2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ඡන්දෙට බහින නළු නිළියෝ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

තවත් පාර්ලිමේන්තු මැතිවරණ සටනකට සූදානම් වෙමින් පවතී. දිනෙන් දින ළංවෙන මේ උණුසුමත් සමඟ අප රටේ කලාකරුවන් කලාකාරියන් පිරිසක් මෙවරද මේ ඡන්ද සටනට සූදානම් වන බව ආරංචි පැතිරෙයි. මිනිසුන්ගේ ආදරය, ජනප්‍රියත්වය මෙන්ම ගෞරවය දිනාගත් කලාකරුවන් කලාකාරියන් බොහෝමයක් වරින්වර දියවන්නා ඡන්ද සටනට එක්වූ අතර ඒ බොහෝදෙනා පාර්ලිමේන්තුව නියෝජනය කර පාර්ලිමේන්තු අසුන්වල හිඳගත්හ. මිනිසුන්ගේ ආදරයත් සමඟ මනාප ලබාගනිමින් ඡන්ද සටනට එක්වුණු පිරිසෙන් පසුකාලයේදී ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වෙමින් දියවන්නාවෙන් ඉවතට විසිවුණු කලාකාමී දේශපාලනඥයෝ ද වෙති.

ශ්‍රී ලංකාවේ පමණක් ලෝකයේ බොහෝ රටවල ද වෘත්තීය කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වුණු අවස්ථාවන් ඕනෑතරම්ය. ඒ අතරින් බොහෝ චරිත ඉතා ක්‍රියාශීලී දේශපාලන ජීවිතයක් ගතකර ඇති අතර ඉහළ පුටු කරා ළඟාවන්නට තරම් ඔවුහු කලාකරුවන් ලෙසින් අත්පත් කරගත් ගෞරවය දේශපාලන ජීවිතයේදී ද රැකගෙන සිටියහ.

ඒ අතරේ ප්‍රධාන චරිතයක් ලෙසින් 1991 වසරේ සිට කිහිප අවස්ථාවකදීම ඉන්දියාවේ තමිල්නාඩු මහඇමති ධූරය ඉසුලූ ජයලිලිතා ජයරාම් හැඳින්විය හැක. දමිළ සිනමාවේ රංගන ශිල්පිනියක වූ ජයලලිතා සිනමාවේදී සිනමා ලෝලීන්ගේ ආදරය ජනප්‍රියත්වය ඉහළින්ම දිනාගත් කලාකාරියක් වූ අතර පසුකාලයේදී දේශපාලන ජීවිතයේදී ඡන්දදායකයින්ගේ ගෞරවය දිනාගනිමින් තමිල්නාඩුවේ මහඇමැතිනිය ලෙස කටයුතු කළාය. ජයලලිතා ජයරාම්ගෙන් නොනැවතුණ දේශපාලන පුටු පෙරළිය හමුවේ ඉන්දියානු සිනමාවේ ඉතා ජනප්‍රිය චරිත ද පසුකාලයේදී දේශපාලනයට අවතීර්ණ වූහ. ඒ අතරින් රැජිණි කාන්ත්, අම්තාබ් භච්චන්, සංජය දත්, සුරේෂ් ඔබරෝයි, විනෝද් ඛන්නා කිහිප දෙනෙකි. ඔවුහු ඉන්දියානු සිනමාවේ මෙන්ම දේශපාලන වේදිකාවේදීත් ජනප්‍රිය තරු වූහ.

ඉන්දියාවේ පමණක් නොව බොහෝ රටවල්වලද සිනමාවේ තරු දේශපාලනයට අවතීර්ණ විම සිදුවෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට වීරයකු වන ආර්නෝල්ඩ් ශ්වසනේගර් රඟපෑ කමාන්ඩෝ, රනින් මෑන් චිත්‍රපට ඔස්සේ ක්‍රියාදාම වීරයකු ලෙසින් නම් දිනා සිටියේය. ඔහු පසුව දේශපාලනයට පිවිස කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරය ද ඉසිලීය.

කෙසේ වුවද එවැනි චරිතයන් දේශපාලනයට අවතීර්ණ වෙද්දී ශ්‍රී ලංකාවේ ද සිනමාවේදිකාවේ චරිත නිරූපණ කළ චරිත පසුකාලයේදී දේශපාලන වේදිකාවට ගොඩවැදුණහ. එයින් ප්‍රධාන චරිත දෙකක් වූයේ. ඒ සිනමාවේ සක්විති වූ ගාමිණි ෆොන්සේකා හා සිනමාවේ පෙම්වතා, සිහින කුමාරයා වූ විජය කුමාරණතුංගයන්ය. සිනමාවේ මෙන්ම දේශපාලනයේදී ද මොවුන්ට බොහෝ දෙනකුගේ ආදරය ගෞරවය හිමිවුණි.

ඊට අමතරව ජීවන් කුමාරණතුංග, මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, අනර්කලී ආකර්ෂා, උපේක්ෂා ස්වර්ණමාලි (පබා), රන්ජන් රාමනායක වැනි කලාකරුවන්ද, කලාකාරියන්ද දේශපාලනයට එක්වුණු සිනමා රංගන ශිල්පින් අතර වූහ. පුංචි තිරයෙන් එක් චරිතයකින්ම ජනප්‍රියත්වයට පත්වී පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජනප්‍රියම චරිතය වන්නේ උපේක්ෂා ස්වර්ණමාලීය. ස්වාධීන රෑපවාහිනි සේවයේ විකාශනය වුණු “පබා” ටෙලිනාට්‍යයෙන් ඉතා ජනප්‍රිය වුණු උපේක්ෂා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාප සංඛ්‍යාවකින් තේරී පත්වන්නේද “පබා” නමින් ඡන්ද පත්‍රිකා බෙදා හරිමිනි. සිනමාවේ “රන් සමනළයා” වුණු රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට තේරීපත්වී වසර කිහිපයක්ම නියෝජනය කළද වර්තමානයේදී වැලිකඩ බණ්ධනාගාරයේ පසුවන්නේ තමන් නියෝජනය කළ කලා පරපුරේ බොහෝ දෙනකුගේ පෞද්ගලික ජීවිත පටිගත කළ හඬපට එළියට දැමූ කලාකරුවකු ලෙසින් කලා සහෝදර සහෝදරියන්ගේ දෝෂාරෝපණයට ලක්වෙමිනි. මිනිසුන්ගේ ආදරය, ගෞරවය දිනාගත් කලාකරැවන් අද මිනිසුන්ගේ දෝෂාරෝපණයට ලක්වන අවස්ථාවන් මේ අතරේ ඕනෑතරම්ය.

මෙවරද පාර්ලිමේන්තු සටනට අලුත් මුහුණු කිහිපයක් එක්ව සිටින බව පෙනේ. ඔවුන්ගේ ඇතැමුන් මනාප නොඉල්ලුව ද පසුගිය මැතිවරණයක් පුරාවට තම දේශපාලන අදහස් ඉදිරිපත් කරමින් අනාගත දේශපාලනයට පිවිසීමේ යම් ඉඟි පළකළත් ඇතැමුන් දේශපාලනයට මෙවර එකතුවෙන්නේ කා තුළත් විමතියක් ඇති කරමිනි.

අනුෂා දමයන්ති පිළිබඳව ද බොහෝ දෙනා බොහෝ අදහස් පළකළහ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ සමයේ සිට එතුමාගේ ජයග්‍රහණයක් වෙනුවෙන් කැපවුණු කලාකාරියන් අතරේ අනුෂා දමයන්ති මුල්පෙළේ සිටියාය. බොහෝ දේශපාලන වේදිකාවල ඇය කථා පැවැත්වූවාය.

“මම ඡන්දය ඉල්ලන්න තාම තීරණය කරලා නැහැ. නමුත් බොහෝ දෙනා මම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ඉල්ලනවා කියලා හිතනවා. මම 2005 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි වුණා. ඒ වෙනුවෙන් මා කළ කැපවීම පිළිබඳව බොහෝ දෙනා දැනගෙන හිටියා. ඒ කාලය පුරාවටම ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, නගරසභා යන සියලු මැතිවරණයකදී මේ පක්ෂයේ ජයග්‍රහණයන් වෙනුවෙන් මම දේශපාලන වේදිකාවලට ගියා. මේ හඬ නැගීම නිසාම මෙවර “ඡන්දය ඉල්ලනවා” කියලා බොහෝ දෙනා සිතනවා. නමුත් තවමත් මම ඒ තීරණය ගෙන නැහැ. කලාකරුවන් දේශපාලනයට එකතු වෙන්නේ අද ඊයේ ඉඳන් නෙමේ. ලෝක ඉතිහාසය තුළදීත් කලාකරුවා දේශපාලනය කරලා තියෙනවා. ඒ වගේම කලාකරුවන් ඉහළ පුටුවලට ගිහින් තියෙනවා. කලාකරුවන්, ක්‍රීඩකයන් දේශපාලනය තුළ ඉතා ප්‍රබල චරිත බවට පත්වෙලා තියෙනවා. මුළු රටක් ආදරය කරපු විජය කුමාරණතුංගයන් මේ රටේ ප්‍රබල දේශපාලන චරිතයක් වුණා. ඒ වගේ බොහෝ කලාකරුවන් මේ දේශපාලන වේදිකාවේ ඉඳලා තියෙනවා. ඒ නිසා මෙවරත් පාර්ලිමේන්තුවට අලුත් පිරිසක් එක්වන්නට උත්සාහ දැරීමත් අරුම දෙයක් නොවේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කලාකරුවා කියන එකෙන් මිදුණු විට අපි හැමෝම මේ රටේ පුරවැසියෝ. ඒ නිසා දේශපාලනය ගැන කතා කිරීම හෝ දේශපාලන කිරීමේ පුරවැසි අයිතිය අපිට තියෙනවා. මම හිතන දෙයක් තමයි කලාකරුවා බොහෝ සංවේදී කෙනෙක්. කලාකරුවන්ට මේ රටේ විවිධාකාර මිනිස්සුන් මුණගැහෙනවා. ඔවුන් අපිට සමීපයි. ඒ නිසා කලාකරුවා දේශපාලනයට සම්බන්ධ වීමේ වරදක් නැහැ.”

අනූෂා දමයන්ති දේශයට පැවසූවා.

උද්දික ප්‍රේමරත්න ද ලාංකික සිනමාවේ සිටිනා දක්ෂ කලාකරුවෙකි. සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයකු ලෙසින් කලාවට අවතීර්ණ වුණු උද්දික පසුකාලයේදී ගායකයකුගේ භූමිකාව පසෙකලා දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස සිනමාවට සම්බන්ධ විය. වසර කිහිපයක් තුළදී උද්දික සම්මානවලින් පිදුම් ලබන්නට තරම් ඒ හැකියාව වැඩිදියුණු වූ අතර ජනතා සම්මානයද නිරන්තරයෙන් ඔහුට ලැබුණි.

“මම දේශපාලනයට සම්බන්ධ වෙන කතාව ඇත්ත. මේක මම එකපාරටම ගත්තු තීරණයක්. මම මීට පෙර ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවල නියැලුණු කෙනෙක් නොවේ. මම කවදාවත් ලංකාවේ දේශපාලනය ක්ෂේත්‍රය නියෝජනය කළේ නැහැ. හැබැයි මේ රටේ සිදුවන දේවල් දිහා ඇස්කන් පියාගෙන අහක බලාගෙන හිටියෙත් නැහැ. මේ රටේ සිදුවන දිහා අපි බලාගෙන හිටියා. මෑත කාලේදී රටේ සිදුවුණු සිදුවීම් එක්ක මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව යම් දෙයක් කළ යුතුයැයි මට හිතුණා. ඒ වෙනුවෙන් පළමු වතාවට මම මගේ දේශපාලන අදහස් වත්මන් ජනපතිතුමා සම්බන්ධව ඉදිරිපත් කළා. එතුමාව පත්කර ගතයුතු යැයි මම මගේ දේශපාලන මතය ප්‍රසිද්ධියේ එවර ඉදිරිපත් කළා. ඒ හරහා මම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට තරග වැදීමට අවස්ථාවක් ලැබුණා. මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනුයි. ඒ මගේ ගම රටට වගේම පාර්ලිමේන්තුවට මනුස්සකම් හඳුනන මිනිස්සුන් පිරිසක් අවශ්‍ය වෙනවා කියලා මම විශ්වාස කරනවා. මට මාව විශ්වාසයි. මේ රට වෙනුවෙන් මේ රටේ මිනිසුන් වෙනුවෙන් මම කළහැකි දේ උපරිමයෙන් කරනවා.”

උද්දික ප්‍රේමරත්නද තම දේශපාලන අවතීර්ණ වීම ගැන දේශයට එසේ අදහස් දැක්වීය.

ගයාන් වික්‍රමතිලක “ජීවිතේ ලස්සනයි” ටෙලිනාට්‍යයේ “ලොකු අයියා”ගේ චරිතයෙන් බොහෝ දෙනකු හඳුනාගනිමින් කලාවේ දිගු ගමනක් ආ තවත් කලාකරැවෙකි. රංගනයෙන් පමණක් නොව පසුකාලයේදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් කලාවේ විවිධ ඉසව්වල රුදෙන ගයාන් ද මෙවර දියවන්නාවේ සටනට එක්ව සිටී.

“මමත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව ඉන්නවා. මේ මෑත කාලයේදී මගේ හිතේ ඇතිවුණු සිතුවිල්ලක් නෙමේ. අපේ අම්මලා, අප්පච්චිලාගේ අයත් දේශපාලනය කරපු මිනිස්සු. කාලයක ඉඳන් මමත් දේශපාලනයට අවතීර්ණ වෙන්න කැමැත්තක් ඇතිවුණා. අපේ පවුල්වලත් දේශපාලන කරපු අය ඉඳලා තියෙන නිසා. හිතේ ඇතිවුණු ඒ කැමැත්තට අවශ්‍ය කාලය එනතුරු මම මගේ වැඩකටයුතු කරගෙන ගියා. මේකට ආරාධනාවක් මට ලැබුණා. මීට පෙර මට කිහිප දෙනකුගෙන්ම ආරාධනා ලැබුණා. නමුත් මට වැඩ කරන්නට පහසු මගේ ප්‍රතිපත්තිවලට වැඩ කරන්න පහසු ජාතික නිදහස් පෙරමුණේ ද ආරාධනා මට ලැබුණා. විමල් වීරවංශ මහතාගෙන් මට ආරාධනා ලැබුණේ. අපි කරන්න ආ දේවල්, අධ්‍යාපන සුදුසුකම් සහ අපේ වටපිටාව ගැනත් හිතලා මම ඒ ආරාධනාව පිළිගත්තා. මම මාතලේ දිස්ත්‍රික්කයෙන් දේශපාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. සමහරු “කලාකරුවන්ට දේශපාලනය අකපැයි” කියලා කියනවා. නිර්මල බුදුදහම බුදුන්වහන්සේ දේශනා කළාට පසුව බොහෝ නිකායන්වලට බෙදුණා. එතරම් ගැඹුරු දර්ශනයක් වුණත් නිකායන්වලට බෙදුණානම් කලාකරැවන්ට විවිධ අර්ථකථන ලබාදීම අරුමයක් නෙමේ. කලාකරුවා දේශපාලනය හොඳින්ම කළ අවස්ථා ඕනෑතරම් තියෙනවා. කලාකරැවාට පමණක් නොව වෙනත් වෘත්තීන්වල නියැලෙන අයටත් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙන්නට අයිතියක් තිබෙනවා. මේ සියලු දෙනාටම දේශපාලන මතවාදයක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න අයිතියක් කලාකරුවන්ටත් ලබලා දීලා තියෙනවා. ඒ නිසා කලාකරැවන් දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව වැරැද්දක් මම දකින්නේ නැහැ.” ගයාන් වික්‍රමතිලක දේශයට පැවසීය.

රජිත හිරාන් පුංචි තිරයේත් සිනමාවේත් සිටිනා තවත් ජනප්‍රිය කලාකරුවෙකි. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “තට්ටු ගෙවල්” ටෙලිනාට්‍යයේ “පිංපොං” චරිතයෙන් ඉතා ජනප්‍රිය වුණු රජිත වර්තමානයේදී බොහෝ දෙනා හඳුනන්නේ “පිංපොං” යන නමිනි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රජිත හිරාන්ද කලාකරුවන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත්ව සිටින බවට රාවයක් පැතිරුණා.

“වර්තමාන පාර්ලිමේන්තු මහ මැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒකට හේතුව වන්නේ මම නියෝජනය කරන “පොහොට්ටුව” කියන රට දිනවන පක්ෂය ඇතුළේ දැනටත් රට දිනවිය හැකි පිරිසක් දේශපාලනයේ නියැලෙනවා. අද වනවිට පොහොට්ටුව ඇතුලේ වැඩක් කරපු සහ කරන පිරිසක් ඉන්න නිසා. ඒ නිසා දැනට මගේ අවශ්‍යතාවය ඒ තුළ නැහැ. නමුත් අනාගතයේදී දේශපාලනයට පිවිසෙන්න පුළුවන්. මම ජීවිතේ එකම තැන ජීවත් වෙන මිනිහෙක් නොවේ. ඒ නිසා අනාගතයේදී දේශපාලනයට පිවිසෙන්නට පුළුවන්. නමුත් හෙට දවස ගැන තීරණය කරන්න මම දන්නේ නැහැ. යම් දවසක දේශපාලනය කරන්න පටන් ගත්තු දවසට මම රංගනයෙන් ඈත් වෙනවා.” යැයි රාජිත පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින ඕෂධී හේමාමද්දුම ද තවත් කලාකාරී දේශපාලන අපේක්ෂිකාවකි. “2010 වසරේ සිට මම ක්‍රියාකාරි දේශපාලනයට සම්බන්ධ හිටපු කෙනෙක්. 2015 වසරේ සිට මම එහි කැපීපෙනෙන චරිතයක් වුණා. එතැන් සිට මේ රට වෙනුවෙන් පක්ෂ ක්‍රියාකාරිනියක් විදිහට වැඩ කටයුතු කළා. මෙවර මේ ඡන්දය ඉල්ලන්න හෝ ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ මම ජනප්‍රිය චරිතයක්වත්, රංගන ශිල්පිණියක් හින්දාවත් නෙමේ. පසුකාලය තුළදී පක්ෂය තුළ දේශපාලනය කරලා මම හොඳ දේශපාලන ක්‍රියාකාරිනියක් වුණා. ඒ නිසයි මට මේ අවස්ථාව ලැබුණේ. මේතාක් පක්ෂය ඇතුළේ සිටම මම යම් වැඩ කොටසක් කළා. ඒ හරහා මේ රටට සේවයක් කරන්නට මට පුළුවන් බව මම විශ්වාස කරනවා.”

ඕෂධී තම දේශපාලනයට පිවිසීම පිළිබඳට දේශට අදහස් පළ කළාය.

කෙසේ වුවද තවත් කිහිප දෙනෙක් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන්නට සූදානමින් සිටිති. බොහෝ දෙනා පිළිබඳව රටේ පුරවැසියන් තුළ ඇත්තේ එතරම් පැහැදීමක් නොවේ. කෙසේ වුවද කලාකරුවන් ලෙසින් මොවුන් ලබාගත් ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය ඉදිරි මැතිවරණයට ඉනිමඟක් වැනිය.

දිශානි ජයමාලි කරුණාරත්න