2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනාවට ගැස්සුණු මාර්කට්ටුව

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 60

පසුගිය සතියේ හිටිහැටියේම සුපර් මාකට් ඇතුළු වෙළෙඳපොළ මිනිසුන්ගෙන් පිරී ගියහ. ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකිවිය. මහ පාරත් වෙළෙඳපොළත් පසුගිය සතියේදී එකම ගාලගෝට්ටියක් බවට පත්විය. රටේ කිසිදු භාණ්ඩ හිඟයක් නැත. ඉන්ධන හිඟයක සේයාවක්වත් පෙනෙන්නට මානයේ නැත. එහෙත් සමාජ හැසිරීමෙන් පෙනී ගියේ දුර්භික්ෂයක් අත ළඟ බවය. මිනිසුන් බියෙන් තැතිගත් කල ජීවිත අවුල් කරගන්නා ආකාරය පසුගිය සතියෙන් පෙනිණි. වාසනාවකට මෙන් එය කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට සීමා විය. පසුගිය සතියේ ජනතාවගේ මේ අනවශ්‍ය කලබැගෑනියට හේතුව වූයේ සමාජ මාධ්‍ය හා කටකතා ඔස්සේ ව්‍යාප්ත වූ බොරු ආරංචි සමූහයකි. ඒවායින් කියැවුණේ කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය නිසා කඩ සාප්පු වසා දමන බවය.

හෘද රෝග, ශ්වසන රෝග, අධි රුධිර පීඩනය ආදියෙන් පීඩා විඳිමින් දිනපතා බෙහෙත් ලබාගන්නා විශාල පිරිසක් මේ සමාජයේ සිටිති. එවැනි බොහෝදෙනකු මාස ගණනකට අවශ්‍ය වන ඖෂධ එකවර ලබාගත්තේ ඖෂධ භීතිකාවක් පිළිබඳ කටකතා සමාජය තුළ පැතිරී ගොස් තිබූ බැවිනි. බොහෝදෙනකු අධික මුදලක් වැය කරමින් මාස ගණනකට අවශ්‍ය ඖෂධ මිලදී ගත්ත ද ඒවා ආරක්ෂා සහිතව තබාගත හැකි පහසුකම් බොහෝ දෙනකුට නැත. එබැවින් බලන කල සිදුවී ඇත්තේ නාස්තියක් පමණි. සමාජය කිසිදු විමසීමකින් තොරව ඉබාගාතේ හැසිරීම නිසා මුළු රටම ගිනි කන්දක් බවට පත්වීමට පුළුවන.

රටෙහි වෙළෙඳපොළ හැසිරවීමේ නිල බලයක් රජයට ඇත. කඩ සාප්පු සහ ඔසු සල් වසා දමන්නේ නම් ඒවා විවෘත කොට ජනතාවට සහන සැලසීමට රජයට හැකියාවක් ඇත. අනවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් යෙදීමට ද රජයට හැකියාවක් තිබේ. එහෙත් ජනතාව දැන් දැන් අනුගමනය කරමින් සිටින්නේ අඬුව තිබියදී අත පුච්චා ගැනීමේ ක්‍රමවේදයකි. මෙම කලබල අස්සේ කූඨ වෙළෙන්දෝ තම මඩිය තරකර ගැනීමට කැස කවති. ඉදිරියට එළඹෙන්නේ උත්සව සමය නිසා මේ තත්ත්වය තවත් උත්සන්න විය හැකිය. වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සේම තත්ත්වයෙන් බාල භාණ්ඩ අලවියෙන් ජනතාවගේ මෙම කලබල අස්සේ සිදු වී ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වෛරසය හටගත්තේ චීනයෙනි. දැනට වාර්තා වූ කොරෝනා වෛරසයෙන් මියගිය වැඩිම පිරිස සිටින්නේද චීනයේය. එහෙත් චීන වැසියෝ රෝගය පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කළහ. ඔවුන් ආර්ථිකය බිම් මට්ටමටම කඩා වැටීමට ඉඩ තැබුවේ නැත. අනවශ්‍ය බියෙන් පසුවූයේද නැත. ඒ අනුව බලනවිට චීනයෙන් අපට උකහාගත හැකි පාඩම් රාශියක් ඇත.

දිනෙන් දින මෙරට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයන් කිහිපදෙනකු හමුවීමත් සමඟ සමාජයේ පැතිර ගිය ප්‍රධාන කටකතාවක් වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිය හැකි බවය. මෙම තත්ත්වයන් සමඟ සැබැවින්ම වෙළෙඳපොළෙහි භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකිද යන්න පිළිබඳව වෙළෙඳ සගම් කිහිපයකින් දේශයේ අපි විමසීමක් කළෙමු.

බඩු හිඟයකුත් නෑ: මිල වැඩි වෙන්නෙත් නෑ

පිටකොටුව මැනිං වෙළෙඳපොළේ වෙළෙඳ සංගමේ සභාපති ගාමිණී හඳුන්ගේ

කොරෝනා වෛරස් රෝගය රට පුරා පැතිර යන්න පටන්ගැනීමත් සමගම බොහෝ දෙනෙක් කියා තිබුණා එළවළු මිල වැඩිවෙන්න පුළුවන් ඒ වගේම ලූනු, අල ඇතුළු තවත් බොහෝ එළවළු වර්ගවල හිඟයක් ඇතිවෙන්නත් පුළුවන් කියලා. නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. මැනිං වෙළෙඳ සංකීර්ණයට පෙර පරිදි එළවළු රැගත් වාහන එනවා රට පුරාම. ඒ වගේම තමයි එළවළු මිලෙත් වැඩිවීමක් සිදුවන්නේ නැහැ. ජනතාව අනිසි බියක් ඇතිකර ගතයුතු නැහැ එම තත්ත්වය සම්බන්ධයෙන්. වෙනදට වඩා ජනතාව එනවා අඩුයි. නමුත් අපි වෙළෙඳපොළ තාමත් වසාදමා නැහැ. රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළොත් වෙළෙඳාම් සිදුකරන්න එපා කියලා කිව්වොත් අපි වෙළෙඳ කටයුතු නවත්වනවා. එහෙම නැතුව අපි වෙළෙඳ කටයුතු නවත්වන්නේ නැහැ. ඒ වගේම එළවළුවල මිල වැඩිවීමක් සිදුවෙන්නෙත් නැහැ.

සමහරු භාණ්ඩ හිඟයක් මවන්න හදනවා

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආහාරකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති රාජේන්ද්‍රන්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් වෙළෙඳපොළ තුළ ඇති වී නැහැ. ඇතැම් කූඨ වෙළෙඳුන් වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩල හිඟයක් ඇති බවට මවාපාන්න උත්සාහ කරනවා. නමුත් එහෙම දෙයක් නැහැ. අපි දැක්කා පසුගිය සතිය තුළ විශාල වශයෙන් පරිභෝගිකයන් සුපිරි වෙළෙඳසල්වලින් විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගන්නවා. සමහර විට කටකතා නිසා ජනතාව එහෙම කළා වෙන්න පුළුවන්. ඒ වුණාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් නැහැ. කොහොමත් ඉදිරියට එන්නේ සිංහල - හින්දු අලුත් අවුරුද්ද. ඒ කාලයේදී අපි බිස්නස් කරන්න ඒ බඩු ගෙන්වීම් කරලා තියෙනවා. ජනතාව කොහොමත් අඩුයි මේ තත්ත්වය එක්ක. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නැහැ.

කුකුළු මස් සැපයීම අඩුවෙන්නේ නැහැ

කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික පිලිප් ජේ. වෑවිට

රට තුළ ව්‍යාප්ත වෙලා තියෙන කොරෝනා වෛරස් තත්ත්වය සමඟ කුකුළු මස් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. නමුත් අපි කියන්න ඕන වෙළෙඳපොළ තුළ කිසිදු කුකුළු මස් හිඟයක් පවතින්නේ නැහැ. අපේ නිෂ්පාදන කටයුතු අපි සිදුකරගෙන යනවා. සමාජයේ මතයක් ඇතිවෙලා තියෙනවා මේ වෙනකොට ආහාර ද්‍රව්‍යවල අඩුවීමක් පිළිබඳව. එහෙත් වෙළෙඳපොළ තුළ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට එළඹෙන්නේ උත්සව සමය. ඒ වෙනුවෙන් අපි නිෂ්පාදන කටයුතු සිදුකරමින් ඉන්නේ. කිසිදු කුකුළු මස් හිඟයක් ඇතිවෙලා නැහැ.

සටහන - හසිත් අංජන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00