2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

ආරිථික ගැටලු මතුවන කාලයක්

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

ග්‍රහ මණ්ඩලයේ බිහිසුණු සිදුවීම් මෙන්ම විප්ලවයක් ඇතිකරන්නාවූත් යුරේනස් අඟහරුට අයත් මේෂ රාශියෙහි සිකුරුට අයත් බෙරන නැකතේ ප්‍රථම පාදයේදී 2020 අගෝස්තු මස 17 වැනි දින සුපුරුදු ගමනින් මිදී වක්‍රව ගමන් කිරීම අරඹනු ඇත. එලෙස 2021 ජනවාරි 14 වැනි ගුරු දින දක්වාම යුරේනස් මේෂ රාශියෙහි වක්‍රව ගමන් කිරීම සිදුවෙයි.

යුරේනස් වක්‍රවීම අප රටට ඇතිකරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී පත්වූ නව රජයට එතරම් යහපත් නොවන අතර, බලාපොරොත්තු නොවූ ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බව කිව යුතුය.
යුරේනස් වක්‍ර වීම අප රටට මෙන්ම විදේශීය රටවලට ද එතරම් ශුභදායක නොවනු ඇත. නව රජය මහජන සුබ සිද්ධිය උදෙසා වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් අරඹන කාලයක් වන අතර විදේශීය රටවලින් මෙරටට ගෙන එන භාණ්ඩ වෙනුවට දේශීය ලෙස එම භාණ්ඩ නිපදවීම් අරඹනු ඇත. රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට උත්සාහ දැරුව ද රජයේ කටයුතුවලට බාධා ඇතිවෙමින් හදිසි බලාපොරොත්තු නොවූ ආකාරයේ බිහිසුණු සිදුවීම්වලට රජයට මුහුණපෑමට සිදුවන කාලයක් ද වේ. විශේෂයෙන් අපරාධ ක්‍රියාවක් නිසා මහජනයාට විපත් ඇති වීමක්ද නොසිතූ ලෙස පිපිරීමක් ඇති විය හැකි කාලයක් ද වෙයි. මහජන නියෝජිතයකුට මාරක ද ඇතිවිය හැකි කාලයක් බැවින් අදාළ බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. රට තුළ විදේශීය ආයෝජන අවස්ථාවන් අඩු වන කාලයක් වන අතර විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවීමක් පෙන්නුම් කරන කාලයකි. රටේ ආර්ථික තත්ත්වයේ සුළු වශයෙන් පමණක් වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වේ. තැපැල් දුම්රිය ආශ්‍රිත කම්කරු ප්‍රශ්න වැඩ වර්ජන ඇතිවිය හැකි කාලයකි. ජනතාවට හිතකර නව පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත වන කාලයක් ද වන අතර යම් යම් පනත්වලට එරෙහිව මහජන විරෝධතා ද එල්ල වනවා ඇත. මෙම වකවානුව තුළදී බිහිසුණු දුම්රිය අනතුරක් ද එකිනෙක ගැටීමක් පෙරලීමක් හෝ පිපිරීමක් සිදුවන අතර මාරක රිය අනතුරු ද වර්ධනය වන්නාවූත් කාලයක් ද වනු ඇත.

නව රජයට පාලන කටයුතු කරගෙන යාමේදී වැඩවර්ජන සිදුවීම් මෙන්ම අපරාධ ක්‍රියාවලට මුහුණදීමටත්, මේ හේතුවෙන් විදේශීය ආයෝජන අවස්ථා රටට අහිමි වී යාමත්, විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් සිදුවනු ඇත. මේ කරුණු නිසා රටේ ආර්ථික තත්ත්වය අපේක්ෂා නොකළ පරිදි පහළ යනවා ඇත. රාජ්‍ය පාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ සහය රජයට අවශ්‍ය වන කාලයක් වන අතර, රජයෙන් ගෙන එන නව පනත්වලට මහජන විරෝධතා ද ඇතිවන සමයකි.

මේෂ - ශරීර ශක්තිය හීන වේ
ඔබට යහපත් කාල වකවානුවක් නොවනු ඇත. ඔබගේ ශරීර ශක්තිය හීනවන කාලයක් වන අතර, සෑම කටයුත්තකදීම කල්පනාකාරීව තීරණ ගැනීම යහපත් වන බව පැවසිය යුතුය.

වෘෂභ - සතුරු පීඩා
දුර ගමන්වලින් හදිසි කරදර විපත් ඇතිවන කාලයකි. පවුල් දිවියේ සැප, සාමය පළුඳු විය හැකිය. අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු කාලයක් වන අතර සතුරු පීඩා ද අධික වන සමයකි.

මිථුන - ලැබීම් අඩු වේ
ඔබගේ හිතමිතුරන්ගෙන් ඔබට ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත අයට ද ගැටලු ඇතිවනු ඇත. ලැබීම් මාර්ගවල අවහිරතා ද ඇතිවන කාලයක් වේ.

කටක - නව රැකියා
ඔබගේ සිතට ප්‍රශ්න කරදර ඇතිවන අතර, ඔබ කාර්මික අංශයේ හෝ විදුලිය සම්බන්ධ කටයුතුවල නිරත වන අයකු නම් පරිස්සම් විය යුතු වේ. නව රුකියාවක් අපේක්ෂා කරන අයට ද අයහපත් වන්නා වූ කාලයක් වේ.

සිංහ - අයහපතක් නැහැ
ඔබට අයහපත් බලපෑමක් ඇතිනොවන අතර, වෙනදා මෙන් ඔබගේ කටයුතු ඉටුකරගත හැකි කාලයක් වේ. ඔබගේ සහෝදරයන් සමඟ සිත් බිඳීම් ඇතිවිය හැක.

කන්‍යා - හදිසි අනතුරු
ඔබට අයහපත් වකවානුවක් වන අතර, හිතමිතුරන්ගෙන් කරදර ඇතිවීමත්, කරන කටයුතු අඩපණ වීමත් සිදුවන අතර, හදිසි අනතුරුවලින් ද පරිස්සම් විය යුතු කාලයකි. ගින්දර භාවිතයේදීද පරිස්සම් වන්න.

තුලා - පවුල් අවුල්
ඔබගේ පවුල් දිවියේ සතුට සාමය බිඳවැටෙන කාලයක් වන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. හවුල් කටයුතුවලින් ද ඵල අත්නොවන කාලයක් වේ.

වෘශ්චික - ගමන් බිමන් පරිස්සමෙන්
ඔබට යහපත් නොවන සමයකි. ඔබ කරන කටයුතුවලට සතුරු බාධා මෙන්ම විවිධ වූ කරදර ඇතිවන්නාවූත් කාලයක් වේ. ගමන්වලින් පරිස්සම් විය යුතු කාලයක් ද වේ.

ධනු - බාධා ඇති නොවේ
ඔබගේ කටයුතුවලට බාධා ඇති නොවනු ඇත. නමුත් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර, දරුවන් ලැබීමට සිටින අය ද ඉතා පරිස්සම් විය යුතු කාලයකි.

මකර - අවිවේකී කාලයක්
ඉදිකිරීම් කටයුතුවල නිරතවන ඔබට එතරම් ශුභ ඵල අත්නොවන අතර ඒ ආශ්‍රිතව සිදුවන අනතුරැ ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. නිතර අවිවේකී වන කාලයක් ද වනු ඇත.

කුම්භ - ඉවසීම හොඳයි
ඔබට අයහපත් කාලයක් නොවන නමුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැලි අයට අයහපත් බලපෑම් ඇතිවනු ඇත. සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න.

මීන - ඉතා පරිස්සමෙන්
ඔබට එතරම් යහපත් නොවන අතර, ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ද එල්ල වේ. රිය ධාවනය කිරීමේදී ඉතා පරිස්සම් විය යුතු කාලයක් ද වේ.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව ගෝනපල

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00