2020 ජුනි 06 වන සෙනසුරාදා

කොරෝනාවෙන් ලෙඩ වූ රඟමඩල

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

රටේම මිනිසුන් නිවෙස්වලට ගාල් කිරීමට කොවිඩ් - 19 වසංගතය සමත්විය. රට පමණක් නොව ලෝකයම ලොක්ඩවුන්ය. මේ නිසා අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට සියලුම අංශ අක්‍රිය වී තිබේ. ඉතින් කලා සංස්කෘතික අංශ ගැන කවර කතාද? සිනමා පට, අලුත් ටෙලිනාට්‍ය නරඹමින්, නාට්‍ය රසවින්දනය කරමින් සිටි ප්‍රේක්ෂකයාට කොරෝනා ප්‍රවෘත්තිම අසමින් පරණ ටෙලිනාට්‍ය හා කිහිපවරක් නැරඹූ චිත්‍රපට නරඹීමට සිදුව තිබේ. මේ දිනවල අපේ විද්‍යුත් මාධ්‍යවලට එකම චිත්‍රපටය දවසක් හැර දවසක් විකාශය කිරීමට තරම් නිර්මාණ හිඟයක් පැන නැගී තිබේ.

මේ අතර ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීහු, තාක්ෂණික ශිල්පීන් තම ආදායම් මාර්ග අහිමිවීම නිසා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිති. ඇඳිරි නීතිය සහ කොරෝනා අවදානම නිසා කිසිදු ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය නොවේ. එපමණක් නොව ටෙලිනාට්‍ය හඬකැවීමක් පවා සිදු නොවේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මුහුණපා සිටින මෙම අර්බුදය පිළිබඳව අප විමසුවේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල්ගෙනි.

අපේ කර්මාන්තය වෘත්තීය මට්ටමින් ඉහළට ඔසවපු කර්මාන්තයක් නොවේ. දෛනික ගෙවීම් ලබන ශිල්පීන් රාශියක් සිටිනවා. ඔවුන්ට මේ අර්බුදය ඍජුවම බලපානවා.

ලෝකයේ වෙන රටවල නම් වෘත්තීය සංගම් තිබෙනවා. රජයේ අනුග්‍රහය තිබෙනවා. නිර්මාණ හා තාක්ෂණික ශිල්පීන්ගේ දිවිපැවැත්ම සඳහා අවශ්‍ය උපකාර ලැබෙනවා. ලංකාවේ රූපවාහිනී කර්මාන්තය ඇතුළේ විවිධ නාලිකාවල රුකියා කරන අය හැරෙන්නට ක්ෂේත්‍රයේ නිදහස්ව වැඩකරන අයට ආරක්ෂණයක් නැහැ. මාසික දීමනාවක් නැහැ. වැඩ කළොත් පමණයි ඔවුන්ට ගෙවීමක් ලැබෙන්නේ. ඔවුන් දෛනිකව තමයි ආදායමක් ලබන්නේ. බාහිර කාර්මික ශිල්පීන් මේ කර්මාන්තය රැක ගැනීමට 60%ක් දායකත්වය ලබාදෙනවා. නමුත් ඔවුන්ට කිසිම වෘත්තීය ආරක්ෂාවක් නැහැ. වේෂ නිරූපණය, ආලෝකකරණය, කැමරාකරණය වගේ අංශවලට මේ තත්ත්වය බහුලව බලපානවා. රජයවත්, රෑපවාහිනී නාලිකාවත් ඔවුන්ට සහයෝගයක් දක්වන්නේ නැහැ. මේ වනවිට ඒ ශිල්පීන් වැඩි දෙනෙක් ඉතා අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ, ඔවුන් ඉතිරි කරගත් මුදලක් නැත්නම් යැපීම පවා ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ දක්වා කිසිම රජයක් විසින් ඔවුන්ට යැපීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර නැතිවීමයි. ඒවාට අවශ්‍ය විධිවිධාන සකස් කරලා නැහැ.

කලකට පෙර හිටපු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස ටවර්හෝල් ශිල්පීන් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කෙරිණි. එහෙත් ඊට පසු කලා ශිල්පීන් සඳහා විධිමත් දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට බලධාරීන්ට උවමනාවක් වූ බව නොපෙනේ. ගොවීන්ට පවා විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබුණද කලාශිල්පීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් නැත. වැඩිදුරටත් අදහස් දැක්වූ බර්ට්‍රම් මෙසේද කීවේය.

මේ වගේ ගැටලුකාරී අවස්ථාවක් මතුවුණාම තමයි ඒ වගේ දෙයක් කරන්න ඕනෑ කියල මතක් වෙන්නේ. එතකොට පරක්කු වෙලා වැඩියි. ගිය අවුරුද්දෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් යම් බලපෑමක් කලා ක්ෂේත්‍රයට වුණත් සමස්ත කර්මාන්තයටම බලපෑවේ නැහැ. නමුත් මේ වසංගතය ලෝකයටම බලපා තිබෙනවා. එවිට සමහර කලා ශිල්පීන්, කාර්මික ශිල්පීන් හැම අතින්ම අසරණ වෙනවා. ආලෝකකරණ ශිල්පීන්, කැමරා සහායකයන්, විදුලි කාර්මික ශිල්පීන් පමණක් නොව තේ හදන පුද්ගලයාට පවා මේක බලපානවා. වෘත්තීය ශිල්පීන්ට වඩා ඉන් පහළ සිටින සහායක ශිල්පීන්ට තමයි මේක වැඩිපුරම බලපා තිබෙන්නේ.

විවිධ සංගම්, සන්ධාන එක එක කාලයට මතුවෙනවා. නමුත් ඔවුන් තම තමන්ගේ වැඩකටයුතු ඉටුකරගත් පසු සංගම් අහෝසි වෙනවා. සමස්ත ටෙලිනාට්‍ය කර්මාන්තයේම යහපත සඳහා සාර්ථක යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක වීමක් නම් දකින්න ලැබුණේ නැහැ. ලෝකයේ වෙන රටවල්වල මේවා විසඳන ක්‍රමවේද තිබෙනවා. යුරෝපය වගේ රටවල්වල සිනමා, ටෙලිනාට්‍ය, නාට්‍ය වගේ ක්ෂේත්‍රවල වෘත්තීය සුරක්ෂිතතාවය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපට රාජ්‍ය අනුග්‍රහයකින් මේ වගේ ශිල්පීන් සුරක්ෂිතතාවයට අවශ්‍ය පදනමක් සකස් කෙරිලා නැහැ. ලාභ අපේක්ෂාවෙන් හෝ තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට යම් සංවිධාන ආරම්භ වූ විට නම් සාර්ථක වන්නේ නැති බව අපට පැහැදිලි වෙලා තිබෙනවා. මම නම් හිතන්නේ මේවා කෙතරම් කතා කළත් වැඩක් නැති බවයි.

බර්ට්‍රම් නිහාල් ටෙලිනාට්‍ය ශිල්පීන් ගැන එලෙස සඳහන් කරද්දී වෙනදා දක්නට ලැබෙන වේදිකා නාට්‍ය නැත්තටම නැතිවී තිබේ. කොරෝනා වසංගතය මැඩපැවැත්වූ පසුවත් සෙනඟ එක්රොක් වන නාට්‍යශාලාවලට කවදා පණ ලැබේදැයි සිතීම අපහසුය. මේ නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ කලා ශිල්පීන් මෙන්ම කාර්මික ශිල්පීහුද මහත් ගැටලුවකට මුහුණපා සිටිති. ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණ අප සමඟ ඒ ගැන පැවසුවේ මෙලෙසයි.

අලුතින් ක්ෂේත්‍රයට පිවිසි සමහර අය පුවත්පත්වලට ප්‍රකාශ කරනවා මා දැක තිබෙනවා. මම දැන් වෘත්තීය නළුවෙක් කියලා. වෘත්තීය කලාකරැවො කියල තමාව හඳුන්වාගන්න අය ඉන්නවා. නමුත් මම කියන්නේ ලංකාවේ වෘත්තීය කලාවක් නෑ. මේකෙ රඟේ තේරෙන්නෙ දැන් තමයි. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් පැමිණිවිට තමයි ඒක පෙනෙන්නේ. පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ සහරාන්ගේ ප්‍රහාරය, වසර 30ක් පැවැතුණු කොටි යුද්දේ, ඊට පෙර 87-89 කාලයේ බලපැවැත්වූ ජ.වි.පෙ. තරුණ නැගිටීම වගේ අවස්ථා නිසා නාට්‍ය කලාවට විශාල බලපෑමක් සිදුවුණා. දුර පළාත්වල නාට්‍යයක් පෙන්වා ගැනීමට අපහසු වුණා. දැන් ඇවිත් තිබෙන කොරෝනා වසංගතය දරුණුවට බලපානවා. මේ යුගවල අපට මතක තිබෙනවා කලාකරැවා ගෙදර පාන් කෑල්ලක් කෑමට නැතිව අසරණ වුණා.

මට නම් පේන්නෙ ශ්‍රී ලංකාවේ වෘත්තීය කලාවක් තිබෙන්නේ රාජ්‍ය නැටුම් කණ්ඩායමේ, රාජ්‍ය සංගීත කණ්ඩායමේ පමණයි. හොඳ වෙලාවට රාජ්‍ය නාට්‍ය කණ්ඩායමක් නෑ. අද වනවිට නාට්‍ය කලාවේ ඒකාධිකාරය දරාගෙන ඉන්නේ නාට්‍ය ගැන ඉගෙනගන්න අය නොවෙයි. මෙහෙම විපතකට නාට්‍ය ක්ෂේත්‍රය ලක්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වෘත්තීය කලාවක් නැති හින්දයි. අඳ බාල පුද්ගලයන් ක්ෂේත්‍රයේ ඉන්න නිසා වෘත්තීය කලාවක් නැති බවක්වත් දන්නෙ නැහැ. දැන් කලාවේ නිරත වී සිටින වැඩි පිරිසකට ජීවත්වීමට විදිහක් නෑ. ලංකාවේ කලාව වෘත්තීය තත්ත්වයකට පත්කරන තෙක් කලාකරැවන්ට සිදුවන මේ අයහපත වළක්වන්න බෑ.

සියලුම කලා ක්ෂේත්‍ර අඩපණව පවතින මේ මොහොතේ ඉදිරියේදී හෝ කලා ක්ෂේත්‍රවලට වෘත්තීය තත්ත්වයක් ලබාදීමට පාලකයන් සිතට ගතහොත් එය සර්වකාලීන විසඳුමක් වනු ඇත. නැතහොත් සිදුවන්නේ කලාවේ විසඳුම් ඡන්ද පොරොන්දු ලේඛනවලට පමණක් සීමාවීම පමණි.

- කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00