2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ආපසු කැන්සල් වෙන බුකිං

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 68

කබලෙන් ළිපට වැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්තමාන කතාව වියවුල් සහගතය. පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයත් මේ වසරේ කොරෝනා වෛරසයත් මෙම අසතුටුදායක කතාවට නිමිත්ත සපයා තිබේ. Covid 19 හේතුවෙන් අද වනවිට මහා පරිමාණ සංචාරක නියෝජිත ආයතන, තරු පංතියේ හෝටල් මෙන්ම සංචාරක මග පෙන්වන්නන් රියැදුරන්, ආදී බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිති. පසුගියදා මෙරට දී වාර්තා වූ පළමු කොවිඩ් 19 ආසාදිතයාද සංචාරක මඟ පෙන්වන්නෙකි. එම නිසාම ලාංකික සංචාරක කර්මාන්තයේ වර්තමානය පිළිබඳ සොයාබැලීමට අපි අදහස් කෙළෙමු.

මෙරට 2018 වසරේ මිලියන 2.3ක් වූ සංචාරකයන් පැමිණීම පාස්කු  ප්‍රහාරය හේතු කොටගෙන 2019 වසරේදී මිලියන 1.9ක් දක්වා පහත වැටුණි. ඒ අනුව 2020දී නැවත සංචාරකයන් මිලියන 2.3 කට අධික ප්‍රමාණයක් අප රට වෙත ආකර්ෂණය කරගැනීම ලාංකික සංචාරක කර්මාන්තයේ නියුතු වූ සැමගේ අරමුණ විය. ඊට අවශ්‍ය පසුබිමද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සකස් වෙමින් පැවතිණි. ජනාධිපතිවරණයන් පසු රට යම් දේශපාල ස්ථාවරත්වයක්ද අත්කර ගනිමින් සිටියේය. එය සංචාරක කර්මාන්තයේ විෂයෙහි වැදගත් වනු ඇතැයි කියවිණි.

එසේම ජාත්‍යන්තර වශයෙන් සැලකූ විට ලොව ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශකයා වන Lonely Planet සඟරාව ලොව 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබිණි. එය මෙරට සංචාරක කර්මාන්තයේ දැවැන්ත ජයග්‍රහණයක් බව ජාත්‍යන්තරය පවා විශ්වාස කළේය. ඒ අනුව දෙසැම්බරයේදී පාස්කු ප්‍රහාරයේ කම්පනයද දියකර හරිමින් දෙලක්ෂ හතළිස් එක් දහසක පමණ සංචාරකයන් පිරිසක් මෙරටට ළඟාවූහ. එමනිසා සත්‍ය වශයෙන්ම සංචාරක කර්මාන්තයේ පැහැබර අනාගතයක ලකුණු සෑම අතින්ම පෙනෙන්නට තිබිණි.

එහෙත් කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ජනවාරියේදී මුළුමහත් ලෝකයම කම්පනයට පත් කළේය. ලොවපුරා සංචාරක කර්මාන්තට එල්ල වූයේ සුවිසල් බලපෑමකි. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම 2019 ජනවාරියට සාපේක්ෂව 2020 ජනවාරියේ දී සියයට හයයි දශම පහකින් (6.5%) පහළ වැටිණි. ඒ අනුව 2019 ජනවාරියේදී සංචාරකයන් දෙලක්ෂ හතළිස් හතර දහසක් මෙරට පැමිණි මුත් 2020 ජනවාරියේ දී සංචාරක පැමිණීම දෙලක්ෂ විසිඅට දහසක් විය. වෛරසයේ බලපෑම එල්ලවූයේ ජනවාරි මාසය මැදදී බව මෙහිදී සිහි කළ යුතුය. ඒ අනුව පෙබරවාරියේදී දෙලක්ෂ හත් දහසක් දක්වා සංචාරක පැමිණීම අවම විය. එතැන් පටන් අද දක්වා මෙරට මෙන්ම ලෝකය පුරා සංචාරක කර්මාන්ත බිඳවැටෙමින් තිබේ. 

මෙම දත්ත සැලකීමේදී ආරම්භයේදීම කෝවිඩ් - 19 වෛරසයේ බලපෑම ප්‍රථමයෙන්ම එල්ලවන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට බව ඒෂියන් සිකියුරිටීස් කළ අනාවරණය ඉතා වැදගත් වේ. ‘ඒෂියන් සිකියුරිටීස්’ යනු ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමකි. ඔවුනට අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම අවම තරමින් ඇස්තමේන්තු ගත ප්‍රමාණයට වඩා ලක්ෂකින් පමණ අඩුවනු ඇත.

මේ අතර මාර්තු මුල සතියේදී Virgin Atlantic and Eurostar නම් ලොව දැවැන්තම සංචාරක සමාගම් අධ්‍යක්ෂ Paul Charles පවසා සිටියේ කොරෝනා වෛරසය පැතිර යන මෙම අවස්ථාවන්හිදී යුරෝපීය සංචාරකයන්ට නිවාඩුව ගත කිරීමට ගමනාන්තයක් තෝරා ගන්නේ නම් කැරිබියන් දුපත් හා ශ්‍රී ලංකාව තමා අනුමත කරන බවයි. ශ්‍රී ලංකාවේ පවතින 30C0 පමණ උණුසුම් දේශගුණය නිසා කොරෝනා වෛරසයන් බේරී සිටීමට හේතුවක් බව එහිදී කියැවිණි. එම ප්‍රකාශ සංචාරක කර්මාන්ත පිළිබඳ ඇසිල්ලක ප්‍රීති ප්‍රමෝදයක් රට තුළ ඇති කළේය. එහෙත් අවාසනාවකට එම ප්‍රකාශයන් දිනකට පසුව මෙරටදී වාර්තා වූ පළමු කෝවිඩ් 19 ආසාදිතයා සංචාරක මගපෙන්නෙක් විය. ඉතාලි ජාතික සංචාරක පිරිසක් ඇසුරේ ඔහුට වෛරසය ආසාදනය වී තිබිණි. ඒ අනුව සංචාරක කර්මාන්තයේ අනාගත ඉතා අවිනිශ්චිත අඩියකට පත්ව වැටුණි.

මේ වනවිට ලොවපුරා බොහෝ රටවල් සංචාරක වීසා නිකුත් කිරීම නවතා දමා තිබේ. යුරෝපය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. ඒ අනුව කෝවිඩ් - 19 වෛරසය සාර්ථක මැඩ පවත්වනතුරු මෙරට සංචාරක කර්මාන්තය පමණක් නොව ලොවපුරා සංචාරක කර්මාන්තය ඇත්තේ අවදානම් අඩියකය.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කෝවිඩ් - 19 අභියෝග හමුවේ විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කරන බව පැහැදිලිවම කිව යුතුය. එහි ප්‍රකාශකයකු අප වෙත පැවසුවේ ශ්‍රී ලංකාවට වෛරසයේ බලපෑම සම්බන්ධව සංචාරකයන්ට දැනගැනීමට සතිපතා නිකුත් කරන බවයි. සෞඛ්‍ය අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇත. නමුත් තවදුරටත් මෙරට සංචාරක කර්මාන්තයක් නොපවතී. ගුවන් තොටුපොළ හරහා කිසිදු විදේශිකයකුට මෙරටට ඇතුළුවීමට නොහැක. සංචාරය සඳහා පැමිණි සිය පුරවැසියන් තම රටවලට ගෙන්වා ගැනීමට බොහෝ රටවල් උත්සාහ කරමින් සිටිති. ඉදිරි සති දෙක තුළ මෙරට බොහෝ හෝටල් සම්පූර්ණයෙන් හිස්වනු ඇත. ඉදිරියේදී හෝටල් වසා දැමීමක් සිදුවෙතැයි කර්මාන්තයේ නියුතු පිරිස් පවසති.

මෙම සියල්ල අතරේ බිම් මට්ටමේ සංචාරක කර්මාන්තයේ නියුතු වන්නේ වර්තමාන තත්ත්වයද අප විමසා බැලිය යුතුවෙයි. සීසන් - ඕෆ් සීසන් රටාවට ජීවිකාව හුරැ කරගෙන සිටින මෙම පිරිස වසර තුනක සිට සංචාරක වසන්තයේදී විවිධ හේතූ මත පීඩාවට පත්ව සිටිති. 2018 ඔක්තෝබර් - නොවැම්බර් බල පෙරළිය, 2019 පාස්කු ප්‍රහාර, 2020 කෝවිඩ් - 19 වෛරසය ඔවුන්ගේ ජීවිතවලට එල්ලකර ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ. ඔවුන්ගේ බසින්ම කියතොත් බුකින් කැන්සල් වීම බුකින් අඩුවීම පසුගිය වසර දෙක පුරාම  සිදුව තිබේ. දැන් මෙම වසරටද කණකොකා හඬා ඇත.

වෛරසය පැතිර යන අතරේ සංචාරක මඟ පෙන්වන්නන් හට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී කරැණු දැක්විය යුතුය. හබරණ සීගිරිය ආදී ප්‍රදේශවලදී සංචාරකයන් රැගෙන ගම්වලට පැමිණි සංචාරක නියාමකයන්ට දැඩි විරෝධයක් එල්ල විය. පසුව මේ ගමන් නතර කර දමන ලදී. මෙම සිදුවීම යම් සමාජ ආන්දෝලනයක් ඇති කළ බවද සිහිකර යුගුය. මේ අතර සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමය සහ හෝටල් සංගමය අතර යම් මතභේදයක්ද තිබෙන බව පෙනෙන්නට තිබේ.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ කෝවිඩ් 19 හේතුවෙන් කබලෙන් ළිපට වැටුණු සංචාරක කර්මාන්තය ගොඩගැනීම සමස්ත රටේම වගකීම බවයි. ජාත්‍යන්තර වශයෙන් විසඳුම් ලැබී කොරෝනා අවුල නිමා වනතුරු නොයිද අනාගත පුරෝකතන ඔස්සේ සිතා බලා අපද පූර්ව සැලසුම් සකසා ගත යුතුව තිබේ. එසේම සංචාරක කර්මාන්තයේ පහළ ස්ථරයේ සිටින දිගින් දිගටම පීඩාවට පත්වන ජනතාවට සහන ලබාදීමේ යම් යාන්ත්‍රණයක්ද මේ මොහොතේ අත්‍යවශ්‍යය. දැනට සහන ලබාදීමට තීරණය කර ඇත්තේ මහා පරිමාණ සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස්වලට පමණි. සමස්තයක් ලෙස පවතින අර්බුදයෙන් කළමනාකරණය කිරීම මේ මොහොතේ ලක් රජයේ වගකීමයි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00