2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

අසල්වැසියාට ප්‍රේම කරමි

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

තමන්ගේ රට ගැන ලිවීමට නොහැකි කාලයකදී ඔබ ලියන්නේ කුමක් ගැනදැයි උපහාස තීරු ලිපි ලියන්නෙකුගෙන්, ප්‍රශ්න කෙරුණු අවස්ථාවක ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. 

මම මගේ අසල්වැසි රට ගැන ලියනවා.

එයද උපහාසාත්මක පිළිතුරක් ලෙස පෙනුණද, එතුළ යටිපෙළක්ද ඇති බව පෙනී යයි. කිසියම් රටක අසල්වැසියා දුබල නම්, කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත්, අසල්වැසියා ප්‍රබල නම්, මධ්‍යම ප්‍රතිපදාවෙන් පැවතිය යුතුය.

මමද ඇතැම් විට වාසිබෝලන්තය නමැති අප්‍රකට අප්‍රිකානු රාජ්‍යයක් ගැන ලිවීමට පෙළඹෙන්නේ, ඉහත කී තීරු ලිපි රචකයා අනුගමනය කරමින්ම නොවේ. වාසිබෝලන්තය හා සිරි ලංකාව අතර ඇති සමානකම්ද නිසාය.

අපේ මහා අසල්වැසියා ඉන්දියාවය. එහෙයින්ම, අපේ කෑම බීම, නම් ගම්, සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම් ආදියේ සිටම, දෙරට අතර සමානකම් බොහෝය. දේශපාලනයද එසේම යැයි මා නොකිවහොත්, ඉන්දියානුවන් පවා මට එරෙහිවීමට ඉඩ ඇත. මුරලි පිළිබඳ චිත්‍රපටය කඩාකප්පල් කර දැමූ ඔවුනට, මගේ අහිංසක තීරු ලිපිය රට කජ්ජක් තරම්වත් නොවටී.

මම අසල්වැසියාට ප්‍රේම කරන්නෙක්මි. ඇතැම්විට ඔහුගේ දොරට තට්ටු කොට, වීසාද ලබාගන්නෙක්මි. ඉන්දියාවේ මට බොහෝ මිතුරෝ වෙති. ඉන් වැඩිදෙනා පුවත්පත් කලාවේදියෝය.

ඉන්දියාවට ගිය විට, මම ඔවුන් සමඟ රම් බොමින්, හින්දියෙන් කතා කරමි. ඔවුන් ලංකාවට ආ විට, අරක්කුවලින් සංග්‍රහ කරමින්, ඉංග්‍රීසියෙන් කතා කරමි.

මෙහිදී හින්දියෙන් කතා නොකරන්නේ, නිතර නිතර ඉන්දියාවට යන මා රෝ නියෝජිතයකු යැයි, මගේ මාධ්‍ය මිතුරන් සැක කිරීමෙන් වළකිනු පිණිසය.

අප රට හා සසඳන කළ, ඉන්දියානුවන් වැඩිදෙනා, ඉංග්‍රිසි මාධ්‍යයෙන් උගෙන, ඉංග්‍රිසියෙන් දොඩන හා වැඩකරන අයය. සිංහලය රාජ්‍ය භාෂාව කරගත් අපේ බහුතරයකට ඉංග්‍රීසි බැරි නමුත්, ඉන්දියානුවන්ට වඩා හොඳින්, ඉංග්‍රීසි උච්චාරණය කරන්නෙමු යැයි ආඩම්බරයක්ද ඇත. එහෙයින්, අට පාස් ශ්‍රී ලාංකිකයකුට වුවද, ඉන්දියාවන්ට එලකියුෂන් පංතියක් දමා ගැනීමේ හැකියාවක් ඇත.

කලක් මා සේවය කළ ආයතනයක, මගේ අංශ ප්‍රධානියා වූයේ, වෙළෙඳ ප්‍රචාරණය පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති ඉන්දීය කාන්තාවකි. එක් දිනක්, ඇය මා සමඟ මෙසේ පැවසුවාය.

මට මෙහෙදි, එහෙදි බලන්ඩ බැරි හින්දි චිත්‍රපට බලන්ඩ ලැබෙනවා... රෑපවාහිනී නාලිකාවලින් ඒ සමහර චිත්‍රපට, මම ඉපදෙන්නත් කලින් හදපුවා. මම නිශ්ශබ්ද වූයෙමි.

තවත් දිනෙක, ඇය සමඟ ගමන් කරද්දී, තාප්පයක අලවා තිබූ චිත්‍රපට පෝස්ටරයක සිටි රන්ජන් රාමනායක දුටු ඇය, මේ ඔබලාගේ ශාරුක් ඛාන්දැයි ඇසුවාය.
ඔහු ශාරුක්ට වඩා නිර්භීත නළුවෙක්. මම ඇගේ කර්කෂ උපහාසයට, ප්‍රති ප්‍රහාරයක් දුන්නෙමි.

ඇයි එහෙම කියන්නෙ? ඇය, නළල රුළි ගන්වමින් මදෙස බැලුවාය.

ශාරුක්, ලංකාවට දාපු වෙලේ. එක බෝම්බයයි ගැහුවෙ. ආයෙ කවදාවත් මේ පැත්ත පළාත බලන්නෙ නෑ කියල ආපහු ඉන්දියාවට ගියා. ඒත් අපේ රන්ජන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරපු අයගෙන්, කොච්චර තර්ජන ආවත්, එයා ලංකාවෙන් පැනල ගියේ නෑ.

මම අපේ මිනිහා රැක ගතිමි. ඔහුගේ පාර්ලිමන්ට් ජෝක්ස් කෙසේ වෙතත්, අපේ ෂෝක්, අපිට ෂෝක්ය. ඉන්දියානු මිතුරිය (ප්‍රධානියා) යළි ඉන්දියාවට යනතුරුම මා සමඟ, චිත්‍රපට ගැන කතා කළේ නැත. එසේම ඇය වැරදීමකින් හෝ රන්ජන්ගේ චිත්‍රපට නරඹන්නටද නැතැයි සිතමි.

අමෙරිකානු ගුවන් තොටුපළකදී තමා හඳුනා නොගැනීම ගැන උරණ වූ ශාරුක් ඛාන්, ඔවුනට හොඳ පාඩමක් උගන්වමියි වහසි බස් දොඩා, මයි නේම් ඊස් ශාරුක් ඛාන් මැයින් චිත්‍රපටයක් නිපදවීය. ඉන්පසු, සෑම අමෙරිකානු ගුවන් තොටුපළකම හා ගුවන් යානයකම එම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ. එහෙත්, ඉන්පසුව ශාරුක්, අමෙරිකාවට යන්නේ වෙස්වළාගෙන යැයි පැවසේ.

අපගේ රන්ජන්ට නම්, ලෝක ප්‍රසිද්ධ වීම සඳහා මයි නේම් ඊස් රන්ජන් යනුවෙන් චිත්‍රපට නිපදවීමට අවශ්‍ය නැත. හිස් නේම් ඊස් රන්ජන් මැයින් චිත්‍රපටයක් බොලිවුඩයේ හෝ හොලිවුඩයේ නිපදවුවහොත් ඒ ගැනද පුදුම විය යුතු නැත. (අසල්වැසියාට ප්‍රේම කරන අතරේම, අපේ මිනිසුන් ගැන ආඩම්බරවීමද මගේ සිරිතකි. ඉන්දියානු රම් වලට වඩා, සිරි ලංකාවේ අරක්කු වදින සුළු යැයි උදම් අනන්නා සේ මය.)

මෙවර මා දේශසීමා පැන යන්නේ, ඊයේ පෙරේදා සිරි ලංකාවට පා තැබූ මයික් පොම්පියෝ මඟහැර ඇඟ බේරාගන්නට යැයි කිසිවෙකුට සිතෙන්නට පිළිවන. කිසිසේත්ම නැත.

පොම්පියෝගේ පැමිණීම, පොම්පේයි නගරයේ විනාශයටත් වඩා විනාශකාරී වනු ඇතැයි සමහරු කීහ. කවදත් අමෙරිකානු නිලධාරි ආගමනයන්ට විරෝධතා දක්වන සුපුරුදු මුහුණු මෙවර දක්නට නොතිබුණද, එබඳු විරෝධතා කීපයක්ම පැවැත්වුණි. අර කවුදෝ මෙන් පොම්පියෝද ආවේය. ගියේය. ආවේ කුමටදැයි සැබෑවටම දැන ගැනීමට මඳ කලක් බලා සිටිය යුතුය.

පොම්පියෝ ඉන්දියාවටද ගියේය. එහිදී ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙක්, ඉන්දීය රාජ්‍ය නිලධාරියකුගෙන් මෙසේ විමැසීය. 

අපි හිතමු කොවිඩ් 19න් ඉන්දියාවේ මුළු ජනගහණයම විනාශ වේවි කියලා... එහෙම වුණොත් ඉන්දියාවක් ඉතිරි වෙයිද?

ඉන්දියාවක් නැතත් හින්දු ආගම නම් ඉතිරි වෙයි.

ඉන්දීය නිලධාරියා පිළිතුරු දුන්නේ, ඇමෙරිකානුවාගේ නළල රුළි ගන්වමිනි. (මම මෙවර ලියුවේ, අසල්වැසි ඉන්දියාව ගැන බව, යළිදු අවධාරණය කරනු කැමැත්තෙමි)

කපිල කුමාර කාලිංග