අප පාසල් යන සමයේ කටුවන පියනන්ද හිමි යන නාමය රට පුරාම ප්‍රකටව තිබුණි. දැන් මෙන් රූපවාහිනියෙන් බණ දෙසන හාමුදුරුවරු ජනප්‍රියව නොසිටි ඒ කාලේ චිත්‍ර අදින කටුවන හාමුදුරුවෝ යන නම චිත්‍ර කලාවට ලැදි කවුරුත් දැන සිටියහ. එච්.ඒ. කරුණාරත්න, එච්.එස්. සරත්, සීවලී ඉලංගසිංහ, ජගත් වීරසිංහ ආදි චිත්‍ර ශිල්පීන් අතර කටුවන පියනන්ද නාමයද සඳහන් විය.
වසර 54කට සීමා වූ උන්වහන්සේගේ ජීවිත කාලයෙන් අවසන් කාල සීමාව ගතකළේ අසනීප ස්වභාවයෙනි. ජයවර්ධනපුර රෝහල අසල භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නේවාසිකව වැඩසිටි කටුවන හිමියන් අපවත් වූයේද එහි වැඩසිටියදීය. පසුගිය 1දා උන්වහන්සේගේ ආදාහනය පැවැත්වුණේ ද අප්‍රකටවය. ඒ සඳහා ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ සහභාගීත්වයක්ද ලැබුණේ නැත.
මහාචාර්ය වල්පොල රාහුල හිමි වරක් කටුවන පියනන්ද හිමියන්ගේ චිත්‍ර ගැන මෙලෙස පවසා තිබිණි.
“මෙම භික්ෂුවගෙන් එම චිත්‍රවල අර්ථය ගැන නොඅසන්න. තාගෝර් කීවාක් මෙන් එම චිත්‍ර විසින්ම චිත්‍රවල අර්ථය පැහැදිලි කරනු ඇත.
දකුණේ මුල්කිරිගල ඡන්ද කොට්ඨාසයට අයත් කටුවන ගම්මානය ප්‍රකටව පැවතියේ ඕලන්ද බලකොටුවක නටබුන් නිසාය. නමුත් පසුගිය කාලයේ එම ගම ලොව පුරා ප්‍රකට වූයේ කටුවන පියනන්ද නම් චිත්‍ර ශිල්පීය භික්ෂූන් වහන්සේ නිසාය. කටුවන ගොවි දෙමාපියන්ට දාව 1965දී උපන් සිසිරරත්න ලියනගේ සිව්දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා විය. හොරවින්න මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබාගත් සිසිරරත්න වයස අවුරුදු 12 පමණ වනවිට පැවිදි දිවියට ඇතුළත් විය. “පන්සලේ හාමුදුරුවෝ වගේම මගේ දෙමාපියන්ද මා සාසනයට ඇතුළත් කිරීමට කැමැත්තෙන් හිටියා. මම ඒගැන නැවත සිතුවා. මට හිතුණේ සිවුර දාගෙන කුඹුරු මැදින් ගමන් කරන භික්ෂුන්ගේ දර්ශනය කෙතරම් විචිත්‍රද කියලයි. බුදුන් වහන්සගේ වර්ණ කෙරෙහි දැක්වූ සංවේදීතාවය එහි ගැබ්ව තිබෙන්නට ඇති. පියනන්ද හිමියන් පසුව පවසා තිබේ.
බාල කාලයේ පටන්ම වර්ණ හා චිත්‍රවලට දැක්වූ කැමැත්ත නිසා සිසිරරත්න ගිහි කාලයේද ගමේ කලායතනයක චිත්‍ර ඉගෙනීමට ගියේය. භික්ෂුත්වයට ඇතුළත් වූ පසු අධ්‍යාපනයට අකුරැස්ස සියඹලාගොඩ විද්‍යා කීර්ති පිරිවෙණට ගියහ. එහිදී උන්වහන්නේ දියසායම්, පෑන්, පැන්සල් භාවිතයෙන් චිත්‍ර නිර්මාණය කළහ. “සාමාන්‍ය පෙළ සමත් වුණාට පසු උසස් පෙළට චිත්‍ර හදාරන්නට මට අවශ්‍ය වුණා. බෞද්ධ ශිෂ්ටාචාරය සහ දේශපාලන විද්‍යාව, සිංහල යන විෂයන්ද සමඟ චිත්‍ර ඉගෙනීමට මම හොරණ විද්‍යාරත්න පිරිවෙණට ආවා. මගේ කලා හැකියාවන් හඳුනගත් මුල්ම චිත්‍ර ගුරුතුමා වුණේ ආරියපාල ගමගේ. මම චිත්‍රවලට ‘A’ සම්මානයක් සහිතව උසස් පෙළ සමත් වුණා.
පසුව පියනන්ද හිමියන්ට අවශ්‍ය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන පීඨයට බැඳී චිත්‍ර කලාව හදාරන්නටය. එහෙත් භික්ෂූන් වහන්සේ නමකට සෞන්දර්ය විෂයයන් හැදෑරීමට බාධක වැටුණි. නමුත් උන්වහන්සේ ඇල්බට් ධර්මසිරි, තිලක අබේසිංහ, සුමන දිසානායක වැනි විශිෂ්ට සිත්තරුන් වෙතින් චිත්‍ර කලාව ප්‍රගුණ කළහ. තෙල් සායම්වලින්, කැන්වසය මත මැවෙන උන්වහන්සේගේ චිත්‍ර 80 – 90 දශකවල බොහෝ දෙනා මිලදී ගත්හ. චිත්‍ර ප්‍රදර්ශන රාශියක්ද එකල අගනුවර ආශ්‍රිතව පැවැත් වුණි. 1984 දී වේදනා, 1985 දී යථාර්ථය, 1986 සාමය මිනිසාටමය, 1986 මිහිතලේ මිනිස්සු, 1988 මගී රේඛා, 1990 පෙළ ගැස්ම එම ප්‍රදර්ශන කිහිපයකි. 1994 දී පියනන්ද හිමියන්ගේ චිත්‍ර මලයාසියාවේ සහ සිංගප්පූරැවේදී ප්‍රදර්ශනය කෙරිණි. ඊට පසු ලන්ඩනය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ නෙදර්ලන්තය හා රටවල උන්වහන්සේගේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්විණි. මේ සඳහා එවකට රජයෙන් ගුවන් ගමන් වියදම් දැරුණි. යුරෝපීය කලා විචාරකයෝ උන්වහන්සේගේ චිත්‍ර කලාව අගය කළහ. එම චිත්‍රවලට ඒ රටවලින් ඉහළ ඉල්ලුමක්ද හිමි විය.
කෙසේ වුවත් අවසානයේ උන්වහන්සේගේ චිත්‍ර කලාව හිටි ගමන් නතර විය. උන්වහන්සේද නිහඬ ජීවිතයකට හුරු වූහ. පින්සල්, කැන්වස් දුහුවිලි බැඳී ගියේය. උන්වහන්සේට උවටැන් කරමින් රැකබලා ගත්තේ ජයවර්ධනපුර සම්බුද්ධාලෝක භික්ෂු මධ්‍යස්ථානයේ විහාරයේ නායක හිමියන් විසිනි. කටුවන හිමියන්ගේ හිතවතෙක් වන මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ සටහනකින් මෙම ලිපිය නිම කරමි.
“පූජ්‍ය කටුවන පියනන්ද හිමි චීවරයද දරාගෙන චිත්‍ර කලාවේ විශිෂ්ටත්වය සොයා යන්නට තැත් කළ අහිංසක හදවතක් ඇති මුදු බසැති භික්ෂු නමක් වූහ. ආරම්භක ප්‍රතිභා ශක්තිය ඇති තරුණ කලාකරුවකුට පූර්ණ ප්‍රවීණත්වය කරා ඊළඟ පිම්ම පනින්නට අවශ්‍ය වන්නේ මොනවාදැයි මගේ නිවසේ ඇති පියනන්ද හිමිගේ චිත්‍රය දෙස බලාගෙන මම දැනුත් කල්පනා කරමි.
කුසුම්සිරි