මෝස්තරයක් මෙන්ම නව ප්‍රවණතාවයක් බවට පත්ව තිබෙන ෆේස්බුක් සාද මුහුණුපොතෙන් හඳුනාගන්නා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂිත වෙරළ උද්‍යාන, හෝටල් සහ සංචාරක නිකේතන ආශ්‍රිතව පැවැත්වෙයි. එවැනි සාදවලට එරෙහිව පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනුණේ මත්පෙති සහ මත්ද්‍රව්‍ය ද සමඟිනි. මත්පෙති සහ විෂ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරමින් පවත්වන ෆේස්බුක් සාද වෙරළ ආශ්‍රිත සංචාරක කලාපවල සහ අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලද පවත්වන බවට අනාවරණය වී තිබේ.
මෙතෙක් අගනුවර හෝ බස්නාහිර සිට දකුණ දක්වා වෙරළ තීරය ආශ්‍රිත ස්ථානවලට සීමාවී තිබුණු ෆේස්බුක් සාද මේ වන විට රටේ අභ්‍යන්තර නගරවලට ද ව්‍යාප්ත වෙමින් පවතී. මෙලෙස සීගිරිය, අවිස්සාවේල්ල, ගිරිතලේ වැනි ස්ථානයන්හි පැවැත්වූ ෆේස්බුක් සාද කිහිපයක් වැටලීමෙන් අනතුරුව එවැනි තවත් සාදයක් මහනුවර නගර මධ්‍යයේ දී වැටලීමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව පැවැත්වුණු බව කියන මෙකී සාදය වැටලීමේ විශේෂත්වය වන්නේ මහනුවර නගරයේ පවත්වන්නට සූදානම් වූ ප්‍රථම ෆේස්බුක් සාදය සාර්ථකව වැටලීමට හැකි වීමයි. දෙසීයකට අධික තරුණ තරුණියන් පිරිසක් රැඳී සිටි ෆේස්බුක් සාදය අතරතුර විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
ජනවාරි මස අවසන් වෙත්ම ෆේස්බුක් හෙවත් මුහුණුපොතේ සාදයක් සංවිධානය කෙරෙන බවට පළවන දැන්වීමක් සංසරණය වෙමින් පැවතිණි. ඒ වන විටත් මුහුණුපොත භාවිත කරමින් සිටි සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත තරැණ නිලධාරියෙකි. ඔහුගේ සැකයට බඳුන් වූ ෆේස්බුක් දැන්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු විමසන අතරතුර අදාළ කරුණ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට ද ඔහු පියවර ගෙන තිබිණි. ඒ අනුව මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න සහ සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ ඇතුළු නිලධාරීහු අවධානයෙන් පසු වූහ.
මේ අතර පැවැත්වීමට නියමිත ෆේස්බුක් සාදයේ සංවිධායකයකු එම පිටුව හරහා සම්බන්ධ කර ගැනීමට සමත් වූ නිලධාරියෙක් විය. ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කරගත් එම සංවිධායකයන් සෑහීමකට පත්වන ආකාරයට කතාබහ සමඟ ආශ්‍රය පවත්වාගෙන යන්නට ද ඔහු සමත් විය. ඒ අනුව සාදයට සහභාගි වීම සඳහා අවසර ලබාගෙන ඊට එකඟතාව පළකර සිටි අතර සාදය සූදානම්ව තිබුණේ මහනුවර නගර මධ්‍යයේ පිහිටි තරු තුනේ හෝටල් පරිශ්‍රයකය.
මුහුණුපොත හරහා පළවූ එකඟතාව අනුව තරුණයන් දෙදෙනකුට මේ සඳහා සහභාගි වීමේ අවස්ථාව හිමිව තිබිණි. පසුගිය 15 වැනිදා සන්ධ්‍යාවේ අදාළ හෝටල් පරිශ්‍රයේ වෙන්කෙරුණු විශේෂිත ඉඩ පහසුකම් සහිත ශාලාවකට යාමට අදාළ තරුණයන්ට හැකියාව ලැබී තිබුණේ මේ අනුවය. එතැන සිදුවන කිසිදු දෙයක් හෝ ශබ්දයක් පිටට නොඇසෙන සේ සීල් කරන ලද පරිශ්‍රය දැඩි ආරක්ෂිතය. එම හෝටල් සංකීර්ණයේ මෙම කොටස “බ්ලැක්අවුට්” ලෙස නම්කර තිබිණි.
අදාළ ස්ථානයට ඇතුළු වීම සඳහා එක් අයකුගෙන් ඇතුළු වීමේ ගාස්තුව රුපියල් 2500 කි. ඊට අදාළ ප්‍රවේශ පත්‍රය ලෙස ලැබී තිබුණේ රබර් අත් පළඳනාවකි. හෝරාවක් දෙකක් පමණ ගතවන විට සාදය සඳහා ඒකරාශී වූ පිරිස සියය ද ඉක්මවා ගොසිනි. පිරිස හා ගත කළ කාලය තුළ සාදය පැවති ශාලාවෙහි මත්ද්‍රව්‍ය හා මත්පැන් අලෙවි කෙරෙන බවට කරුණු අවබෝධ කර ගැනීමට අදාල නිලධාරීහු සමත් වූහ. ඒ අනුව මොවුන් දෙදෙනා සාදයේ සංවිධානයකයන් හමුවී ඒ පිළිබඳව විමසා ඇත. එවිට ඔවුන් පවසා ඇත්තේ මේ මොහොතේ “මෝෆින්” ලබාදිය හැකි බවය.
හිතවතුන් දෙදෙනාගෙන් එක් අයකු මෝෆින් ටැබ්ලට් මිලට ගැනීමට සූදානම් වෙද්දී අනෙක් මිතුරා දුරකතන ඇමැතුමක් ලබාගත්තා පමණි. ඒ වන විටත් හෝටල් භූමියෙහි රැඳී සිටි සුරාබදු නිලධාරී කණ්ඩායම වැටලීමට සූදානමින් “බ්ලැන්අවුට්” පරිශ්‍රයට ගොස් තිබුණේ ඒ මොහොතේ යොදවා තිබූ විශේෂිත ආරක්ෂක රැකවල් ද බිඳ දමමිනි.
වැටලීම සිදුවන අවස්ථාව වන විටත් දෙතුන් සියයක පමණ තරුණ තරුණියන් පිරිසක් රැඳී සිටින්නට ඇති බව සුරාබදු මෙහෙයුම් නිලධාරීන්ගේ අදහසය. අධික ශබ්දයක් පැවති ඩීජේ සංගීතය ක්ෂණිකව නතර කෙරැණේ ඇස් නිලංකාර වන ආලෝක ධාරා පවා එසැණින් අවහිර කරමිනි. ඒ සමඟ අණකිරීම හමුවේ රැස්ව සිටි පිරිස අවනත කර ගැනීමට අදාළ නිලධාරීහු සමත් වූහ.
විශේෂිත ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කරමින් සියලු දෙනා පරීක්ෂාවට ලක්කෙරුණු අතර බහුතරයක්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි අය වූහ. එම පරිශ්‍රයේ තැන තැන බිම දමා තිබූ මත්ද්‍රව්‍ය ඇසුරුම් සහ මත්පෙති මෙන්ම වෙනත් මත්ද්‍රව්‍යද එතැන සිටි සමහරුන් වැටලීමට බියෙන් විසිකර දැමූ ඒවාය. ඒ අතර පුද්ගලයන් 18 දෙනකු කොටුවී තිබුණේ අයිස්, හෆීස්, හෙරොයින්, ස්ටෑම්ප් සහ මෝෆින් මත්පෙති තබාගෙන සිටියදීය.
මත්පෙති අලෙවි කළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුදිනම මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි. මෙහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සංවිධායකවරයාට දැනටමත් නඩුවක් පවතී. ඒ මීට ඉහත අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය ළඟ තබා සිටියදී පොලීසියට කොටුවීමෙනි.
අත්අඩංගුවට පත් සෙසු සැකකරුවෝ ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කොළඹ, ගාල්ල අතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මේ අතර ඇතැමුන් එකම පවුලේ සහෝදරයන් වන බවද හඳුනාගෙන ඇත. පුරුද්දට මෙන් ෆේස්බුක් සාද සඳහා සහභාගි වන පිරිස් ද ඒ අතර වූහ. ඇතැම් අය තරුණියන් කැටුව පැමිණ සිටි අතර වැටලීම අවස්ථාවේ සමහර තරුණයන් පැන ගොස් තිබුණේ තරුණියන් ද එහි අතහැර දමමිනි. ඇතැම් තරුණියන් පෙම්වතා සමඟ පැමිණ තිබුණේ සිදුවන ජාවාරම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිවය.
මෙහි සංවිධායකවරයා මීට ඉහත දී නකල්ස් කඳුවැටිය ආසන්නයේ හෝටලයක මෙවැනි සාදයක් පැවැත්වූ බවද අනාවරණය වී තිබේ. මෙම සාදයේ ආරක්ෂක කටයුතු සඳහා සහභාගි වී සිටි තරුණයන් පිළිබඳ තොරතුරු විමසීමේදී ඔවුන් කිහිප දෙනකු විශ්වවිද්‍යාල සිසුන් බවත් මෙවැනි ජාවාරමක් සිදුවන බව නොදැන දෛනික ආදායමක් ලබාගැනීම සඳහා පැමිණ සිටි බවත් ප්‍රකාශ කර ඇත.
මෙම සාදය සඳහා විදේශික තරුණ පිරිස් මෙන්ම විදේශගතව සිට මෙරටට පැමිණි තරුණ තරුණියන් ද සහභාගි වී සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ. සුරාබදු නිලධාරීන් පවසන්නේ මෙහි රැඳී සිටි බහුතරය උගත් පිරිස වන බවය. වැටලීම අවස්ථාවේ දී වුවද ආවේගශීලී නොවී විනයගරුකව හැසිරුණු බව එම නිලධාරීහු පැවසූහ. මේ ආකාරයට සමාජ මාධ්‍ය මගින් සාද සංවිධානය කර එම සාද අතරතුර මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සූදානමින් පසුවන ජාවාරමේ නිරත ව්‍යාපාරික ජාලයක් බිහිවී සිටින බවද එම නිලධාරීහු පෙන්වා දෙති. සංචාරක කලාපවල සහ කොළඹ නගරයේ ක්‍රියාත්මක මෙවැනි සංදර්ශන රට අභ්‍යන්තරයට ගෙන ගොස් තරුණ තරුණියන් වෙත මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කරවීම ඔවුන්ගේ අරමුණ බව සුරාබදු නිලධාරීන්ගේ අදහසය.
එබැවින් මෙකී සිදුවීම් පිළිබඳ තරුණ තරුණියන් මෙන්ම ඔවුන්ගේ මව්පියන් ද අවධානයෙන් පසුවිය යුතුය. එවැනි සැකසහිත යමක් වේ නම් ආරක්ෂක අංශ දැනුම්වත් කිරීම ද යුතුකමකි. එහෙත් මෙම වැටලීමේදී කොටු වූ පිරිස අතර පොලිස් නිලධාරියකු සහ බන්ධනාගාර නිලධාරියකුද සිටි බවද පැවසේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම, සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක යන මහත්වරැන්ගේ අධීක්ෂණයෙන් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු වැටලීමට දායක වූහ.
► සමන්ත ප්‍රදීප් විල්තෙර