දශක ගණනාවක් තිස්සේ පුවත්පත් කවි පිටු තුළින් පාඨකයාට ඇමතූ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් පළකළ ප්‍රථම කාව්‍ය කෘතිය මයෙ අම්මේ යමු යංඩයි. එය පාඨක ප්‍රජාව අතර අතිශයින් ජනප්‍රිය විය. කවි සමාජය තුළ ඒ පිළිබඳ කතාබහක්ද ඇති විය. පසුගියදා ඔහුගේ දෙවැනි කාව්‍ය කෘතිය සිඟමං යැදීම තහනම් දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශනයක් ලෙස නිකුත් කෙරිණි.
ඔබ ගිය වර්ෂයේ මයෙ අම්මේ යමු යන්ඩ කවිපොත පළ කළා. ඊට පසු අවුරුද්දක් යාමටත් පෙර දෙවැනි කවි පොත පළ කරනවා. සාර්ථක කවියෙකුට එකළඟ කවි පොත ලිවීමට පුළුවන්ද?
ඒක ඇත්ත. කවි ලියන කෙනෙකුට ළඟ ළඟ කවි පොත් ලියන්න බැහැ. එහෙම ලියන්න අමාරුයි. අඩුම ගාණේ එක් කවි පොතක් පළ කිරීමෙන් පසු ඊළඟ පොතට අවශ්‍ය අත්දැකීම් ලබාගෙන පරිකල්පනය ඔස්සේ කාව්‍ය නිර්මාණයට යම් කාලයක් යනවා.
එහෙනම් ඔබ එක ළඟ කවි පොත් ලියන්නේ?
මම දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ කවි ලියනවා. පොතක් පළ කළේ නැහැ. එලෙස එකතු වූ කවි විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එම කවිවලින් තමයි පොත්වලට සුදුසු කවි තෝරාගන්නේ. පුවත්පත් රාශියකට කවි ලිව්වා. ඒ කවි සියල්ල එකතුකරගෙන තිබෙනවා.
ඔබ කවිවලට තෝරාගන්නේ අමුතු මාතෘකා. කවි පොත්වල නම පවා වෙනස්. භාෂාවත් රළුයි?
මට විදීමට ලැබුණු අත්දැකීම් පැවසීමට සුදුසු භාෂාවක් තමයි මම භාවිත කරන්නේ. පුංචි කාලෙ ඉඳලම විඳින්න වුණේ ඉතා කටුක අත්දැකීම්. දැනුත් ඒවා විඳිමින් ඉන්නවා. දැනුත් මම ආවේ ගඩොල් වගයක් ලොරියකට පටවලා. ගඩොල් පටවන රුකියාව තමයි මේ දිනවල කරන්නේ. ඒ නිසයි, අම්මාගේ මළ සිරුරු ගැන, දික්කසාද වී ගිය බිරිය ගැන, ගණිකාවන් ගැන, කම්කරුවෝ ගැන මගේ පෑනෙන් ලියැවෙන්නේ.
සමහරු ඔබේ මේ කාව්‍ය භාවිතයට එරෙහිව අවි අමෝරා ගන්නවා නේද?
ඔව්. එක පැත්තකින් පැවසෙනවා මගෙන් භාෂාව බේරාගත යුතු බව. නමුත් මම ආමන්ත්‍රණය කරන පාඨක පිරිස මගේ තේමාවලට අදහස්වලට කැමතියි. ඔවුන් මට කියන්නේ කොළඹට ගිහින් බැණුම් අහනවා වෙනුවට නාගොල්ලාගොඩම රුඳෙන්න කියලයි. කුලියක් මලියක් කරගෙන ජීවත්වෙන්න කියලයි.
තවත් පිරිසක් බෙරිහන් දෙනවා ඔබ දුක මාකට් කරනවා කියලා?
ඒක බොරුවක්. මම කවි ලියන්නේ දුක මාකට් කරලා සල්ලි හොයාගන්න නොවේ. කවි ලියලා පෝසත් වුණු කෙනෙක් මේ රටේ කොහෙද ඉන්නේ. එහෙම විවේචනය කරන්නෙ කුහක පිරිසක්. ඒ නිසා මට සාහිත්‍යය ගැන තිබෙන්නෙ කළකිරීමක්. කවිය පැත්තක කියලා දැන් මම ගඩොල් පටවනවා.
ඒකෙන් කියැවෙන්නෙ කොළඹ ආශ්‍රිත මහා සාහිත්‍ය කුලකය ඔබ ප්‍රතික්ෂේප කරන බවද?
ඔව්. ඔවුන්ට මාව දිරවන්නේ නැහැ. ගම්වල ඉන්න අපි ළඟ කුහකත්වයක් නැහැ. නමුත් මහා සමාජය අපට කෙණෙහිලිකම් කරනවා.
මේ කවිවල බොහෝ දෙනෙකුට දුරස්ථ අත්දැකීම් අඩංගුයි. පාඨකයන් ඒවාට ප්‍රිය කරන්නේ ඒ නිසාමද?
මම හැමවේලේම ගැවසෙන්නෙ ජීවත්වන්නේ සාමාන්‍ය මිනිසුන් අතර. දාඩිය දාන, පයින් ගමන් කරන, බුලත්විට කන ජනතාව සමඟ. කවියකුගේ කාර්යභාරය තමන් අත්විඳින සමාජය ප්‍රතිනිර්මාණය කිරීම බවයි මම හිතන්නේ. මම සමස්ත සමාජයටම ආදරෙයි. මගේ අත්දැකීම්වල සඟවන්න දෙයක් නැහැ. ඒවා අවංකව කන්වලට නිමිත්ත කරගත්විට පාඨකයන් ඒවාට ප්‍රිය කරන බව පේනවා.
කුසුම්සිරි