2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

සත්මහලින් පහළ ඉන්න අපි

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

හිස් වූ පිඟානේ වූයේ කරපිoචා කොළ දෙක තුනකුත් කුකුල් කටුවකුත් පමණි. සාදය හමාර වන හැඩක් නැත. රට විස්කියෙන් ඔල්මොරොන්දන් වූවෝ ඩී.ජේ සoගීතයට නර්තනයේ යෙදෙන්නේ වියරැවෙන් මෙනි.... දණහිසෙන් අඟල් පහක්වත් උඩට කොට වූ නානාප්‍රකාර විලාසිතා දැරූ සරාගී තරුණියන්ද උමතුවෙන් මෙන් නැටුවේ ඇඳිවත ගැනවත් නොසිතාය. පුටුවල වාඩි වී සිටියේ මැදිවියේ ගැහැනු කිහිප දෙනෙක් පමණක් විය. අනික් සියල්ල තවත් පිරිසක් කෑම පෝලිමේය. මානවයාට තරම් සoකීර්ණ ආහාර රටාවක් වෙන කාටවත් ඇද්දැයි මට සිතුණේ ඒ කෑම වට්ටෝරු තිබූ නානා ප්‍රකාර කෑම දැකීමෙනි.

දහස් ගණනින් මිනිසුන්  වතුර පොදක් නැතිව මියදෙන ලෝකයක රාත්‍රී ආහාරයට බෙදාගන්නේ මොනවාදැයි සිතාගත නොහැකිව ලතවෙන පිරිසක්ද සිටින්නේය. එකම ලෝකයක ඉරණම් දෙකක් ලත් මැදියම පහුවෙත්ම වේගරිද්ම අවසන් වී ඩෝප් වූවන්ගේ ජීවිත කතා ගීතමය වන්නට පටන් ගෙනය. ගුණදාස කපුගේ, මිල්ටන් මල්ලවආරච්චි, ටී.එම් කනට මී පැණි මෙන් ගී ගයන්නට විය. කෝටි ප්‍රකෝටි ගානක වාහන නැවැත්වූ අංගනයට මම ආවේ දුරකථන ඇමතුමකටය.
මහත්තයා වාහනේ ගන්නවද? මම හැරී බැලුවෙමි. ඒ සිකුරිට් මහත්මයාය.
මම කෝල් එකක් ගන්න ආවෙ මෙතැනට. මම මඳක් සිනාසී පිළිතුරු දීමි.
ආ හරි හරී ඔහු යන්නට හැරුණේය.

වයසින් අවුරුදු 60වත් වන ඔහු මඳක් කුදු වූවෙකි. කෝටි ගණනක් වාහන නැවැත්වූ මේ අංගනයේ ආරක්ෂාවට ඔහු අත තිබුණේ විදුලි පන්දමක් පමණකි. වෙරි මරගාතේ එන මහත්වරුන්ව ඔවුන්ගේම වාහනයට නැංවීමත්, තව ගන්න... තව ගන්න.... හරවන්න... කියා වාහන පදින පුoචි නෝනලාට මොරදීමත්, ඔහුගේ ප්‍රධාන රාජකාරිය විය. 
ඉඩක් ලැබුණු වෙලාවට පොඩ්ඩක් ඉඳගන්නට වූ ප්ලාස්ටික් පුටුව පාක් එකේ කෙළවර වූ හෝටල් හිමිකරුගේ නවීන බෙන්ස් රථයට පසුපසට වෙන්නට සඟවා තිබුණේය. මන්දයත් උඹ වාඩිවෙලා ඉන්නකොට සිකුරිටි කරන්නේ මමදැයි අසා ඇතැම් මහත්වරු මොරදෙන නිසාය. තවද හදිස්සියට නින්දගියත් අයිතිකරැගේ වාහනේ ළඟ නිසාය. සුදුපාට ඉටි බෑග් එකකුත් ඒ අසලම දැල්වෙන මදුරු දඟරයකුත් පුටුව අසලම විය. පුටුව යටවූ වතුර පිරවූ වීදුරු බෝතලය උගුර වියපත් ඔහුව ප්‍රාණවත්ව තැබුවේය. 

ඔහු ඇවිද ගොස් පුටුව උඩ වූ යමක් ගෙන වාඩි විය. විදුලි පහන් දෙක තුනකින් එළිය වූ අංගනයේ ඔහු පොතක් කියවනවාදැයි සැකයට මම මඳක් ළඟට ගොස් බැලුවෙමි. ඔහු රූට කන්නේ දැන්ය. මා දුටු නිසා බත්පත පුටුව උඩ තබා ඔහු ආවේ ඔහුගේ සේවය ඉටුකරන්නටය. අපිට වගේ ලන්ච් හවර් ඔහුට නැත. ඉඩ ඇති වෙලාවක කෑවේය. 
දැන්ද කන්නෙ මෙච්චර රෑ වෙලා මම ඇසූ විට ඔහු මා දෙස බලා සිනාසීය. 

ඔව් මහත්තයා අද කෑම එන්න ටිකක් පරක්කු වුණා. මේවගෙ ටොන් ගණන් කෑම ඉතුරු වෙලා විසිකරනව. අපිට දෙනවයැ එක ඇටයක්. මේ ගෙදරින් තම්බලා දෙන එක.* යැයි කියා ඔහු උත්සව ශාලාව දෙස රවා බැලුවේය.
අපරාදයක් නම් තමයි ඒක. ඔබතුමා සතියට කී දවසක් රෑ ඉන්නවාදැයි ඇසුවේ මේ මිනිසාගේ ජීවිතේ සැඳෑසමය ගැන උපන් සංවේගයෙනි.

"හෙට අපේ මිණිපිරී ඉස්කෝලෙ යන දවස. මාත් යන්න ඕන බාරදෙන උත්සවේට. ඒකයි අද රෑ ආවෙ. ඔහු කීවේ කටේ බත් පුරවාගෙනය. බත් පතේ තියෙන්නේ මොනවාදැයි රසයෙන් හඳුනනවා මිස පෙනෙන්නේ නම් නැත. 
පාට පාට කෑම වර්ග හදන තරු හෝටලයේ සේවකයෙක් ගන අඳුරේ බත් පතක් අත ගාන්නේය. මේ ක්‍රමය මහා පුදුම සහගතය. මිනිසුන් මේ සියල්ල මුදල් අරභයා ගොඩනගා ගත් ක්‍රමවේදයන්ය. ඒවා සකසා ඇත්තේ මනුස්සකම යන සාධකය කෙතරම් බැහැර කිරීමෙන් පසුවද යන්න සිතා බැලූ විට ඒ මිනිසුන් එසේ අනෙකුන්ගේ දුක වේදනාව නාඳුනන තැනට පත්වූයේ කෙසේද? ඩාවින්චිට කොහේ හෝ වැරදුණාවත්ද අපේ පරිණාමය කොහේ හෝ අවුල්ය.
මෝටර් රථයක නළාවේ හඬට ගැස්සී නැගිටුණු සිකුරිටි මහතා බත් පත නැවත පුටුව උඩ අකුලා ඉඳුල් අතින්ම දිව ගියේය. මමත් යන්නට හැරී විදුලි එළියෙන් වර්ණ ගැන්වුණු තරු පහේ හෝටලය දෙස බැලුවෙමි. ප්‍රතාපවත් ලෙස ඉහළට එසවුනු ජාතික ධජයක්ද එහි විය.
සිමෙන්ති කඳුළින් දියකර සත් මහලයි තනන්නේ පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ යැයි ගුණදාස කපුගේගේ ගීතයක් ශාලාව ඇතුළින් වැයෙන්නට විය. මමද ආපස්සට හැරී හෝටලයෙන් එළියට ගමන් කළෙමි. හමුවෙමු මේ අහස යටම!

 තිසුම් නලින