ආණ්ඩුව පරණ බොරු වසාගන්නට අලුත් බොරු කියයි. මෙසේ කියන්නේ ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාය. ඒ කතාවේ ඇත්ත නැත්ත විමසා බලනු වටී. ඊට හේතුව ආණ්ඩුවක් බොරු කියන්නේ නම්, එහි අයහපත් බලපෑම එල්ල වන්නේ ජනතාව මත නිසාය. අනෙක් අතට, හඳුන්නෙත්ති සහෝදරයා ආවට ගියාට කතා නොකරන්නකු ලෙස හොඳ නමක් දිනා සිටින්නෙකි. එහෙයින් ඔහු බොරු කියනවා යැයි සිතීමට ද අපහසුය. එහෙත් අද ඇත්තක් සේ පෙනෙන දේ හෙට බොරැවක් වීමට ද ඉඩ ඇති හෙයින්, මේ දේශපාලන ගොහොරුවේ පිපෙන සියපතක් හෝ නැවත නැවතත් පරීක්ෂා කර බැලිය යුතුය.
මිනිසා කතා කිරීමට උගත් දා සිටම ඇත්ත මෙන්ම බොරැ ද කීය. එහෙයින්, ඇත්ත සහ බොරැව නිවුන් සොහොයුරන් දෙදෙනකු බඳුය. සෑම ආගමක්ම බොරැව සාපයකැයි උගන්වයි. එහෙත් සමහරු ආගමේ නාමයෙන් ද බොරැ කියති. බොරැ කරති. මනෝ විද්‍යාඥයන්ගේ මතය වන්නේ, බොරුව ද මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය දෙයක් බවය. එහෙත්, ජීවත්වීම සඳහා බොරැවක් දෙකක් කීමත්, බොරැවෙන්ම ජීවිතය ගෙන යාමත් යනු දෙකකි.
ඇත්ත මෙන්ම බොරුව ද සමාජය තුළ සම-සමව පවතී. වැඩිපුර පවතින්නේ බොරැව යැයි කෙනෙක් තර්ක කිරීමට ද ඉඩ ඇත. එසේ හෙයින්, බොරුවට ද කිසියම් සමාජ තත්ත්වයක් ඇති බවද අප පිළිගත යුතුය.
ලොකුම බොරුව කියන්නා තේරීමේ තරගයක් එංගලන්තයේ කම්බ්‍රියා පළාතෙහි, වාර්ෂිකව පැවැත්වෙයි. එයට ලෝකයේ බොහෝ රටවලින් තරගකරැවෝ සහභාගි වෙති. එහෙත් දේශපාලනඥයන්ට හා නීතිඥයන්ට ඊට සහභාගි විය නොහැක්කේ, ඔවුන් වෘත්තීය බොරැකාරයන් ලෙස ලේබල් වී ඇති බැවිනි. තරගකරැවන්ට පිටපත් හෝ භාණ්ඩ භාවිත කළ නොහැකිය. බොරුවක් කීමට ලැබෙන උපරිම කාලය මිනිත්තු පහකි.
මේ තරගයේ දී ජයගත් කෙටිම බොරුව මෙසේය. මම මගේ ජීවිතයේ දී කිසිම බොරුවක් කියල නෑ (I have never told a lie in my life)
ඇත්තෙන්ම, මෙලොව වෙසෙන කිසිම කෙනකුට එසේ කිව හැකිද? ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න. එසේ නම්, අපි හැමෝම බොරැකාරයෝ නොවෙමුද?
කම්බ්‍රියා බොරු කීමේ තරගයේ දී, විවිධ ආකාරයේ බොරු ඉදිරිපත් වෙයි. එම බොරු ඇත්තක් සේ පෙනෙන සේ ඉදිරිපත් කළ යුතුය. 2006 දී, ප්‍රථම කාන්තා බොරුකාරිය වෙමින් ජයගත්තේ සූ පර්කින්ස්ය. ඇය ගෙතූ බොරැව පරිසර විනාශය සම්බන්ධයෙනි. ඕසෝන් තලය විනාශ වීමෙන් හිම තට්ටු දිය වෙයි. එහෙයින් මිනිසුනට ඔටුවන් පිට නැගී සිය කටයුතු කිරීමට සිදු වූ අවස්ථාවක් ගැන ඇය නිර්මාණශීලී බොරැවක් ඉදිරිපත් කළාය.
බොරු, ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදෙයි. එනම් අහිංසක බොරු (white lies) හා හිංසක බොරැ (hurtful lies) ය. ළමා වියේදී කියන බොරැ අහිංසකය. ක්‍රමක්‍රමයෙන් සමාජයට එක්වද්දී, නොයෙකුත් හේතූන් මත බොරු කියන්නට ගනිති. වයස, රැකියාව, වෙළෙඳාම, ප්‍රේමය වැනි කාරණාවලදී බොහෝ දෙනා බොරු කරති.
පොලීසියේ දී පමණක් නොව උසාවියේදීත් බොරු කියන අය සිටිති. ගෙදරදීද, ඇඟ බේරාගැනීමට බොරැ කියති. මම බිව්වෙ නෑ, මට වෙරි නෑ. එවැනි ජනප්‍රිය පිරිමි බොරුවකි. පොරොන්දු ද බොහෝවිට බොරු වෙයි. ඡන්ද පොරොන්දු ඒ අතර ප්‍රධානය.
අප අතර සිටින බොරුකාරයන් ගැන, අපට කිසියම් අවබෝධයක් ඇත. ඔය මිනිහා කට ඇරියොත් කියන්නෙ බොරු යැයි අප හඳුන්වන්නේ, එබඳු පුද්ගලයන්ය. සමහරු බොරැකාරයන් බව දැන දැනත් අප ඔවුන්ගේ කතා අසා සිටින්නේ, ඉන් කිසියම් විනෝදයක් ද ලැබෙන බැවිනි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම කෘතියේ එක් පරිච්ඡේදයක්ම එබඳු &බේගල්කාරයන්ට* වෙන් කෙරෙයි. වික්‍රමසිංහයන් පවසන අන්දමට, ඔවුන්ගේ කියුම්, මළකඳන් වුව සිනස්සන තරම්ය.
බණේදී, දහමේදී බොරුව හැඳින්වෙන්නේ මුසාවාද නමිනි. පන්සිල් ගන්නා බෞද්ධයෝ මුසාවාදා වේරමණී සික්ඛාපදය ද සමාදන් වෙති. එහෙත්, බෞද්ධ සමාජයෙහි ද ටොම් පචයන් සේම, එක බොරුවක් වැසීමට බොරු හතක් කියන අය ද සිටින බව රහසක් නොවේ. ඒ අතරේ පැත්ත ගියත් ඇත්තම කියන උදවිය ද සිටිති.
බොරැවට ආයුෂ අඩුය. බොරැවටත් හුරැව අවශ්‍යය. ඇත්තක් සේ පෙනෙන බොරැ කිව හැක්කේ දක්ෂයන්ටය. එබඳු දක්ෂයෝ ජනමාධ්‍ය තුළ ද සිටිති. පත්තර ලෝකයේ දී ඔවුන් හැඳින්වෙන්නේ අතේ රෝල්කාරයන් යනුවෙනි. නැත්ත ඇත්ත කිරීමටත්, එක දෙක කිරීමටත් ඔවුහු හපන්නුය. එහෙත්, බොරු ආරංචි පැතිරවීම නම් සමාජයට හිතකර දෙයක් නොවේ. බොරැ ආරංචියට පියාපත් ඇතැයි කියුමක් ද වෙයි. කපුටු පිහාටුව, කපුටන් හතක් බවට හැරෙන්නේ, බොරුව පියාඹා යන විටය.
විහිළුවට බොරැ කීම සමහරැන්ට විනෝදයකි. එහෙත්, එබඳු විහිළුවලින් ඇස් රතුවන අවස්ථා ද ඇත. හැමදෙයකටම සීමාවක් ඇත. බොරු කීමට ද එය වලංගුය. පන්සිය පනස් ජාතක පොතේ චේතිය ජාතකයෙහි දැක්වෙන පරිදි, ඍද්ධි බල සතරක් ඇතිව සිටි උපවර රජු නොහොත් චේතිය රජු, සියලු බල බිඳී, පොළොව පලාගෙන නිරයට ඇදී යන්නේ ද මුසාවාද කීම නිසාය. කරන කලට පව් සේම, කියන කලට බොරු ද මිහිරිය මී සේ වූවත්, එහි විපාක නම් අමිහිරිමය.
අප්‍රේල් 1දා යනු, බොරැ කීම සඳහාම වෙන් වූ දිනයකි. මෝඩයාගේ දිනය නමින් හැඳින්වුණද, එදිනට වැඩියෙන්ම සිදුවන්නේ බොරු කීමය. නැතහොත් ලණු දීමය. 1957 අප්‍රේල් 1දා බ්‍රිතාන්‍යයේ බී.බී.සීය එරට ජනතාවට කියූ බොරුවක් වූයේ, ස්පැගටි නමැති ආහාරය, ස්විට්සර්ලන්තයේ ගස් වර්ගයක හැදෙන්නක් බවය. ස්පැගටි ගසකින් ස්පැගටි කරල් නෙලාගන්නා තරැණියකගේ ඡායාරෑපයක් ද මාධ්‍යයට නිකුත් කෙරැණි. එකල බ්‍රිතාන්‍යයේ ස්පැගටි ආහාරය එතරම් ප්‍රචලිතව නොතිබුණෙන්, බී.බී.සී. ලණුව බොහෝ දෙනා අනුභව කළෝය.
බොරු ගැන බොරැ කතා බොහෝය. එහෙත් සමහර කතා ඇත්ත වගේය. ඇතැම් බොරැ, උඩින් සීනි ආලේප කළ තිත්ත බෙහෙතක් බඳුය.
අමෙරිකාවේ කළු ජාතිකයෙක් මියගොස් දෙව්ලොව උපන්නේය. අලුත් පුරවැසියන්, දෙව්ලොව වටා රවුමක් ගෙන ගොස් එහි විස්තර කිරීම එහි සිරිතකි. ඒ අනුව කළු ජාතිකයා ද තැනින් තැන ගෙන යන අතරේ, එක් ශාලාවක තිබූ ඔරලෝසු රාශියක් ඔහුට දක්නට ලැබුණි. මාර්ගෝපදේශක දිව්‍ය පුත්‍රයා එය මෙසේ විස්තර කළේය.
ලෝකේ ඉන්න හැම රාජ්‍ය නායකයෙක් වෙනුවෙන්ම මෙතන ඔරලෝසුවක් තියෙනවා. ඒ කවුරුහරි බොරුවක් කියන හැම වතාවකම එයාගේ ඔරලෝසුවේ කටු රවුමක් කැරකෙනවා.
කෝ අපේ ට්‍රම්ප්ගෙ ඔරලෝසුව?
ඒක තමයි, අර මේසෙ උඩ කැරකෙන ටේබල් ෆෑන් එක.
කපිල කුමාර කාලිංග