම් දෙන දිනකය. ඒ අනුව චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380ක්  බදාදා වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. තවත් පැමිණිමට නියමිතය.

චීන මරණ ඉහළට: ලංකාවේත් ලෙඩ්ඩු

චීන වූහාන් නව කොරෝනා වෛරස  නිව්මෝනියාව  ඉකුත්  බදාදා වනවිට ලෝකයේ 6000කට වැඩි සංඛ්‍යාවකට වැළඳී ඇති බව සනාථ විය. 132ක් මියගොස් තිබුණි. එයින් 125ක් හූබෙයි ප්‍රාන්තයෙනි. නමුත් රෝහල්වලට වාර්තා නොවූ පිරිසත් සමඟ ආසාදිත පිරිස ලක්ෂයේ සිට 350,000 ත් ඉක්මවිය හැකි බවට සැක පහළ කෙරේ. චීන ජනපති සහ අගමැති දෙපළ මේ ප්‍රාන්තයේ සංචාරයක යෙදුණු අතර යුවාන් බිලියන 11.21ක මුදලක් රෝගය වැළැක්වීම සඳහා වෙන් කළහ.
වෛරස බලපෑම තදින්ම ඇති හූබෙයි ප්‍රාන්තය වෙත රට පුරා සේවයේ නියුතු සෞඛ්‍ය නිලධාරින් 6,097ක් බදාදා වනවිට කැඳවා තිබුණි. මේ වනවිට ලොව පුරා රටවල් 18කට අධිකව වෛරසය පැතිරී ගොස් තිබේ. මැදපෙරදිග මුල්ම රෝගියාද ඩුබායිවලින් වාර්තා විය. මේ වනවිට ජර්මනියේ 4ක්, ප්‍රංශයේ 3ක්, කැනඩාවේ 2ක්, ඕස්ට්‍රේලියාවේ 7ක්, ජපානයේ 6ක්, තායිලන්තයේ 14ක්, තායිවානයේ සහ හොංකොංහි 8ක් බැගින්ද, සිංගප්පුරැවේ 7ක්ද, මැලේසියාවේ 4ක් මෙන්ම අමෙරිකාවේ 6ක්ද ලෙස රටවල් 18ක මෙය පැතිර ගොසිනි. 

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 24 දෙනෙකු කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගෙන් පරීක්ෂණ සඳහා සුදුසු 15දෙනෙකු මේ සඳහා වූ විශේෂිත පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් ලද ප්‍රතිඵල අනුව රෝගය ආසාදනය වී ඇත්තේ ඉන් එක් අයකුට බවත් ජාතික උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියයි. ඒ චීනයේ සිට සංචාරයට ආ 40 හැවිරිදි කාන්තාවට පමණි. ඇය විශේෂිත ප්‍රථිකාර සඳහා වෙන්කර ඇති අතර තව දින කිහිපයකින් ඇයටද පිටව යා හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. සැක සහ බිය නිසා බොහෝ දෙනෙක් රෝහල් වෙත එන අතර මෙය කිසිසේත්ම වසංගත තත්ත්වයකට පත්ව නැති හෙයින් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කරයි.

රෝගයෙන් ගැලවෙන්නේ මෙහෙමයි!

• කහින, කිවිසින විට ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැලමිට ඇතුළු පැත්තෙන් මුඛය නාසය ආවරණය කර ගන්න.
• භාවිත කළ ටිෂූ කඩදාසි පියන සහිත කසළ බඳුනක දමන්න.
• සබන් යොදා නිතර දෑත් සෝදා පිරිසිදු කර ගන්න.
• නාසය, ඇස්, කට නිතර නිතර ඇල්ලීමෙන් වළකින්න.
• සෑම කාර්යාලයකම සබන්, අත සේදුම් දියර තබා, ජල සැපයුමක් සමඟ අත සේදීමට ස්ථාන සකස්කර ගන්න.
• පඩිපෙළ ආධාරක වැටවල්, සෙනඟ ගැවසෙන ස්ථානවල බිත්ති, උපකරණ අනවශ්‍ය ලෙස අතපත ගාන්න එපා. තරල ගෑවී තිබිය හැකිය.
• උගුර වියැළෙන්නට දෙන්න එපා. නිතර ජලය පානය කරන්න.
• නින්දට පෙර උගුර ලුණු මිශ්‍රිත උණුසුම් වතුරෙන් සෝදන්න.
• නිරාහාරව නොසිටින්න පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. විවේක ගන්න. රෝගවලින් ගැලවීමට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වඩවා ගන්න.
• අනවශ්‍ය බිය ඔබගේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය පහළ දමනු ඇත. බිය අතහැර විශ්වාසයෙන් යුතුව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.
• සැකසහිත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.


මුවවැස්මක් හරියට පළඳින හැටි:

වාතය ඔස්සේ පැතිර යන ලෙඩවලින් ගැලවෙන්නට පහසුම පූර්ව ආරක්ෂණ ක්‍රමය තමා සෞඛ්‍යාරක්ෂිත මුව වැස්ම. හැබැයි එය හරියට පැළඳිය යුතුයි. ෆාමසියෙන් ගන්නා මුවවැස්මක තද නිල්-කොළ පාට පැත්ත එහි ඉදිරි පැත්තයි. ලා නිල්පාට හුරු සුදුපාට පැත්ත රැළිසහිත පෙරණය සහිත ඇතුළු පැත්තයි. විසබීජ පෙරා දමන්නේ මේ පැත්තෙනුයි. ඉතින් ඔබේ ශරීර සෞඛ්‍යය අනුව එහි නියමිත පැත්ත නියම දිසාවට සිටින්න පැළඳිය යුතුයි.

ඔබ පරිසරයේ විසබීජ වලින් ආරක්ෂා වන්න නම්:

ඔබ නිරෝගී නම් විසබීජවලින් ගැළවෙන්න නම් මාස්ක් එකේ තදනිල් පාට පැත්ත මුහුණට ස්පර්ශ වන සේ ඇතුළටත් ළා පැහැති ෆිල්ටරය ඇති පැත්ත පිටතටත් සිටින සේ එය පළඳින්න.

ඔබ රෝගියෙක් නම්:

ඔබෙන් පිටතට විසබීජ යාම වැළැක්වීම සඳහා ෆිල්ටරය සහිත ඇතුළු පැත්ත ඇතුළටත්, තද පැහැති ඉදිරිපස පිටතටත් තිබෙන පරිදි එය පළඳින්න.

සමාජජාල ජංජාලවලට රැවටෙන්න එපා!

වෙනත් රෝගාබාධවලට ලක්වූ පුද්ගලයින්ගේ ඡායාරෑප පලකරමින් ඔවුන් කොරෝනා අසාදිතයින් බවට සාමාජ මාධ්‍යවල ඇතැමුන් හුවාදක්වන බවත්, එමෙන්ම දිවයිනේ විවිධ රෝහල්වලට මෙවැනි රෝගීන් ඇතුළත් කර ඇති බවට සාමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. වෛරසය සම්බන්ධයෙන් යම් ආසාධිත පුද්ගලයෙකු කුමන හෝ ස්ථානයකින් හඳුනා ගතහොත් ඒ පිළිබඳ තොරතුරු නිල වශයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් ඔවුන් පවසයි.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00