2020 මාර්තු 14 වන සෙනසුරාදා

තිස්ස නිහාල්ගේ සඳ කින්නරී

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 208
 
වර්ෂ 1992 දී කැලණිය සරසවියේ ශිෂ්‍යයකු වශයෙන් සිටියදී “කඳුළු පොකුණේ වැන්දඹුව කාව්‍ය කෘතිය රචනා කරමින් කාව්‍යකරණයට එළඹී තිස්ස නිහාල් වික්‍රමසිංහ ඉන් පසු සන්තාප නිවාඩුව, ද්‍රෝහියාගේ බිරිය සහ උදාතරී යන කවි පොත් පළ කළේය. ඔහුගේ නවතම කාව්‍ය කෘතිය සඳ කින්නරීය. වේගයෙන් ගලා යන, එලෙසම වේගයෙන් කවි පොත්ද එළිදැක්වෙන ලෝකයක තිස්ස නිහාල් ඉසිඹු ලබමින් තම කවි කෘතිය පාඨකයාට තිළිණ කර ඇති බව පෙනේ. ඔහු කවි පොතක් එළිදක්වන්නේ වර්ෂ අටකට පසුවය. පුවත්පත් කවි පිටුවලට ද නිතර නිර්මාණ සපයන තිස්සගේ කවිය පසුගිය කාලය තුළ ක්‍රමයෙන් පරිණත වෙමින් ඔහු මුලින් සිටි රුඩිකල් ආස්ථානය වෙනුවට උපේක්ෂා සහගතව ලෝකය දෙස බලන බවක් ගම්‍යමාන වේ. 
 
තිස්ස ලෝකය දෙස බලන්නේ ඩ්‍රෝන කැමරා කාචයක් ලෙසිනි. ඔහු පොළොවෙන් ඉහළට ගොස් මහ පොළොවේ හැල හැප්පෙන, ගහමරා ගන්නා, රණ්ඩු දබර වන සමාජය දෙස මානව භක්තියෙන් නෙත් යොමු කරයි. ඔහුගේ කාව්‍ය අත්දැකීම් විටෙක පුද්ගලබද්ධ සංවේදනා වේ. තවත් විටෙක සමාජ බද්ධ අත්දැකීම් වෙයි. ඔහු මේ සැමවිටම කවියකුගේ පරිණත ලක්ෂණ පළ කරමින් තම නිර්මාණ ඉදිරිපත් කරයි. සිව්පදය මෙන්ම නිසඳැස ද ඔහු එක ලෙස භාවිතා කරයි. මේ ඉහතාත්මය නම් පැදිපෙළේ අවසන් පද්‍යයයි.
 
එදා අප වෙන්ව දෙපසට වූ සැටියේ
නපුරු සීනයක් දුටුවාදෝ සැටියේ
කුඹුකෙ ළිඳත් වල්බිහි වී ගිය සැටියේ
කොක්මොට සිනාසෙයි තාමත් හිටි සැටියේ (15 පිට)
 
වර්තමාන අධිවේගී පාරිභෝජනවාදී සමාජයට එල්ල කළ කදිම උපහාසයක් මැද පාංතික කවියෙන් ගෙනේ. ගෙදර යන ගමන් ෆුඩ්සිටියෙන් ග්‍රෑම් 100 බැගින් එළවළු ගෙන බස් රියේ හිරවී යන, ණය වී ඉඩම් කෑල්ලක් ගත් තරුණ යුවළ දරු ගැබක් ඇතිවේදෝයි බියෙන් කල්ගත කරයි. 
 
“ධවල ඇත් පැටවෙක්
නැවතත් වම් ඇලයෙන්
ඇතුළුවේදැයි බියවී 
ආරක්ෂිතව හිඳිමු.* (68 පිට)
 
ත්‍රස්තවාදියකුගේ හෘදය සාකෂ්‍යය තුළින් ඔහු මිනිස් මනසේ යථාර්ථය හෙළිකරයි.
 
මිනිසුන්
සිය ගණන්
මරා දමන්න
බෝම්බ
ඇටෙව්වත්
බැලුම්බෝල
පුම්බන හැටි
බලා ඉන්න
මං හරි ආසයි (20 පිට)
 
අද දරදඬු ශිෂ්‍යයන් පාසල්වලින් නෙරපා හරිනු බහුලව දැකගත හැකිය. ඒත් පාසල් ඇත්තේ නරක ළමුන් හොඳ මඟට ගැනීමට නොවේදැයි කවියා ප්‍රශ්න කරයි. ඒ පාසලින් නෙරපූ ශිෂ්‍යයකු කී කවිය තුළිනි.
 
හොඳ ළමුන් සනසා
දැයට සෙත සලසා
සැරද විදුමව් වසර සනසා (30 පිට)
 
කවියා ප්‍රේමය හා වියෝව ඉතා ප්‍රබල කාව්‍යෙක්ති බවට පත් කරයි. “කිඳුරු වලප, සිපිරි දේවී, හීනයක් වගේ කාලයක්, දස්කොන් අදිකාරමගේ අවසන් සීපද, පමාවූ පෙම, අපි එවැනි කවි කිහිපයකි. 
 
කවියා සංක්ෂිප්ත කවිද මෙහි ඉදිරිපත් කරයි. එහෙත් ඔහු දිගු කවිවලදී දක්වන ප්‍රතිභාව සංක්ෂිප්ත කෘතිවලදී නොපෙන්වන බව පෙනේ. පැතුම, කුණකටුවකු දෂ්ට කළ විට සිව්හැවිරිදි දැරියක දුන් පිළිතුර එවැනි කවි දෙකකි. කවියා පෞද්ගලික අත්දැකීම් ද කවි බවට පත්කළත් සමහර කවිවල කාව්‍යෙක්ති ගුණය බැහැරවී ඇත. “ආන්යා ආ නිසා* එවැනි නිර්මාණයකි.
 
තිස්ස නිහාල් අද සයිබර් සමාජයේ රුල්ලට හසුවී ගසාගෙන යන අලුත් පරපුරට ආදර්ශ ගත හැකි කවියෙකි. ඔහු ඉතා සියුම්ව අත්දැකීම් ඇසුරෙන් කවි පද බඳී. භාෂා භාවිතය නිර්මාණාත්මකය. ඔහුගේ පරිකල්පන ශක්තිය ඉහළය.
 
පාඨක
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00