2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

මරණය අවබෝධ නොවී වැලපෙන්නෝ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 382

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ උපාසක පිරිසක් එනුවර උන්නා. මේ පිරිස බණ භාවනා කරමින් තැනින් තැන ඇවිද්දා. ඒත් දාන වේලාවට සිය නිවෙස්වලට ආවා.
කලක් ගෙවී ගියා. කෙමෙන් ඔවුන් මහලු වියට පත්වුණා. දැන් ඇවිදීමට අපහසුයි. ගෙවල්වලට වෙලා ඉන්නත් බෑ. බණ භාවනා කිරීමත් ගෙවල්වල බෑ. අපි දැන් කුමක්ද කළ යුත්තේ. ඔවුන් සාකච්ඡා කළා.
අපි මහණ වෙමු. එක් උපාසකයෙක් කිව්වා.

මහණ වුණාට පස්සේ කුමක්ද කරන්නේ. තව උපාසකයෙක් ඇසුවා.

මහණ වෙලා පන්සලට වෙලා බණ භාවනා කරමින් රහත් ඵල ලබාගනිමු. එක් උපාසකයෙක් කිව්වා.

අපටත් දානය ලැබෙයිද? තව උපාසකයෙක් ඇසුවා.

ඔව්. පිඬුසිඟා අපේ ගෙවල්වලට යමු. එතකොට අප කැමැති ආහාර පාන ලැබෙයි. යෝජනාව ගෙන ආ උපාසකයා කිව්වා.

උපාසකවරු සියලුදෙනාම බුදුරජාණන් වහන්සේ වෙත ගියා. පැවිද්ද ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඔවුන් පැවිදි කළා. දෙව්රම් විහාර භූමියේ පන්සලක් හදාගන්න ඉඩකඩ සලස්වා දුන්නා.

එම පන්සලට වී මේ මහලු හාමුදුරුවරු විදසුන් වඩා රහත් ඵල ලබාගන්න උත්සාහ ගත්තා. පලක් වුණේ නෑ. වෑයම දුබල වුණා.

කෙසේ වෙතත් ඔවුන් පිඬු සොයා ගියේ සිය පෙර අඹු දරුවන් උන්න වීදියට. මේ මහලු හිමිවරුන්ට ඉතා හොඳින් පිඬු පූජා කරන මහලු උපාසිකාවක් උන්නා. ඇය එක් මහලු භික්ෂුවකගේ පෙර බිරිඳ. ඒ වුණත් තිසරණ සරණ ගිය උපාසිකාවක්. ඇගේ පිඬු දානය ප්‍රණීතයි. ඒ නිසා මහලු හිමිවරු ඇගේ පිඬු ලබාගන්න ආශා කළා.

හිටිහැටියේ උපාසිකාව රෝගී වුණා. ඇයට පිඬු හදා පුදන්න බැරිවුණා. මහලු භික්ෂුවරු ඇගේ ලෙඩවීම ගැන කම්පා වුණා.

මහලු හිමිවරුන්ගේ වැලපීම

ටික දිනකින් උපාසිකාව එම රෝගයෙන්ම මියගියා. මහලු හිමිවරු ඇගේ අවමඟුලට සහභාගි වුණා. මේ උපාසිකාව ප්‍රණීත ආහාර සපයන්න අති දක්ෂයි. අපට හොඳින් සැලකුවා. හරිම ගුණ යහපත්. පරිත්‍යාගශීලියි. කියමින් ඒ හිමිවරු ඉකිගසා අඬන්න වුණා.

මේ මහලු හිමිවරුන්ගේ වැළපීම ගැන දම්සබාවේ කතාබහ වුණා. ඒ උපාසිකාව හොඳ උපාසිකාවක් තමයි. ඒ වුණත් මේ මහලු භික්ෂූන්ගේ ඇඬීම පුදුමයි. එක් භික්ෂුවක් පැවැසුවා. මරණය ගැන අවබෝධය අඩු නිසා වෙන්න ඇති. තවත් හිමිනමක් කිව්වා. ඒක තමයි. අනෙක් භික්ෂූන් අනුමත කළා.

බුදුරජාණන් වහන්සේ මෙම කථාව අසාගෙන වැඩ සිටියා. මහණෙනි! ඔය උපාසිකාව වෙනුවෙන් මින් පෙරත් ඔය මහලු භික්ෂූන් ඔය විලසටම දුක්වුණා. වැලපුණා. බුදුන් වදාළා.

ස්වාමීනි! අපටත් දැනගන්න ඒ කථාව වදාළ මැනවි. භික්ෂූන් ඉල්ලා සිටියා.

එවිට බුදුන් වහන්සේ මෙම කථාව වදාළා.

යටගිය දවස එක දූපතක කපුටෝ රංචුවක් උන්නා. මේ දූපත අරක්ගෙන උන්නේ සාගරයට අධිපති දෙවියෙක්. දූපතේ වසන මිනිස්සු රා මස් බත් වෙරළේ තබා සාගර දෙවියන්ට පුද පූජා කළා...

රංචුවේ උන් කපුටු ජෝඩුවක් වෙරළේ සෙල්ලම් කරමින් ආදර රැඟුම් පෑවා. උන් දැක්කා වෙරළේ දෙවියන්ට පුදා ඇති බත් මස් සහ රා... මේ කපුටු යුවළ ඒවා ළඟට ගියා. රා බිව්වා. මස් කෑවා... එසේ කන බොන කොට උන් මත් වුණා. වෙරිමරගාතේ නටන්න පටන් ගත්තා. අපි මුහුදේ නාමුද? කපුටු ධේනුව ඇසුවා.

කපුටන්ගේ මුහුදු යාම

හා නාමු... කපුටා කිව්වා.

දෙන්නාම වෙරළ අයිනේ නාන්න පටන් ගත්තා. කපුටා වෙරළ අයිනේම වතුරේ නෑවා. කපුටී වෙරළෙන් ටිකක් ඈතට ගොස් නෑවා.

ඈතට යන්න එපා ළඟට එන්න... කපුටා කිව්වා.

ඇයි බයද? මට මේ මුහුද හොඳට හුරුයි. කී කපුටී තව ටිකක් ඈතට ගියා.

ඕක සෙල්ලමක් නොවේ. මේන් මෙහෙ එන්න කියා කපුටා කපුටීට කෑ ගසා කිව්වා.

කපුටී නොවෙයි ගණන් ගත්තේ. වතුරේ නට නටා සෙල්ලම් කළා.

වැඩිවෙලා ගියේ නෑ. ලොකු දිය රැළක් ගැසුවා. ඒ දිය රළට කපුටී අසුවුණා. දියඹට ගසාගෙන ගියා. කපුටා කෑ ගැසුවා. එහෙත් කපුටීව දිය රැළෙන් බේරෙන්න බැරිවුණා. මොහොතකින් නොපෙනී ගියා.

කපුටා වෙරළේ ඉඳන් කෑ ගසා වැළපුණා. මේ අඳෝනා හඬට අනෙක් කපුටෝ ඉගිලී එතැනට ආවා. ඇයිදැයි ඇසුවා.

මගේ බිරිය ඔබේ යෙහෙළිය මුහුදු රළ අරන් ගියා කියා කපුටා වැලපුණා. දැන් අපි කුමක් කරම්ද? කපුටෙක් ඇසුවා. අපේ රැළ කොපමණ විශාලද? ඒ හින්දා අපි ඔක්කොම එකතුවෙලා මුහුද ඉසිමු. තව එකෙක් කිව්වා. ඊට කැමැති වුණු කපුටෝ මුහුදු වතුර කටින් ගෙනවිත් ගොඩට දාන්න වුණා.

වැඩිවෙලා ගියේ නෑ මුහුදු වතුර ගෙනෙන විට ගිලුණා. හකු ඉදිමුණා. ඇස් රතු වුණා. උන් මුහුද ඉසීම නතර කළා. අනේ අපේ යෙහෙළිය මුහුද අරන් ගියා කියා කපුටු රංචුව විලාප දෙන්න වුණා. එය මහා කරච්චලයක් වුණා.
සමුද්‍ර දේවතාවා භයංකර වෙසක් ගෙන ආවා. කපුටන් බය කළා. දේව බලයෙන් කපුටන්ගේ දුක නැති කළා. අන්න ඒ කපුටි තමා මේ උපාසිකාව. කපුටෝ මහලු භික්ෂූන්... බුදුන් වදාළා.

කාක ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක