2020 මාර්තු 07 වන සෙනසුරාදා

සිරගත ජීවිතයේ හැකියාව කැන්වසයට ගෙනා සිපිරී රූ

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 180

“සිරකරුවෝ මනුෂ්‍යයෝය...”
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයේ සටහන් කර ඇත්තේ එලෙසය. ජීවිතයේ කළ කිසියම් වරදකට සිරගතව සිටින සිටිනා බොහෝ සිරකරුවන් තුළ අපූරු හැකියාවක් ඇත. ඇතැමුන් බන්ධනාගාරයේ කුඩා සිරකුටියේ සිට ගී ගැයූහ. ඇතැමුන් කුඩා කොටසේ වුවද තාල තබමින් පාද තැබූහ. තවත් සමහරු කෑම කන්නට දෙන බත් පිගානට තට්ටු කරමින් තාල ඇල්ලූහ.

මේ සියලු දේ දැකබලා ගන්නට හැකියාව ලැබුණේ බන්ධනාගාරයේ සේවය නිරතව සිටිනා නිලධාරීන්ටය. ඔවුහු මේ සිරකරුවන්ගේ ප්‍රේක්ෂකයන් බවට පත්වූහ. බොහෝ බන්ධනාගාර තුළදී සිරකරුවන්ගේ දක්ෂතා නිදහසේ වාතලයට මුදා හැරියද ඒ දක්ෂතා සමාජගත කරන්නට සිරකුටියේ හෝ බන්ධනාගාරවලින් පිටතට ගෙන එන්නට ඔවුන්ට වේදිකාවක් තිබුණේ නැත. ඉඳහිට එවැනි අවස්ථාවක් උදාවුවද සිතට දැනෙන දේ වර්ණවත් කොට එය සිත්තමක් සේ ඉදිරිපත් කර සිත්තරයෙකු ලෙස සමාජ ගතවන්නට මේ රැඳවියන්ට අවකාශ නොලැබුණි.

හිතට දැනෙන සිතුවිලි ඔවුහු අඟුරු කැබැල්ලකින්, ගඩොල් කැබැල්ලකින් සිර කුටියේ බිත්තිවල ඇන්ඳාහ. ඇතැමුන් වැලි පොළොවේ ඉරි ඇන්ඳෝය. නමුත් ඒ සියල්ල එක් නිමේෂයකින් මැකී ගියේය.

පසුගියදාක මේ සිරකුටිවල සිරගතව සිටින සිත්තරුන්ට අපූරු අවස්ථාවක් උදාවුණි. බන්ධනාගාරගතව සිටිනා රුඳවියන් පනස් දෙනකුගේ චිත්‍ර රැගත් චිත්‍ර ප්‍රදර්ශනයක් “සිපිරි රූ” නමින් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. සිරකරුවකුට තමන්ට සිතුණු අදහස් චිත්‍රයක් තුළින් හුවා දක්වන්නට අවස්ථාව ලැබුණි.

“බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්ම වන්නේ බන්ධනාගාරගතවන රැඳවියන් යහපත් මිනිස්සු ලෙස පුනරුත්ථාපනය කොට නැවත ඔවුන්ව සමාජගත කිරීමයි. පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියේදී වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා. බන්ධනාගාරය තුළ සංස්කෘතික, ක්‍රීඩා, සුබසාධන, ආගමික, අධ්‍යාත්මික සහ වෘත්තීය පුහුණුව වැනි වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මේ අතරින් වැරදි කරපු අය කලාව තුළින් නිවැරදි පුද්ගලයන් බවට පත්කරන්නට හැකිබව අපි තේරුම් ගත්තා. ඒ අනුව බන්ධනාගාරය ඇතුළත මේ කලා කටයුතු වැඩි වශයෙන් කෙරෙනවා.” යැයි සහකාර බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන) ජයන්ත ආදාසූරිය මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව චිත්‍ර ප්‍රදර්ශනයක් සමාජගත කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. ඒ අනුව “සිපිරි රූ” චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කෙරුණි. මේ සඳහා දිවයින පුරා පිහිටා ඇති බන්ධනාගාර සියල්ලේම චිත්‍ර පිළිබඳව හැකියාවක් තිබෙන සිරකරුවන් ප්‍රථමයෙන්ම තෝරා ගැනිණි. මේ සඳහා සියලුම බන්ධනාගාරවල නිලධාරින්ගෙන් උපරිම සහයෝගය සංවිධායක කමිටුවට ලැබුණි. ඔවුන් තමන් නියෝජනය කරන බන්ධනාගාරවල සිටිනා රැඳවියන්ගෙන් චිත්‍ර ඇඳීමට හැකි මෙන්ම කැමති සිරකරැවන්ට තමන් කැමති ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍රයක් අඳින්නට අවසර ලබාදුණි. ඇතැමුන් දිය සායම්වලින්ද, ඇතැමුන් පැන්සලකින් ද, පැස්ටල්වලින්ද තවත් සමහරු අඟුරු කැබැල්ලකින් ද තමන්ගේ හිතේ ඇඳි දෑ චිත්‍රයට නැඟුහ. ඒ සියලුම චිත්‍ර බන්ධනාගාර මූලස්ථානයට ගෙන්වා ගැනුණි.

ඉතා විශාල චිත්‍ර ප්‍රමාණයක් බන්ධනාගාර මූලස්ථානයට ලැබුණි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ කලාකාමී විද්වත් මඩුල්ලක් මෙම චිත්‍ර අධීක්ෂණය කළහ. ඉතා විශාල චිත්‍ර ප්‍රමාණයකින් චිත්‍ර සියයක් මුල්ම වටයට තෝරා ගැනිණ.

“මුල්ම වටයට තේරී පත්වුණු සිරකරුවන් සියදෙනා අපි වැලිකඩ බන්ධනාගාරයට ගෙනආවා. මුලදී ඒ සිරකරුවන්ගෙන් ඇතැමුන් බන්ධනාගාර මාරු කරනවාට ඒ තරම් කැමති වුණේ නැහැ. කෙසේ වුවත් අවසානයේදී ඒ සිරකරුවන් සිය දෙනාම වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආවා. වැලිකඩ බන්ධනාගාරයේදී මොවුන්ට මාස තුනක වැඩමුළුවක් අපි පැවැත්වූවා.” යැයි ජයන්ත ආදාසූරිය මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

“සිපිරි රූ” චිත්‍ර ප්‍රදර්ශනය දින කිහිපයක් ප්‍රදර්ශනය වුවද එය මාස කිහිපයක් තුළදී ගත් මහන්සියේ ප්‍රතිඵලයකි. එම වැඩමුළුව අවසානයේදී තමන්ට කැමති චිත්‍රයක් ඇඳීමට සිරකරුවන්ට අවස්ථාව ලැබුණි. එම ඇඳි චිත්‍රවලින් නැවතත් ඉතා දක්ෂ සිත්තම්කරුවන් පනස් දෙනකු තේරී පත්වුණි. එම පනස් දෙනාට නැවතත් මාසයක වැඩමුළුවක් පවත්වා වැඩි පුහුණුවක් ලබාදුණි.

අවසානයේදී එම රැඳවියන් පනස් දෙනාට ප්‍රදර්ශනය සඳහා තමන් කැමති මාතෘකාවක් යටතේ කැමති මාධ්‍යයක් උපයෝගි කර ගනිමින් චිත්‍රයක් අඳින්නට ඉඩහසර ලබාදුණි. ඔවුන් රිසිසේ තම සිතට නැගෙන සිතුවිලි දියසායම් ඔස්සේ තෙල් සායම් ඔස්සේ කැන්වසය මත සිත්තම් කළහ. අවසානයේදී සිර මැදිරියේ සිට ඇඳි ඔවුන්ගේ චිත්‍ර අපූරු ප්‍රදර්ශනයක් ඔස්සේ සමාජගත වුණි.

“අපූරු දක්ෂතා ඇති තරුණයන් මේ බන්ධනාගාරවෙල තාප්ප ඇතුළේ කොටුවෙලා ඉන්න බව සමාජයට කියන්නට අපිට ඕන වුණා. මේ අයගේ දක්ෂතා ඔබ හඳුනාගන්නයැයි අපි ඉල්ලා සිටිනවා. අද මේ තාප්ප හතරට කොටුවුණු සිරකරුවන් සියල්ලන්ම මීට පෙර මේ සමාජයේම ජීවත් වුණු මිනිස්සු, කුමක් හෝ වරදකින් ඔවුන්ට සිරකුටියක ඉන්නට සිදුවෙලා තියෙනවා. නිසි කාලය පැමිණි පසුව නැවතත් මේ සිරකරුවන් සමාජගතවුවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ සමාජය විසින්ම කොන්කරනු ලබනවා. මේ නිසාම නැවතත් ඔවුන්ට සමාජගතවන්නට හිත ඉඩ දෙන්නේ නැහැ. මේ සිරකරුවන්ට ළංව ඔවුන් සමඟ කතාබහ කරද්දී ඔවුන්ට කොයිතරම් දුරට සමාජගත වන්නට කැමැත්තක්, ආසාවක් තියෙනවා ද යන්න බන්ධනාගාර නිලධාරීන්ට තේරෙනවා. බොහෝ සිරකරුවන්ට බොහෝ දක්ෂතා තියෙනවා. අද මේ චිත්‍ර ඇඳලා තියෙන රැඳවියන්ට මේ සමාජයේ ජීවත් වෙද්දීත් මේ හැකියාව තිබුණා. නමුත් ඔවුන්ගේ ඒ හැකියාව කවුරැවත්ම හඳුනාගෙන තිබුණේ නැහැ. යම් ලෙසකින් මොවුන්ගේ ඒ හැකියාව සමාජයේ කවුරැන් හෝ හඳුනාගත්තා නම් අද මොවුන් බන්ධනාගාරයේ ඉන්නේ නැහැ.”

යැයි සහකාර බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන) ජයන්ත අදාසූරිය වැඩිදුරටත් දේශයට පැවසීය.

“සිපිරි රූ” ප්‍රදර්ශනයේ චිත්‍ර ඇඳි සිත්තරුන් පනස් දෙනාගෙන් මරණීය දඬුවමට ලක්වුණු සිරකරුවන් හය දෙනකු සිටිති. ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වුණු සිරකරුවන් සිටිති. අවුරුදු තිහ, හතළිහ සිර දඬුවමට යටත් වුණු සිරකරුවන් සිටිති. ඒ අතරේ අවුරුදු දෙකක් තුනක් වැනි කෙටිකාලීන දඬුවමට ලක්වුණු සිරකරුවෝද සිටිති. චිත්‍ර ප්‍රදර්ශනයේ චිත්‍ර තෝරාගනිද්දී දඬුවමේ තරාතිරම පිළිබඳව කිසිම විටක සොයා නොබැලූහ. ඒ සඳහා තෝරාගත් එකම සුදුසුකම වූයේ “හැකියාව” පමණි.

මෙම චිත්‍ර ශිල්පීන් අතර වයස අවුරුදු විසි පහත් හතළිහත් අතර වයසේ පසුවන තරුණ පිරිස් වැඩි වශයෙන් සිටිති. මෙම චිත්‍ර ඇඳි සිරකරුවන් පනස් දෙනා වැලිකඩ බන්ධනාගාරයේ එක කොටසක රඳවා ඔවුන්ට නිදහසේ චිත්‍ර ඇඳීමට ඉඩකඩ ලබාදුණි. මේ පිළිබඳව ඔවුන්ට තිබුණේ විශාල කැමැත්තකි. මේ නිසාම ඇතැම් සිරකරුවන් තම සිරකුටියකට කැන්වස් රාමුව ගෙනගොස් රෑ එළිවෙන තුරු චිත්‍ර නිදහසේ ඇන්ඳේය. මේ නිසා සිරකුටිය ඇතුළට හිස් කැන්වස් රෙද්ද ගෙනගිය සිරකරැවන් අවසානයේදී අපූරු සිතුවමක් කැන්වස් රෙද්දේ සිත්තම් කර තිබුණි. ඇතැමුන් භාවනාවක් කරන්නා සේ නොසෙල්මනේ පින්සල් පහරවල් කැන්වස් රෙද්දට එකතු කළහ.

පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති “සිපිරි රූ” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද මේ රැඳවියන් පනස් දෙනාට අවස්ථාව ලැබුණි. තමන්ගේ අතින් ඇඳි චිත්‍රය අවසානයේදී චිත්‍ර ප්‍රදර්ශනයකට ඉදිරිපත්ව ඇති අපූරුව දැකි ඒ සිරකරුවන්ගේ දෑස්වල සතුටු කඳුළු එක්කෙරුණි. බන්ධනාගාර ඇතුළත මාස හයක් පමණ මහන්සි වී ඇඳි මේ චිත්‍ර ප්‍රදර්ශනයේ සැබෑ අයිතිකරුවන් වන්නේ ද මොවුන්ය. ඒ සතුට ඔවුන් එකතු වී රසවින්දාහ. මේ ප්‍රදර්ශනය නැරඹූ මහජනතාවගෙන් ද විශාල යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණි.

දිශානි ජයමාලි කරුණාරත්න
    ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00