දින දෙක තුනක් කොරන්ටයින් වී සිටි රොබින්, සඳුදා වැඩට ආවේ කනස්සලු පෙනුමිනි.
මොකද තත්ත්වෙ? ජයසිංහ ඇසුවේය.
ඔක්කොම අවුල් නේද සර්.
මොනවද අවුල්? විස්ස ගොඩදාගත්තනෙ ලස්සනට. ජාති - පක්ෂ බේදයක් නැතුව, රට වෙනුවෙන් ඡන්දය දුන්නනෙ?
ඒ ඉලව්ව නෙවෙයි සර්, බොරැල්ල ලොක්ඩවුන්, මරදාන ලොක්ඩවුන්, කොටුව ලොක්ඩවුන්, මැනිං මාර්කට් ලොක්ඩවුන්, පාර්ලිමන්ට් එකත් ලොක්ඩවුන්. රොබින් එක දිගට කියාගෙන ගියේය.
පාර්ලිමන්ට් එක ලොක්ඩවුන්? තමුසෙට පිස්සුද රොබින්... බ්‍රේකිං නිව්ස් එකක් ආවද... එෆ්.බී. එකේ තිබුණද?
ඔව්. මැනිං මාර්කට් ලොක්ඩවුන්.
ඒක හරි. එතකොට පාර්ලිමන්ට්?
මොකක්ද වෙනස? ජයසිංහ අතින් කට වසාගෙන වටපිට බැලුවේය.
ඔහුට පසුගිය දිනවල රෑපවාහිනියෙන් නැරඹූ දේවල් මතකයට නැඟුණි. සුදු ඇඳගෙන කළු ඇවිදින්ය. සහෝදරයන්ට මුල අමතකය. තණමල්විල කොල්ලෝ කෑකෝ ගසද්දී, සකල ගුණේ සිනාසෙමින් බලා සිටියි. දෙවෙනි ඉණිමද ඉවර වෙන පාටක් නැත.
රොබින්, පරිගණක අංශයට යනවිටම එහි සිටි මාලි මිස් කෑ ගැසුවාය
රොබින්, මොකද තමුසෙගෙ ඔළුවෙ හැටි. කොණ්ඩෙ පීරුවෙ නැද්ද. මේක කන්තෝරුවක්. පිස්සන් කොටුවක් නෙවෙයි.
ඔළුවම අවුල් වෙලා තියෙද්දී, කොණ්ඩෙ විතරක් පීරලා ඇති වැඩේ මොකක්ද මිස්? රොබින්ගේ හඬ දුක්මුසුය.
ඇයි, ඔයාලගෙ පවුලෙ කවුරු හරි පොසිටිව්ද?
දෙයියන්ගෙ පිහිටෙන් එහෙම කරදරයක් නං තාම නෑ
එහෙනං මොකද මූණ එල්ලගෙන.
මේ කොරෝනා කෙළිය ආයෙත් ආවනෙ මිස්.
ඒක ඉතින් අපිට විතරක් තියෙන ප්‍රශ්නයක්යැ. ඉන්දියාවෙ දැන්, හෙම්බිරිස්සාව වගේලු. ඇමෙරිකාවේ ට්‍රම්ප්ටත් හැදුණා. දැන් ඔය අපූරුවට වැඩ කරගෙන ඉන්නෙ. මාලි මිස්, රොබින් සැනසීමට උත්සාහ කළාය.
ට්‍රම්ප්ටත් නැති ප්‍රශ්න මිස්, මට තියෙන්නෙ
ඒ මොනවද... ඔය තරම් ලොකු ප්‍රශ්න.
හෙට අපේ වයිෆ්ගෙ මල්ලියි, එයාගෙ පවුලයි අපේ ගෙදර එනවා ටික දවසකට නවතින්ඩ.
ඒ මොකද හදිස්සියෙම?
වයිෆ්ගෙ මල්ලි, ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. මිනිහට මේ දවස්වල වැඩ නෑ.
කෙනෙකුට කරදරයක් වුණාම උදව් කරන එක යුතුකමක්නෙ. අනික කවුරුවත්යැ, මස්සිනානෙ.
මස්සිනා පැත්තකින් තියමුකො. අපේ නංගියි, එයාගෙ පවුලයි අනිද්ද එනවලු. ටික දවසකට.
මොකක්ද ඒගොල්ලන්ගෙ ප්‍රශ්නෙ.
නංගිගෙ මහත්තයා වැඩ කෙරුවෙ, හික්කඩුවේ හොටෙල් එකක. ඒක වහලලු.
ඔව්. හෝටල් නං හුඟක් වැහිල තමයි. ඒත් ළඟදි ආපහු අරී. රුසියාවෙන්ද කොහෙද ටුවරිස්ට්ල එන්ඩ යනවා.
හෝටලුත් පැත්තකින් තියමුකො මිස්. සති අන්තෙ, මගේ යාළුවෙකුත් එනවා. මිනිහගෙ පවුලත් එක්ක ටික දවසකට.
මොකටද එයා එන්නෙ? මේ කොරෝනා දවස්වල පිට මිනිස්සු ගෙවල්වලට එනවයැ. මාලි මිස් ටිකක් තදින් කීවාය.
එන්න එපා කියන්න බෑ මිස්. මිනිහා වැඩ කෙරුවෙ පෑලියගොඩ මාළු මාර්කට් එකේ.
රොබින් දැන්නෙ කියන්නෙ. අපරාදෙ කලින් දන්නව නං ලාබෙට මාළු ටිකක්වත් ගන්න තිබුණා. මාලි මිස්, මුහුණ ඇඹුල් කළාය. මේ කතාව අසා සිටි ඇක්මන්, රොබින්ට අතින් කතා කළේය.
රොබින්, තමුසෙ දන්න පී.එච්.අයි. මහත්තයෙක් නැද්ද?
ඇයි සර්, පී.සී.ආර්. එකක් කරගන්නද?
නෑ අයිසෙ, තමුසෙ ගෙදරට එන්ඩ යන නෑදෑ මාර සේනාව නවත්ත ගන්ඩ ක්‍රමයක් තියෙනවා.
මොකක්ද සර්?
පී.එච්.අයි.ට එන්ඩ කියලා, ගේ දොරකඩට නෝටිස් එකක් අලව ගන්නවා. මෙය නිරෝධායනයට ලක්කර ඇති නිවසකි කියලා.
නියම අයිඩියාස් එක සර්. රොබින්ගේ මුහුණේ එතරම් ලොකු සිනාවක් මතුවුණේ, කොරෝනා පළමු අදියරේ අවසාන සමයට පසුව විය යුතුය. එදින රොබින් ගෙදර ගියේ වයින් ස්ටෝර්ස් එකටද ගොඩවී ගෙනය.
උපක්‍රමය ඇසූ බිරිඳද, වටපිට බලා ළමයින්ට හොරෙන්, රොබින්ට හාද්දක් දුන්නාය.
ඔයාගේ මොළේ තමයි මොළේ.
එය තනිකරම, රොබින්ගේ අයිඩියාස් එකකැයි සිතූ බිරිඳ මහත් සේ ආඩම්බර වූවාය
එදින රොබින්, බොහෝ කලකට පසු බිරිඳගේ විරෝධතාවයකින් තොරව නිදහසේ අඩියක් ගැසුවේය. බිරිඳ ඔහුට ඔම්ලටයක්ද සාදාදුන් අතර, රාත්‍රියේද අඩි තුනේ දුරස්ථතාව පවා නොතැකුවාය.
රොබින්, දින දෙකකට පසු වැඩට ආවේ, යළිත් පෙර සේම මුහුණ එල්ලාගෙනය.
මොකද රොබින්? ආයෙත් ප්‍රශ්නයක්ද? ඇක්මන් ඇසුවේය.
සර්, අර තුන්ගොල්ලම ගෙදර ආවා.
පුදුම මිනිස්සුනෙ! නෝටිස් එක දැකලවත් බයවුණේ නැද්ද?
නෑ සර්. ඒ ගොල්ලො කියනවා, නිරෝධායන නෝටිස් එකත් දැන් කොරෝනා වගේම සාමාන්‍ය දෙයක්ලු. නැති තැනක් නෑලු.
කපිල කුමාර කාලිංග