2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

බදු අඩුවීමේ වාසිය මුදලාලිටද?

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

කෙසේ වුවද ශ්‍රී ලංකා මහබැංකුවේ කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව බදු සහන රැසක් ප්‍රදානය කිරීමට පියවර ගැනීම හා මෙතෙක් පැවැති බදු වර්ග රැසක් කප්පාදු කිරීම නිසා 2020 වසරේ බදු ආදායම් ඉලක්කය 2019ට වඩා අඩුවිය හැකි බවය.

එම මාධ්‍ය සාකච්ඡාවේදී කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ 2019 වසරේදී තම දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 785ක ආදායමක් එකතු කර ගැනීමට හැකිවූ බවය. 2018 වසරේදී එකතු කරගත් සමස්ත බදු ආදායම වූ රුපියල් බිලියන 650ට අනුරූපව 2019දී සියයට 21ක බදු වර්ධනයක් තිබූ බව ඔහු පවසයි. 2019 එකතු කළ බදු ආදායම රජය තම දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ ඉලක්කයට වඩා රුපියල් බිලියන 14ක අඩුවීමක් බවද ඔහු පවසා සිටියේය. දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව බදු ඉලක්කය රුපියල් බිලියන 799ක් වුවද එකතුකර ගත හැකිව ඇත්තේ බිලියන 785ක් පමණකි. ආර්ථික වර්ධන වේගය සියයට 3කටත් වඩා පහළ වැටී තිබියදී මෙතරම් හෝ ආදායමක් උපයා ගැනීම කැපී පෙනෙන වර්ධනයක් බව ඔහුගේ අදහස වේ.

දේශීය ආදායම් පනතට ගෙන ඒමට නියමිත නව සංශෝධන අනුව රඳවා ගැනීමේ බද්ද රුපියල් 250,000ක් දක්වා නිදහස් කෙරෙන අතර උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රුපියල් 100,000 සිට රුපියල් 250,000 දක්වා ඉහළ දැමීම සිදුකෙරේ. මේ ඇතුළු ඇතැම් බදු සහන ජනවාරි මස 01දා සිට ක්‍රියාත්මකව ඇත.

2020 ජනවාරි මස 01දා සිට කෙනෙකුට ගෙවන පොලිය මසකට රුපියල් 250,000 දක්වා රඳවා ගැනීමේ බද්දෙන් (Withholding Tax) නිදහස් කර ඇත. එලෙසම උපයන විට ගෙවීමේ බදු (Payee Tax) නිදහස් සීමාවද මසකට රුපියල් 100,000 සිට රැපියල් 250,000 දක්වා ඉහළ දමා තිබේ. එයට වැඩිවන විට පමණක් සියයට 6-12 හා 18 යන ඛාණ්ඩ අනුව බදු ගෙවිය යුතුවේ. 2020 අප්‍රේල් 01දා සිට වයසක තැනැත්තන්ට සිදුකරන ස්වභාවික සිම්පත් ගෙවීම්. ලාභාංශ, ගාස්තු, කුලී, රාජ්‍ය භාග, වාරික හෝ විශ්‍රාම ගෙවීම් මත රඳවා ගැනීමේ බද්ද ඉවත්කර එම ආදායම් තක්සේරු කළ හැකි ආදායමක් බවට පත්වේ.

2019 අප්‍රේල් 1දා සිට කෘෂිකාර්මික පශු සම්පත් සහ මත්ස්‍ය වගාව ඇතුළුව වගා ව්‍යාපාර තුළින් උපයන ලාභ සහ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. තොරතුරු තාක්ෂණ සැපයීම් ලාභයද ආදායම් බද්දෙන් නිදහස් කර තිබේ. එසේම අනේවාසික සහ නේවාසික ගිණුම් සඳහා ලැබෙන පොලියද බද්දෙන් නිදහස් කර ඇත. බැංකු හරහා සිදුකරන මෙරටින් පිටත අයට ලබාදෙන සේවා මගින් උපයන ආදායමද බද්දෙන් නිදහස් කර ඇත. එසේම මාසික රුපියල් 10,000ක උපරිමයකට හෝ වාර්ෂිකව මිලියන 1.2ක උපරිමයකට යටත්ව පහත ගෙවීම් ආදායම් බදුවලින් අඩු කිරීමට ඉඩ දී තිබේ. වෛද්‍ය රක්ෂණ සහ සෞඛ්‍ය වියදම්, දේශීය අධ්‍යාපන වියදම්, නිවාස ණය පොලී ගෙවීම්, විශ්‍රාම යෝජනා ක්‍රමවල දායක මුදල්, සුරැකුම් මිලදී ගැනීමේ වියදම් ඒවා අතර වෙයි. මේ හැර තවත් බදු වෙනස්කම්ද සිදුකර ඇත.

මෙම බදු සංශෝධන රටේ සමස්ත ආර්ථිකයට සහ සාමාන්‍ය ජනතාවට බලපාන අන්දම පිළිබඳ කරුණු පැහැදිලි කරන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජිතපුර විමලරතන හිමි:

“බදු අය කිරීමෙන් සිදුකරන ක්‍රමවේද තුනක් තිබෙනවා. තිබෙන බදු ඒ මට්ටමෙන් රුකගැනීම, බදු වැඩිකරලා ආදායම ගැනීම සහ බදු මට්ටම අඩුකරලා ආදායම සෙවිල්ල ඒ ක්‍රම තුනයි. තිබෙන බදු මට්ටම වෙනසකින් තොරව එලෙසම තබාගත්තද රටේ ආර්ථිකය ඉදිරියට යනවා නම් එයින් යහපතක් සිදුවෙනවා. නිසි ලෙස බදු එකතු කරගෙන, වංචා දූෂණ අවම කරලා කාර්යක්ෂමව කටයුතු කරනවා නම් ලැබෙන ප්‍රතිලාභ විශාලයි. එසේම බදු වැඩිකරලා පරාසය පුළුල් කරලා ආදායම සොයනවා නම් එයින් බදු ගෙවන්නන් හිරිහැරයට ලක්වෙනවා. එය මල තලලා රොන් ගැනීමක්. මෙහිදී ජනතාව බදු නොගෙවා සිටීමට උත්සාහ කරනවා. කට්ටි පනිනවා. මෙය ප්‍රායෝගික වශයෙන් අසාර්ථක වනවා සේම දුෂ්කරද වෙනවා. බදු අනුපාත අඩුකර ආදායම වැඩිකර ගැනීම වැදගත්. අද ක්‍රියාත්මක කරන්නට යන්නේ එම ක්‍රමයයි. එහිදී ජනතාව බදු ගෙවීමට නම්‍යතාවක් දක්වනවා. බදු අඩු නිසා බදු ගෙවන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. මෙය “රේගන්ගේ ආර්ථික න්‍යාය” ලෙස හඳුන්වනවා. බදු අඩුකරන විට බදු පරාසය පුළුල් වී වැඩි ආදායමක් ලබනවා.

අද ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ ක්‍රමයට යාමටයි. මෙයින් ආර්ථික රෝදය කැරකීම වේගවත් වෙනවා. රටේ ආර්ථික වෘද්ධිය වැඩිවෙනවා. ඊළඟ වටයේ ආදායම වැඩිවෙනවා. ලොව බොහෝ දියුණු රටවල බදු මට්ටම අඩුයි. ප්‍රංශය ආසන්නයේ පිහිටා ඇති මොනාකෝ නමැති රටේ බදු අයකරන්නේම නැහැ. එහෙත් රටේ ආදායම යහපත්. බදු අඩුකරන විට රටේ ආයෝජන වැඩිවෙනවා. රැකියා වැඩිවෙනවා. දුප්පත්කම අඩුවෙනවා. ජනතාවට දියයුතු සහනාධාර අඩුවෙනවා.

පසුගිය ආණ්ඩුව කළේ බදු අඩු කිරීමෙන් තමන්ගේ හිතවතුන්ට සැලකීමක්. එය කෙටිකාලයකට පසු යළි වැඩිකළා. රටට බදු එන්නේ පුද්ගලික අංශයෙන්. ඒ නිසා බදු අඩුකර ඔවුන් දිරිමත් කළයුතුයි. අත්‍යාවශ්‍ය දේට බදු අඩුකර පරිබාහිර දේවලට බදු වැඩිකළ යුතු වෙනවා. නීතිමය සංශෝධන ඇතිකළ යුතුයි.

දැනට දී ඇති බදු සහන යහපත් නමුත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම වැදගත්. එසේ නොවී අතරමඟ නැවතුණොත් හෝ වෙනත් අතකට ගියොත් ආණ්ඩුව බලාපොරොත්තු වන අපේක්ෂා ඉටු නොවන්න පුළුවන්. ඒ ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි.”

මේ පිළිබඳව අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍යංශයේ විශ්‍රාමික මූල්‍ය අධ්‍යක්ෂ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ හිටපු සාමාජික උපාලි අත්තනායක:

ආණ්ඩුව දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම මගින් අපේක්ෂා කරන්නේ පසුගිය දිනවල ජනාධිපතිවරයා ඡන්ද පොරොන්දු ඉටු කරමින් සිදුකළ ඇතැම් බදු සංශෝධන නීත්‍යානුකූල කිරීමටයි. එහෙත් මගේ අදහස නම් ඡන්ද පොරොන්දු සඳහා ආර්ථික සහන කඩිමුඩියේ ලබාදීම එතරම් ප්‍රඥාගෝචර නොවන බවයි. එයට හේතුව මෙම බදු සංශෝධන පිළිබඳ අදාළ අංශ සමග පුළුල් සංවාදයක් ඇති නොවීමයි. මෙම බදු සංශෝධන පිළිබඳ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යංශය සහ වෙනත් අංශ දැනුවත් කර අවබෝධයක් ලබාගෙන නැහැ. පැනවීමෙන් පසුව තමා ඒ පිළිබඳ සමාලෝචනය කරන්න යන්නේ.

රටක බදු පැනවීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. බදු සරලවීම, ජනතාවට තේරුම් ගැනීමට පහසුවීම මෙන්ම ඒවා ලබාගැනීමට පහසු විය යුතු වෙනවා. විශේෂයෙන් බදු රාජ්‍ය ආදායමට බලපාන හැටි ඉතිරි කිරීම්වලට හා ආයෝජනවලට බලපාන අන්දම, රටේ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමට දක්වන දායකත්වය, අපේ විදේශ ආදායමට සිදුකෙරෙන අන්දම ආදිය පිළිබඳ සලකා බැලිය යුතුයි. එහෙම නැතිව කඩිමුඩියේ දේශපාලන වුවමනාකම් අනුව සිදුකරන සංශෝධනවලින් සිදුවන යහපත අවමයි. එම ක්‍රම අස්ථාවර වෙනවා.

අද වනවිට අපේ ගෙවුම් ශේෂ හිඟය පුළුල්වෙලා තියෙනවා. ආනයනය අමෙරිකානු ඩොලර් බිලියන 21ක් වනවිට අපනයන ආදායම බිලියන 11 පමණයි. පිටරට සිටින ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4-5 පමණ වන අතර වෙනත් සේවාවලින් බිලියන 2 පමණ ආදායමක් ලැබෙනවා. මෙම වෙනස පියවාගත නොහැකි වුවහොත් ගෙවුම්ශේෂ හිඟය පුළුල් වීමෙන් එය පියවා ගන්නට තවත් ණය ගන්න සිදුවෙනවා. ආදායම් යෝජනා පදනම් විය යුත්තේ මෙම අවශ්‍යතා අනුවයි. එසේ නැතිනම් ඒවා ප්‍රායෝගික නැහැ.

නව බදු අඩුවැඩි කරන විට මෙම ආදායම් වෙනස ඇස්තමේන්තු කළේ නැහැ. බදු ආදායම වෙනස්වන අයුරු බැලුවේ නැහැ. මෙයට හොඳම උදාහරණය තමා බදු අඩුකළත් එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබීම. මේ පිළිබඳ ප්‍රතිපත්ති තැනීමක් හෝ ප්‍රතිඵල අත්හදා බැලීමට කාලයක් හෝ දුන්නේ නැහැ. කඩිමුඩියේ තමා කළේ. ඒ නිසා ජනතාවට ලැබිය යුතු වාසිය වෙන අය උදුරා ගත්තා.

පුද්ගල බදු සහනය වන ලක්ෂ 5 සැමදෙනාටම දීම ගැලපෙනවාද? පවුලක සාමාජිකයන්ගේ ප්‍රමාණය ගැන නොසලකා පොදුවේ ලක්ෂ 5ක සහනය ප්‍රමාණවත්ද? යන්න සොයාබලා නැහැ. ව්‍යවසායකයන්ට දෙන බදු සහනයත් එසේමයි. එය සැමට පොදුවේ ප්‍රකාශ කිරීම නිසා තත්ත්වය ව්‍යාකූල විය හැකියි. මූලික බදු ප්‍රතිපත්තිවලට ගැලපෙනවාද යන්න සොයාබැලිය යුතු වෙනවා. මෙච්චර කල් කරගෙන ආ බදු ක්‍රමයේ වෙනසක් හෝ අයවැය ප්‍රතිපත්තිවල වෙනසක් මෙම අලුත් ආණ්ඩුව තුළින් තවම පෙනෙන්නට නැති බව කිව යුතුයි.
යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00