2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

රා කර්මාන්තය වැටුණු හේතු

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 645

හොරට සල්ලි අච්චු ගැසීම වැනි අධික ලාභාදායි ව්‍යාපාරයකි කෘත්‍රීම රා නිෂ්පාදනය. මේ පසුපස ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් සිටින බවද වාර්තා වන අතර එබැවින් ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ද අරුම නැත. සම්ප්‍රදායිකව පැවති රා මැදීමේ කර්මාන්තය කෙසේ වෙතත් මේ වනවිට අලුත්ගම, බේරුවල, මග්ගොන, පයාගල, කළුතර ප්‍රදේශවල සිට වෙරළ ආශ්‍රිත බිම් තීරයේ මාරවිල හා හලාවත ප්‍රදේශ ආශ්‍රිතවද බරපතළ ලෙස කෘත්‍රීම රා ජාවාරම සිදුවෙමින් පවතී. ඇමෝනියා, යීස්ට් වැනි රසායනික ද්‍රව්‍ය සමඟ සීනි රා මංඩි හා භාවිතයෙන් ඉවත ලන අර්තාපල් වැනි ද්‍රව්‍ය යොදා කෘත්‍රීම රා නිෂ්පාදනය කරන බව වාර්තා වේ.

දුප්පත් හා නූගත් ජනතාව අතර මෙම කෘත්‍රීම රා සැබෑ රා ලෙසින් අලෙවි කරන්නේ ජාවාරම් කරුවන්ගේ අතමිට සරු කරමිනි. එබැවින් පංතියේ ජනතාව අතර ජනප්‍රිය රා පානය කෘත්‍රීම හා විෂ රසායන සහිත බව ඔවුන් දන්නේ නැත. මෙවැනි ජාවාරම් සිදුවුවද වරෙක ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන හිමිකරුවකු ප්‍රකාශ කොට තිබුණේ මත්පැන් ප්‍රචාරණය පිළිබඳ පවතින නීති රෙගුලාසි නිසා නිෂ්පාදනවල තත්ත්වය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම දුෂ්කර කාර්යක් බවය.

සම්ප්‍රාදායික රා කර්මාන්තය සඳහා ලංකාවේ වැවෙන තාල වර්ගයට අයත් පොල්, තල්, හා කිතුල් ශාක භාවිතයට ගනු ලැබේ. ලංකාවේ මහ රා නිෂ්පාදනයේදී මැදීම, ප්‍රවාහනය ගබඩා කිරීම සැපයීම හා අලෙවිය ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ගසකින් ලබා ගන්නා රා පළමුව එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ලබාදෙයි. අනතුරුව අභිමත ගමනාන්තය වෙත එනම් ස්කාගාරය ඉන් පසුව අරක්කු නිෂ්පාදනය කිරීම හා අලෙවිය අදියර කිහිපයක් මගින් සිදු කෙරේ. ගෘහස්ථ මීරා හා වාණිජ රා වශයෙන් රා මැදීමේ බලපත්‍ර නිකුත් කරයි. ගෘහස්ථ රා, සඳහා උපරිමය ගස් දහයකි. වාණිජ බලපත්‍ර සඳහා ගස්වල සීමාවක් නැත. මේ නීති ප්‍රතිපාදන යටතේ තල් හා පොල් ගස් පමණක් මැදිය හැකිය.

මාළු පොල් සඳහා ඇති ඉල්ලුමත් රාවලින් ලැබෙන ලාභයට වඩා එය ඵලදායි නිසාත් ඉඩම් කට්ටි කිරීම නිසා වගාවන් අඩු වීමත් පොල්තෙල්වලට ඇති ඉල්ලුම සහ රා මැදීම සඳහා පුහුණු ශ්‍රමිකයන් හිඟවීමත් කර්මාන්තය පවත්වාගෙන යාමට ඇති ගැටලුය. රා මැදීම සඳහා තිබෙන අනාරක්ෂිත බවත් වෘත්තියට ආකර්ෂණීය බවක් නොවීමත් කාලගුණික හේතු මත ඵලදාව අඩු වීමත් කම්කරු වැටුප් වැඩි නොවීම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රා මදින්නෝ ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටිති. මේ අතර කර්මාන්තයේ සිදුවන නීති විරෝධී ක්‍රියා ඉහළය. නිත්‍යනුකූල රා වලට කෘත්‍රීම රා කලවම් කිරීමත් රා ආසවනය කිරීමත් අරක්කු නිෂ්පාදනය කිරීමත් සිදුවේ.

මේ ආකාරයට රා නිෂ්පාදනය අඩුවීම නිසා අරක්කු නිපදවීම ද අඩුය. දැනට ලංකාවේ අරක්කු නිෂ්පාදන ආයතන 23ක් පැවතිය ද ප්‍රමාණවත් රා නිෂ්පාදනයක් සිදුවන්නේ නැත. ඊට පෙර කී හේතු සියල්ල බලපා තිබේ. වර්තමාන තරුණ පරම්පරාව පාරම්පරික රා කර්මාන්තයට යොමු වීමත් දකින්නට නැත. අතීතයේ සිට ඉන්දීය සම්භවයක් සහිත පිරිස් විසින් ලංකාවේ රා මැදීම සිදුකළ බවත් ඔවුන් පාරම්පරිකව කර්මාන්ත සිදුකළ බවත් ඉතිහාසය සාක්ෂි දරයි. කෙසේ නමුත් ලංකාවේ තිස් වසරක් පුරා පැවති යුද තත්ත්වය තුළ මෙම ඉන්දීය සම්භවය ඇති දමිළ පිරිස් බහුතරයක් යළිත් ඉන්දියාව බලා පිටත්ව ඇති බවට වාර්තා පවතී. මේ ආකාරයට දැනට ලංකාවේ සෙසු කම්කරු වෘත්තින් සඳහා ශ්‍රමිකයකන් හිඟ බව දකින්නට ලැබේ. සියල්ල අභිබවා ත්‍රීරෝද රියදුරු රැකියාව පමණක් ඉහළගොස් තිබෙන බවට වාර්තා පන්වයි.

පාරම්පරික රා මැදීමේ කර්මාන්තය සඳහා සුදුසු ශ්‍රමිකයන්ගේ හිඟය පැවතියේ වසර ගණනාවක සිටය. මෙය රා නිෂ්පාදනයට හා අරක්කු නිෂ්පාදනයට බරපතළ ගැටළුවක්ව පවතී. රා සහ අරක්කු නිෂ්පාදන ආයතන හිමිකරුවන් පෙන්වා දෙන්නේ රා මදින්නන් සඳහා විශාල හිඟයක් ඇති බවය. ඊට තරුණ ශ්‍රම බලකාය එක් නොවන පසුබිමක සාම්ප්‍රදායක කර්මාන්ත හා කුඩා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයද මුහුණ දී සිටින්නේ ගැටලුකාරී තත්ත්වයකටය.

මේ හේතු මත තත්ත්වය සමස්තයකට පත්කරලීම සඳහා අලුතින් ශ්‍රම බලකායක් බඳවා ගත යුතුව ඇත. ඒ සඳහා නවකයන් වේ නම් ඔවුනට කාර්මික දැනුම හා පුහුණුව ලබාදිය යුතුය. එසේ නොවේනම් ඉන්දියාවේ සිටින පුහුණු ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගතයුතුව ඇතැයි මෙම ව්‍යාපාර හිමිකරුවෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ කම්කරුවන් ගෙනවා ගැනීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලන යෝජනාවක් සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබි ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. එසේ ශ්‍රමිකයන් ගෙන්වා ගන්නේ නම් ආගමන විගමන නීති හා සුරාබදු නීති මත පදනම්ව ප්‍රබල සීමා මායිම් යටතේ ගෙන්වීම සිදුකළ යුතු බව ඔහුගේ අදහසය.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව දැනට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙන අතර එම අමාත්‍යාංශය හරහා රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා කොට ඇතැයිද දැනගන්නට තිබේ. ඒ අනුව අදාළ සීමාව පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹීමට නියමිතය.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00