
සති අග පොළේ, සල්පිලේ, බස් නැවතුමේ, කඩ මණ්ඩියේ නිතර ගැවසුණු ඒ සොඳුරු මිනිසා දශක දෙක තුනක සිට ආගිය අතක් නැත. අපි ඔහු සොයා අතීතයට පියමන් කෙළෙමු. පරාක්‍රම කොඩිතුවක්කු නම් චිරප්‍රසිද්ධ කවීන්ද්‍රයාගේ “සකල සිරින් පිරි කවි කොලේ” නම් කෘතිය අපට මේ ගමන්මග කීවේය.
සති පොළ අද්දර, මහ නුගේ පාමුල, සෙනඟ වටවී ඔහු දෙසට දෑස් දල්වා බලා හිඳිති.
සිරිගත සම්බුදු අමා මෑණියන් දොහොත් මුදුන් දී නමකරලා
සිරි සදහම් දෙවනුව නම්කර නිවනට යන මඟ සිහිකරලා
සිරි සඟරුවණද නම කර හද තුළ පිපෙනා කවි මල් පුදකරලා
සිරිලක සිදුවුණ දුක්මුසු පුවතක් පවසමි මවිසින් පදකරලා
ගැඹුරු හඬින් ඔහු ගයන්නේ මහා විපතක ශෝකාලාපයකි. පිරිස ඔහු වෙත වශීකෘත වී සිටින්නේ සංවේගයෙනි. කුතුහලයෙනි. ජටාවක් හිස බැඳ සිංහල ඇඳුමින් සැරසුණු මේ මිනිසා තවත් කවියක් කියන්නට මත්තෙන් වචන දෙක තුනක් කතාකරයි. ඔහුගේ ස්වරය ගාම්භීරය. කන්කළුය. සිත් අලවන සුළුය.
“සත දහයයි කොළේ... සත දහයයි කොළේ...”
කිහිල්ලේ ගසාගෙන සිටින කවි කොළ මිටියෙන් එකින් එක ඇද මිනිසුන් වෙත දිගු කරයි. දැන් සති පොළට පැමිණි ඇත්තන්ටද කවි කොළයක් ගෙදර ගෙනියන්නට සිත් පහළ වී ඇත. මේ ඔබ හමුවේ දිගහැරෙන්නේ ඒ සොඳුරු අතීතයයි. කාලයා විසින් අමතක කොට දැමූ කවිකාර මිනිසාගේ කතාවයි. ඉදින් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ කවි කොළකාරයන්ගේ කතාන්දරයයි.
අප ලාංකීකයන්ට ජාන ගතවූ සාහිත්‍යාංගය කවිය බව කියන්නට අමුතු උපහැරණ අවැසි නැත. මෙසිරිලක ජනයා නැළවිල්ලෙන් ඉපිද වෙසතුරු දා කවෙන් මියගියෝ වෙති. පුරාතනයන්ගේ පටන්ම මෙබිම මතක සරුවට පැල වී ඇත්තේ ගද්‍ය නොව පද්‍ය සාහිත්‍ය බව විද්වත්හුද කියති. කෙසේ නමුත් කවි කොළ කරුවාගේ ඉතිහාසය කතාව පුරාතන සාම්ප්‍රදායික කවීන්ගේ පාදාන්තයේ තබන්ට අපට බැරිය. මන්ද ඔවුනට නෑකම් ඇත්තේ පොදු ජනතාවගේ දුක් පීඩා ගැන කතා කළ පාලක පන්තියේ පීඩාවන්ට එරෙහිව නැගී සිටී ජන කවියාගේ ජානගත පරපුරටයි.
මෙරට කවි කොළ සාහිත්‍යයේ පරම්පරා දෙකක් පිළිබඳ තතු හමුවේ. ඒ අනුව 1865 -1950 අතර කාලයේ සිටි කවි කොළකරුවන් මුල් පරපුරේ අය ලෙසත් 1950 – 2010 අතර කාලයේ සිටි කවි කොළකරුවන් දෙවැනි පරපුර ලෙසත් හඳුන්වති. මෙම පරම්පරා දෙකේම කිවිවරුන් ප්‍රධාන භූමිකා කිහිපයක් ඔස්සේ සිය නිර්මාණ ඉදිරිපත් කර ඇත. ජාතික අරගලය, සංස්කෘතිය අරගලය, දේශපාලන අරගලය, සමාජ විෂමතා හෙළිදරව්ව, ජීවිත යථාර්ථ විවරණය එයින් ප්‍රමුඛය. සැබවින්ම මේ තොරතුරු හෙළිවන්නේ පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ සමාජ විශ්ලේෂකයාගේ වෙහෙසකර ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
තත්කාලීන ජාතික සහ සංස්කෘතිය අරගලයට කවිකොළ කවීන්ගේ දායක්තය සුවිශේෂීය. ජාතික ව්‍යාපාරයට සමපාත කවි කොළකරැවන් තනි තනිව දියත්කර සටන්වල අපූර්ත්වය වෙසෙසින්ම සිහිකළ යුතුය. ව්‍යාජ වූ මෙම ප්‍රකාශ ඇතැම් විට ඇතැමුන් විවේචනය කොට තිබේ.
හෙරලි කකා උන් කළුහාමිල්ලා සුදු නෝනල වී උඩ යනවා
පෙරළි කරන්නට දැන් දැන් මහතුන් මන්ත්‍රි සබාවට රිංගනවා
පෙරදි විසුව මහ රජදරුවන් ලක් කළ දේවල් උන් නොසොයනවා
ඒරොප්පේට ගැති අපෙ නායකයිනි රට තණ කන්නට සිදුවෙනවා
විල්සන් ජයවික්‍රම - 1920 (වැරදුන තැන හෙවත් රට තණකොළ කෑම)
එදා කවි කොළකරැවාගේ ජීවන තතු මේ අතීත ගමනේ අප හමුවේ දිගහැරිණි. කවි කොළකාරයන් ලෙසින් ප්‍රබුද්ධ යැයි සම්මත පිරිස් මෙම නිර්මාණකරුවන් හංවඩු ගැසූ බව සැබෑය. එහෙත් එදවස අප ගම්මුන් මෙම අපූරු කවීන් හඳුන්වා ඇත්තේ ගුරුතුමා යනුවෙනි. පළමු පරපුරේ ගන්දර වත්තුහාමි ගුරුතුමා, තලාවේ කේ.ඇම්. රම්බන්ඩා ගුරුතුමා, දෙවුන්දර කපුගම ගුරුතුමා ආදී ඇත්තන් ඊට උදාහරණ කිහිපයක් පමණි. මෙම කවීන් ගුරුවරු වූයේ ඔවුන් ශිල්පයක් බෙදාදුන් නිසා නොවේ. ඔවුන් සමාජය කෙරෙහි සිදුකළ බලපෑම නිසාවෙනි. එහෙත් මේ මිනිසුන්ගේ ජීවිත කතා එතරම් සොඳුරු නොවීය.
“පොත් එල්ලගෙන මිටි බැඳගෙන කරන වෙළඳාම කරදරයක් කියලා තේරුම් ගියාට පසුව කවිකොළ විකිණීම ආරම්භ කළා. මේ කාලෙදි පී.බී. අල්විස් පෙරේරා කවියාගේ දේදුනු කවි පාසලෙන් තැපැල් මගින් කවි පාඩම් ගෙන්වාගෙන හුරැවක් ලැබුවා. මේ අතර මගේම කවි කොළේ ලිව්වා, ‘1949 දී පුතෙක් මවගේ බෙල්ල කැපීම’ ගැන පත්‍රයේ පළ වූ සත්‍ය සිද්ධියක් ගැන. පුතා සිරකුටියේ අම්මා සිහිකර වැළපෙන කවි පන්තිය විලාපයක් විදිහට තාලෙට ලිව්වා. තාලෙට උස් හඬින් කවි නාද කරන්න ඕනෑ. කවි කොළකාරයන් වටේ මිනිස්සුන් විනාඩියකට රැස් වෙන රහස ඒ නාද රසයයි. මම සබකෝලය යන්න රා ඩිංගක් බී වන වදුලකට ගිහින් කවි උස් හඬින් ගායනා කරන්න පුරුදු වුණා. කවි කොළේ පුතාගේ වැළපීම ගායනා කරද්දී මගේ දෑසින්ම කඳුළු ගැලුවා. ලේන්සුවලින් ඇස් පිස දමමින් සමහරු කවි අසා ඉන්නවා දුටුවහම මම සාර්ථකයි කියා අවබෝධ වුණා.”
1930දී උපන් කවිකොළ කිවිවර මාටින් අප්පුහාමිගේ කතාවෙන් ඉහත කොටස අප උපුටා ගතිමු. එදා මෙම කවීන් එක් කවි කොළයක් වෙනුවෙන් මුද්‍රණකරුවන්ට ගෙවූයේ ඉතා සුළු මුදලකි. එහෙත් ඇතැම්විට කවීන්ගේ කවි කොළ ලක්ෂයක් පමණ අලෙවි වූ අවස්ථා තිබී ඇත. ඇතැමුන් චිරප්‍රසිද්ධ වී මන්ත්‍රණ සභාවට ගොස් ඇත. කෙසේ නමුත් මෙම කවීන්ගෙන් බොහෝදෙනාගේ ජීවිතේ සැඳෑසමය සොඳුරු නොවීය. කවිකොළ ගුරුන් සොයා පරාක්‍රම කොඩිතුවක්කුගේ චාරිකාවේදී තතු ඇසුරින් මේ කතාව මනාව අවබෝධ වේ.
පිළිවෙත කරමින් දුම් අල්ලන විට ළමයා හට සිහි නැතිවූවේ
දෙවියනි ඒ අසරණ දරුවාගේ දිව ඇදලා එළියට ආවේ
නිදහනෙ ගැනුමට ගිය ඒ පිරිසයි පේනකාරියයි ඇගෙ සැමියයි
මේ පිළිබඳ කටඋත්තර ගැනුමට කැඳවූයේ පොලිසිය බදුරලියෙයි
(මීගහතැන්නේ මාටින් අප්පුහාමි - 1978)
මේ ආදී ඛේදවාචකයන්ට අමතරව තවත් වස්තු විෂයයන් රැසක් ඔස්සේ කවි කොළ රචනා වී තිබේ. ඒ අතරින් වීරයන් පුදන කවි කොළ, දේශපාලන ගැටුම්, කලාකරැ උපහාර, අරුම පුදුම සිදුවීම් ආදීය පිළිබඳ කවි කොළ ප්‍රමුඛ කොට සැලකිය හැකිය.
ජනකවිය, කලාව නූතනයට ගෙන ගිය කවිකොළ කිවියරුන් පිළිබඳ අවසානයේ මෙසේ ලියා තැබී යුතුය. උගතුන් නොවූවත් ගස් යට කවීන් ලෙස නින්දා ලැබූවත් පොදු ජනයාට ගුරැ විය. ජනයාගේ ලියැවීමේ පිපාසය සසිඳලූයේ ඔවුන්ය. ලාංකීය සාම්ප්‍රදායික කවියාගේ වස්තුවිෂය බිඳහැර නිර්භීතව සිය කලාව මෙහෙයවූයේ ඔවුන් විසිනි. සැබවින්ම කවි කොලකාරයාගේ කවිය සකල සකලවිධ කලාවේ අවංකත්වයේ ප්‍රතිමූර්තියකි.
► චමිඳු නිසල් ද සිල්වා
පරාක්‍රම කොඩිතුවක්කු - සකල සිරින් පිරි කවි කොලේ කෘතිය ඇසුරින්