2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

විචාර කලාව අයාලේ සරසවි ඇදුරන් බුදි

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 177

මහින්ද කුමාර දළුපොත

නවකතා, යොවුන් නවකතා හතරක් ලියූ මහින්ද කුමාර දළුපොතගේ අලි ඩෝලේ නවකතාව 2019 රජත පුස්තක (යොවුන් නවකතා) සම්මානය සහ ගොඩගේ සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය. ජනශ්‍රැති පර් යේෂණ කෘති රාශියක් ද ලියා ඇති මහින්ද දළුපොතගේ අලුත්ම නවකතාව බඹසර යහන සුරස ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. මෙම කෘතිය හඳුන්වාදීමේ කතිකාව මාර්තු 3 දින සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

බඹසර යහනේ දී ඔබ අපෙන් වැළලී ගිය විවාහ සිරිතක් ගැන කතා කරනවා. ඒ ගැන කිව්වොත්?

බඹසර යහන කියන්නේ සාම්ප්‍රදායික ගොවි සමාජයේ පැවැති විවාහ සම්මතයක්. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ දී අප රටෙන් ගිලිහී ගියා. අධිරාජ්‍යවාදීන් තමයි එතෙක් අපේ රටේ පැවැති සංවිධිත සමාජ පද්ධතිය කුලවලට බෙදලා ඒවා උසස් - පහත් ලෙස නම්කරලා සමාජ මානවීය, සොබාදහම් හා ජන උරැම සම්ප්‍රදායන් සියල්ල බිඳ දැම්මේ. එහි එක් ඵලයක් ලෙස රිදී නැන්දා හා හේනේ මාමා පරපුරත් ඔවුන්ගේ සේවාකාර ශිල්ප ශ්‍රේණියත් විනාශ කළා. 

ඔබ මේ ගැන අධ්‍යයනයක් කළාද?

ඔව්. එහිදී මටම පුදුම හිතුණා හේනේ මාමලා රෙදි නැන්දලා සතුව නොවේද අපේ රටේ ලිංගික දැනුම් පද්ධතිය සමාජගත වුණේ කියලා. බඹසර යහන ගැනත් ඔවුන් මට කියා දුන්නා. ඒ අනුව විවාහයට පෙර මනමාලයා හා මනමාලිය හාහාපුරා කියා හමුවන පළමු රුයේ අඹුසැමියන් ලෙස ඇසුරැ කිරීම තහංචියක්. ඔවුන් කුමර - කුමරි බඹසර රුකිය යුතුයි. නිකම් නමට නෙමෙයි ඇත්තටම. ඒ බව රිදී නැන්දා හා හේනේ මාමා විමසනවා. ඔවුන්ගේ ඇඟලුම් හා බඹසර කුටියේ සියලු වස්ත්‍ර පරීක්ෂා කරනවා. එයට අවශ්‍ය සංයමය මල්වර වියේ සිට පුරැදු කරන්නේ හේනේ මාමා - රිදී නැන්දා ජන සංස්කෘතිය මගින්.

මේ පොතෙන් ඔබ පුරාණ සිංහල ලිංගික සංස්කෘතියක් ගැන පවසනවා?

ඔව්. බ්‍රිතාන්‍යය යටත්විජිත අවධියේ අපේ රටේ ප්‍රචලිතව තිබූ ලිංගික දැනුම, ඒ හා බැඳුණු ජන සංස්කෘතිය, ලිංගික ඉවසීම හා වින්දනය ගැන වැටහීමක් ලැබේවි මේ පොතෙන්. ඒ එක්කම අද දවසේ හතේ අපේ පොත කියන ලියවිල්ලක් අල්ලාගෙන මොට්ට තර්ක ඉදිරිපත් කරන අඥානවන්තයන්ට පස්ස පැත්තෙන් හිනාවෙන්න පුළුවන්, උන්දලා එදා සිටියා නම්. හේනේ මාමලා - රිදී නැන්දලා උල තියයි, සුද්දෝ අපට පුරැදු කරපු වික්ටෝරියානු සුචරිතවාදය තවදුරටත් කරේ තියාගෙන යන්නට මේ වලිකන්නේ කියලා.

සයිබර් සමාජයේ ජීවත්වෙන බොහෝ දෙනා අපේ පැරණි සිරිත් විරිත් හෙළා දකිනවා. ඒවා ගොඩේ බයියන්ගේ වැඩ කියලා නිරීක්ෂණය කරනවා. එය ඔබ දකින්නේ කෙසේද?

ස්මාර්ට් ෆෝන්, කොම්පියුටර් වැහි වැහැලා තිබෙන සයිබර් සමාජය හරියට හයිබ්‍රිඩ් ප්‍රභේද වගේ. යළි පැළවෙන්නේ නෑ. ඒවායේ ඇට තිබුණත් පෙනීමට පමණයි, ප්‍රරෝහණ ශක්තියක් නෑ. අපේ සිරිත - විරිත මගින් සමාජයට එක් කරන්නේ සාම්ප්‍රදායික බීජ ශක්තියයි. සයිබර් සමාජය හයිබ්‍රිඩ් නම් කෝ යළි ප්‍රරෝහණය වීමේ හැකියාව. අද ලෝකයේ සයිබර් සමාජය කථිකා කරන්නේ ආදි මානවයාගේ සිට ගොඩනැගූ සිරිත - විරිත සතු වටිනාකම වැළඳ නොගැනීමේ ආදීනව ගැනයි.

මේ පොතේ දී ඔබ කතා කරන්නේ රාත්‍රියේ සිට එළිවන තෙක් අලුත විවාපත් යුවළකගේ මධුසමයේ දිනයක් ගැන. මේ කතා ආකෘතිය ගැන කිව්වොත්?

ඕනෑම නවකතාවක ආකෘතිය තීන්දු කරන්නේ ඒ නවකතාවේ අනුභූතිය මගින්. බඹසර යහන පුරා එක් රුයක්, රුයේ යාම තුන ගෙවෙනතුරු පමණයි වලංගු. ඒත් ඒ බඹසර යහනට ගොඩවන මනමාලයා හා මනමාලිය යනු ලෝක දෙකක්. ඔවුන් මල්වර වියේ සිට බඹසර යහන වෙත ආ සියල්ලත්, හේනේ මාමා හා රිදී නැන්දාගේ සම්මුතීන් ගත්විට එක් රුයක යාම තුන ජීවිතයේ දිගුවක්. 

අනෙක අපේ රටේ මේ වන විට බිහිවන නවකතා ප්‍රවණතාව වන්නේ සීමාසහිත අච්චු කිහිපයකට වට්ටෝරැගත කතා ලියා බැස්සවීමයි. නව ආකෘති, නව තේමා සේම පර් යේෂණාත්මක අධ්‍යයනයන් මගින් තහවුරැ කරගත හැකි නවකතා මූලාශ්‍ර වෙත යොමුවෙන්නේ නැති තරම්. කොටින්ම කියනවා නම් සම්මාන පිට සම්මාන උළෙල තිබ්බත් නූතන සිංහල නවකතාව ගැන පාඨකයා ඉන්නේ අතෘප්තියෙන්. මම වෑයම් කළේ ඒ අතෘප්තිසහගත පාඨකයාට අලුත් බලාපොරොත්තුවක් ඇතිකරවීමටයි.

පොතේ තේමාව රතිමදයෙන් තරුණ සිත් දෙකක් මේච්චල් කර ගැනීම ගැනයි. නමුත් අද වැඩිපුර විකිණෙනවා යැයි කියන නවකතා රතිමදය අවුළුවන බවයි පෙනෙන්නේ?

එය ඇත්තක්. බඹසර යහන සූදානම් කරන්නේ මනමාලයාට හා මනමාලියට ලිංගික ඉවසීම ප්‍රායෝගික ලෙස හුරැකරවන්නයි. ඒ නිසයි ජීවිතයේ තරුණ වියේ, සම්මතයක් ලෙස යොවුන් විය මෙවුම්දම් තහංචි ලෙස පිළිගන්නේ. එයින් බොරැ විකාර සුචරිතවාදී පරපුරක් ගොඩනැගුවේ නෑ. යොවුන් විය මෙවුන්දම් තහංචි කළේ අනවශ්‍ය ගැබ්ගැනීම වළකාගන්නයි. අද මේ සම්මතයන් අභිබවා ඕනෑතරම් ප්‍රායෝගික ක්‍රම ශිල්ප වෙළෙඳපොළට ඇවිත්. රතිමදය ඉවසීම වෙනුවට රතිය හොඳ වෙළෙඳපොළක් කරගෙන. කාමර කුලියට දෙන තැන් සිට ඔබ කිව්වා වාගේ නවකතා රචකයා දක්වාම හම්බ කරගෙන කන්න පටන්ගෙන තියෙන්නේ.

තවත් පිරිසක් කැපීපෙනීමට තම නවකතා පොත්වලට ලිංගිකත්වය රිංගවන බව අපට පේනවා. ඔබට ඒවා නිරීක්ෂණය වුණාද?

ලිංගිකත්වය රහ තේමාවක් බව ඇත්ත. හැබැයි ඒකේ රහ හරියට දැනෙන්නේ සංයමයක් ඇති විටයි. මෙයට හොඳම නිදසුනක් අපේ ජනකවිය. කොයිතරම් ලිංගික කාරණා රහට සංයමයෙන් කලාත්මකව කියනවද? නවකතාකරැවා කලාත්මකව ලිංගික චර්යා ඉදිරිපත් කරන විටයි පාඨකයාට එය හොඳින් විඳගැනීමට හැකිවෙන්නේ. ඔබ කියන ඔය බලෙන් ලිංගික චර්යා ලියන නවකතාකරැවන් අපට ඉන්නේ කිහිප දෙනයි. ඒක ඒ අයගේ බොරැ මාකටිං වැඩක්.

අද බිහිවන හොඳ පොත් ඇගයීමේ විචාර කලාවක් නැතිවීම පාඩුවක් නේද?

මෙය මෙරට විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශ කුහක ලෙස සමාජගත කළ උවදුරක්. සාහිත්‍යය අතීතයට පමණක් හෝ උගන්වන ගුරැවරයා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන කාලයේ කියවූ පොත්වලට විතරක් සීමාවෙන්නේ නෑ. අපේ රටේ සිංහල අධ්‍යයනාංශ කීයක් තියෙනවද? කෝ එකක්වත් නූතන නවකතාව ගැන සංවාදයක්, විචාරයක් තියෙනවද? නෑ. අද බිහිවන හොඳ නවකතාව, කෙටිකතාව, කවිය, යොවුන් සාහිත්‍ය අගයන, ඒවාට විචාර, නිබන්ධ ලියවෙන සමාජයක් නැතිව කොහේවත් නැති පිට සමාජයකින් සාහිත්‍යය විචාර ඇගයීමක් බලාපොරොත්තු වීම මෝඩකමක්.

තවත් පිරිසක් කියනවා අද තිබෙන්නේ පිට කසාගැනීමේ විචාරයක් කියලා. ඒ ගැන අදහස කුමක්ද?

සහතික ඇත්ත. පිට විතරක් නෙමෙයි, තට්ටමත් කහනවා. ඒ තරමට පිරිහුණු කල්ලිවාද අද තියෙන්නේ. හොඳ පොත් පාඨකයන් අතරට ගෙන යෑම සඳහා යහපත් විචාර කලාව අත්‍යවශ්‍ය අංගයක්. අඩුම තරමේ සම්මාන ලැබෙන පොතකටවත් හොඳ විචාරක ඇගයුමක් අපේ රටේ නෑ. මා මේ වගකීම මෙරට විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශ වෙතටයි පවරන්නේ. ඔවුන් බුදි නම් මේ අවනඩුව කාට කියම්ද?

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00