2020 පෙබරවාරි 20 වන බ්‍රහස්පතින්දා

දවසින් දවස වනසන මහා කාබන් ගබඩාව - කඩොලාන

 2020 පෙබරවාරි 20 වන බ්‍රහස්පතින්දා, ප.ව. 04:27 993

මීගමුවේ තිල්ලඩිතෝට්ටම් දූපතේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට කඩොලාන විනාශ කිරීමේ සිද්ධිය නිසා රට වටේම කඩොලාන ගැන උනන්දුව හදිසියේ ඇති වී තිබේ. ඒ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කඩොලාන පරිසර පද්ධති 13ක් අලුතින් රක්ෂිත ලෙස නම් කර තිබෙන බවයි.

සාමාන්‍යයෙන් අපේ රටේ වනාන්තර විනාශ වීම වැළැක්වීමට භෞතික ආරක්ෂාව වගේම නීතිමය ආරක්ෂාවත් අවශ්‍යයි. වනාන්තර රක්ෂිත ලෙස ගැසට් කිරීමෙන් නීතිමය ආරක්ෂාව ලබාගන්නවා. භෞතික ආරක්ෂාව ලබාදෙන්නේ වනාන්තර මැන ඒ වටා සීමා කණු සිටුවීමෙන්. එවිට ජනතාව දැනගන්නවා මේ භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බව.* අප සමඟ එලෙස පැවසුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක (භූවිද්‍යා තොරතුරු හා වන සංගණන) තිලක් ප්‍රේමකාන්තය.

ශ්‍රී ලංකාවේ කඩොලාන වනගහනය තවත් හෙක්ටයාර් 10,000කින් වැඩි කිරීමේ ව්‍යාපෘතිය යටතේ අලුතින් රක්ෂිත ප්‍රදේශ 13ක් නම් කළ බව වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ සඳහන් කළේය.

මෙසේ අලුතින් නම් කළ කඩොලාන රක්ෂිතවල විශාලත්වය හෙක්ටයාර් 415කි. පසුගිය 2019 වර්ෂයේ ද වන රක්ෂිත 95ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ අතර ඉන් රක්ෂිත 78ක්ම කඩොලාන සහිත මුහුදුබඩ ප්‍රදේශයි. මින් අපට පෙනෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ෙද තම කටයුතු නිසි පරිදි ඉටු කරන බවයි. එම සංරක්ෂණ කටයුතුවලට ප්‍රධාන බාධකය එල්ලවන්නේ හැම වැඩකටම අත දමමින් ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට දත කන දේශපාලනඥයන් නිසා බව පසුගිය දා මීගමුව කඩොලාන සිද්ධියෙන් ලෝකයම දැනගත්තේය.

අලුතින් නම් කළ කඩොලාන රක්ෂිත වන්නේ, වඩ්කාවඩි දූව (මීගමුව කලපුව), රැජන දූව (මීගමුව කලපුව), සල්පෙදාරැ (ත්‍රිකුණාමලය), සින්නකරච්චි (ත්‍රිකුණාමලය), කැපුන්ගොඩ (මීගමුව කලපුව), ඔල්ලුකුඩා (පුත්තලම), නෙරිය (පුත්තලම), නගුල්එළිය (පුත්තලම), මුතු පන්තිය (හලාවත), කරුක්කාපනේ (පුත්තලම) වේ.

ඉදිරියටත් වැදගත් කඩොලාන ප්‍රදේශ මැන රක්ෂිත ලෙස නම් කිරීමට නියමිත බවද වන සංරක්ෂක තිලක් ප්‍රේමකාන්ත පැවසුවේය. ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 15699ක් බව නූතන මැනීම්වලින් හෙළි වී තිබෙන බවද ඔහු අපට කීවේය.

කඩොලාන සලකන්නේ පරිසරයට ඉතා වැදගත් තෙත් බිම් වශයෙනි. ලෝකයේ නිවර්තන හා උප නිවර්තන රටවල පමණක් පැතිරී තිබෙන මෙම වනාන්තරවල විශාලත්වය වර්ග කි. මී. 137800ක් වේ. ඒවා ලෝකයේ රටවල් 118ක පැතිර තිබේ. ලෝකයේ සෑම කඩොලාන ශාක විශේෂ 6කින්ම එකක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂ 14ක් ද (ජලයේ වැවෙන) ඒ ආශ්‍රිත කඩොලාන විශේෂ 12ක් ද පවතී. අධික ජනගහනයක් වාසය කරන වෙරළබඩ ප්‍රදේශවල පැතිරීම නිසා මේවාට සිදුවන මානව බලපෑම ඉතා විශාලය. කඩොලාන ආරක්ෂා කිරීම සඳහා 1991දී කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරැණි. කොළඹ දකුණු ප්‍රදේශයේ සංරක්ෂණ කළමනාකරණ සැලසුම සඳහා කඩොලාන බිම් 9ක් ඇතුළත් කර ගැනුණි.

මහ කඩොල්, කඩොල්, රතමිල්ල, මහමල් කඩොල්, හීන් මල් කඩොල්, පුංකණ්ඩ (සිරි කඩොල්), සුදු කිරළ, කැරන්කොකු, බෑරිය, දියදිග, ඇටුන, ගිං පොල්, මට්ටකඩොල්, තෙල, දියමුදිල්ල, ගොන් කඳුරු, දියපර කඩොලාන ශාක අතරින් කිහිපයකි. මේ අතරින් දුලබම ශාකය වන්නේ රතු දත්ත ලේඛනයට ද ඇතුළත් කර ඇති රතමිල්ල ශාකයයි. Lumintza Littoria යන නාමයෙන් හැඳින්වෙන එම ශාකය දැකගත හැක්කේ මාදු ගඟ අභය භූමියේ පානමුල්ල ඕවලාන දූපත් ගම්මානයේය. රතමිල්ල ශාක 48ක් පමණක් එහි පවතින බවත් ඒවා අවදානම් තත්ත්වයක පවතින බවත් ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන අංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන්ය. ඒ අතර Ceriops Decantra ශාකය ද දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර වාර්තා වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් පමණි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට කඩොලාන ආරක්ෂා කරගැනීම ගැන හැඟීමක් නැත. ඔවුන්ට කිරළ යනු පලතුරක් ලබාදෙන ශාකයකි. ගිං පොල් කලකට පෙර සෙවිලි කිරීමට යොදාගත්තේය. කැරන්කොකු එළවළුවක් ලෙස භාවිතා කළේය. දර හා දැව සඳහා කඩොලාන වනාන්තර ඉවත් කිරීම, කඩොලාන ශාක කපා එම ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම හෝ වෙනත් කටයුතුවලට භාවිතය දැකගත හැකි සුලබ කරැණකි. විශේෂයෙන් ඉඩම්වල වටිනාකම වැඩි ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව කලපුව හා මුතුරාජවෙල ආශ්‍රිත කඩොලාන මේ නිසා තර්ජනයට ලක්ව තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ද කඩොලාන විනාශය නිතර සිදුවේ.

ලෝක දේශගුණික විපර්යාස හමුවේ කඩොලානවල වැදගත්කම ලෝකයටම දැනෙන්නට පටන්ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝකයේ බොහෝ රටවල් කඩොලාන ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කර තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන යටතේ කඩොලාන සංරක්ෂණ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකය. ලෝක කඩොලාන සිතියම 2010දී එළිදැක්වුණි. ඉන්දුනීසියාවේදී තිරසාර කඩොලාන පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීය.
කඩොලාන වනාන්තරවලින් ලැබෙන පාරිසරික වාසි ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මෙසේ පවසයි.

භූමිය ආරක්ෂා වීම - සුළි සුළං, මුහුදු රළ, සුනාමි වැනි තත්ත්වයන්ගෙන් වෙරළ ඛාදනය අවම වේ.

ධීවර කර්මාන්තය පහසු කරවයි - මත්ස්‍යයන් කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව බහුලව ගැවසෙන අතර ධීවරයන්ට උන් අල්ලා ගැනීමට අවස්ථාව ලැබේ.

විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගැනේ - කිරළවලින් ඖෂධීය පානයක් තනා ගැනේ. කිරළ වැල්වලින් කිරළ මූඩි තනයි.

කාබන් ගබඩා කර ගැනේ - සාමාන්‍ය ශාකවලට වඩා වැඩි ප්‍රමාණයක් කාබන් ගබඩා කර ගැනීමේ හැකියාව පවතී.

කඩොලාන හෙක්ටයාරයක කාබන් ටොන් 1023ක් ගබඩා කර ගන්නා බව ඉන්දුනීසියාවේ 2017දී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ සමුළු වාර්තාවේ සඳහන්ය. එය සාමාන්‍ය ගසක කාබන් ගබඩා කිරීම හැකියාවට වඩා පස් ගුණයකි.
ලංකාවේ වැඩියෙන්ම කඩොලාන පැතිර තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේය. ඒවා විශාලත්වයෙන් හෙක්ටයාර් 2197කි. පුත්තලම, කල්පිටිය, හලාවත ආදී ප්‍රදේශ රාශියක කඩොලාන පැවතුණ ද ඉස්සන් කොටු සහ ලුණු ලේවා සඳහා ඒවා විශාල වශයෙන් විනාශ වී තිබේ.

මෙවැනි හේතු නිසා කඩොලාන ශාක විනාශ වෙමින් පවතී. 2012 වර්ෂයේදී වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක අතරට කඩොලාන ශාක 8ක් ද ඇතුළත් කෙරිණි. මල් කඩොල්, මහ කඩොල්, හීන් කඩොල්, බෑරිය, මණ්ඩ, ගිං පොල්, තෙල එම ශාකයි. දශක කිහිපයකට පෙර මීගමුව හැමිල්ටන් ඇළ දෙපස තිබුණු ගිං පොල් හා කිරළ ගස් අද අපට දැකගත හැක්කේ කලාතුරකිනි. මීගමුව කලපුවේ ද බොහෝ කඩොලාන ශාකවල ගහණය අඩු වී තිබේ.

 කුසුම්සිරි විජයවර්ධන