අප අසල්වැසි මයිලපිටිය මහතා කොතරම් යහපත් පුරවැසියකුදැයි කිවහොත්, ඔහු දුර තියා එද්දීම ග්‍රාම නිලධාරී මහතා චරිත සහතිකය ලියා නිම කරයි. රජයේ සේවකයකු වන මයිලපිටිය, දේශපාලනය ගැන මතුපිටින් උනන්දුවක් නොදක්වන්නකු නමුදු, රජයෙන් ජනතාවට යම් යම් සහන ලැබේවි යැයි සිහින දකින්නෙකි. රජයේ සේවකයකු, රජයෙන් උදව් උපකාර අපේක්ෂා කිරීම, අම්මා අප්පාගෙන් දේපල බලාපොරොත්තු වීමට සමාන බැවින්, එහි කිසිදු වරදක් නොපෙනේ.
මෙවර අයවැයෙන්, බඩු මිල අඩු වී, ජීවන වියදමට කිසියම් සහනයක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් සිටි මයිලපිටිය, කිසියම් කලකිරීමකට පත්විය. ඒ මදිවට, ඔහුට අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවර්ගයකට, විශේෂ බද්දක් පැනවීමට යන බව දැනගැනීම ද කනස්සල්ලට කාරණයක් විය.
මයිලපිටියගේ දේශපාලන මනස මෙසේ වුවත්, ඔහුගේ බිරිඳ - මිසිස් මයිලපිටිය - නම් සිටියේ මහත් සතුටිනි. ඊට ප්‍රධාන හේතු දෙකක් තිබුණි. පළවැන්න, විශ්‍රාම යාමට ආසන්න වෙමින් සිටින සැමියාගේ සේවා කාලය, තව වසර පහකින් දීර්ඝ වීමය. දෙවැන්න, රජයේ සේවයේ යෙදී සිටින අතරම, වෙනත් රැකියාවක (ආදායම් මාර්ගයක) යෙදීමට ද අවසර ලැබෙන්නට යාමය.
එහෙත්, මේ දෙවැනි කාරණයට, මයිලපිටිය එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත.
ඔෆීස් එකේ වැඩ කරලා, මහන්සි වෙලා ඉද්දි, ආයෙත් රස්සාවක් කරන එක නං ලේසි නෑ. මයිලපිටිය, බිරිඳ සමඟ කීය.
මහන්සි? ඔයාමනෙ කියන්නෙ, ඔෆීස් එකට ගියාම විතරයි, ටිකක් නිවාඩු පාඩුවේ, සැනසිල්ලෙ ඉන්නෙ කියලා.
ඒක හරි. ඒ වුණත්, පැය අටක් නිකම්ම ඉන්න එකත්, තෙහෙට්ටුවක්
ඔය පැය අටෙන් පස්සෙ, තව පැය හතරක් විතර, යාළුවොත් එක්ක බාර් ගාණෙ ඕවර් ටයිම් කරන එකේ, අමතර ආදායමක් ලැබෙන පාට් ටයිම් වැඩක යෙදුණම නරකක් වෙනවයැ. බිරිඳ, කට ඇද කර සිනාවක් පෑවාය.
මට මේ රස්සාව ඇර, වෙන දෙයක් කරන්න දැනීමකුත් නෑනෙ.. අනික කවුද අපිට රස්සාවක් දෙන්නෙ? අපි දැන් වයසයිනෙ.
සෙකියුරිටි ජොබ් එකක් වගේ හොයාගත්තොත් කොහොමද? වැඩක් කරන්නත් නෑනෙ. නිකං ඉඳගෙන ඉන්න එකනෙ.
අපෝයි! අපේ කවුරු හරි දැක්කොත්? ඊට පස්සෙ මම ඔෆීස් යන්නෙ කොහොමද?
එහෙමනං ඇතුළෙ කරන ජොබ් එකක් හොයාගන්න... රේස් ඔට්ටු දාන තැනක් හොඳ නැද්ද?
අපෝයි! අපේ සමහර එවුන්ට, අස්සයන්ගෙ පැටිකිරියත් කටපාඩම්.
මං කොච්චර කිව්වද, ඉවුම් පිහුම් ටිකක් ඉගෙනගන්ඩ කියලා. එහෙම නං, හෝටලේක කිචන් එකේ හෙල්පර් කෙනෙක් හරි වෙන්න තිබුණනෙ
ඔයා සිහිබුද්ධියෙන් ද කතා කරන්නෙ? රජයේ සේවකයෙක්ට පුළුවන්ද
කෝකියෙක් වෙන්ඩ? මොකක්ද මගෙ තත්ත්වෙ?
ඔයා හිතන්නෙ, රජයේ සේවකයන්ට, තත්ත්වයක් තියෙනවා කියලද? එහෙම නං, මොකක් හරි නඩුවකට අහුවෙලා, පස්සෙ, නිදොස් කොට නිදහස් වෙන්න ඕනෙ. මයිලපිටිය මහත්මිය යළිත්, කට ඇද සිනාව පෑවාය.
මේ පාර බජට් එකෙන් ලොකු ගාණක් වෙන් කරල තියෙන්නෙ, මාර්ග සංවර්ධනේටලු.. ඔයාට බැරිද, හයිවේ ප්‍රොජෙක්ට් එකක, පාට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. පඩිත් හොඳ ඇති? ඇය යළිත් අදහසක් ඉදිරිපත් කළාය.
ඒවා තියෙන්නෙ දුර පළාත්වල. රෑ දවල් නැතුව වැඩ. ඕවා කරන්න ගිහින්, මට මේ තියෙන ජොබ් එකත් කෙළ වෙයි! මයිලපිටිය, මුහුණ හැකිළුවේය.
ඔහොම පස්ස ගහල බෑ ඒයි. ළඟකදි පඩි වැඩිවීමක් නං වෙන එකක් නැතිලු. ඒකනෙ, පුළුවන් විදිහකට, තව කීයක් හරි හොයාගනිල්ලා කියල නොකියා කියන්නෙ.
තව ටිකක් ඉවසල බලමුකො.. මට තව අවුරුදු පහක් තියෙනවනෙ. ඒ වෙනකොට, මේගොල්ලො පඩි වැඩිවීමකුත් කරයි.
මනුස්සයො, අපිට තව පහක් තිබුණට, මේගොල්ලන්ට තියෙන්නෙ තව හතරයි. ඒ ටිකේ, කුඩු අල්ලන්ඩයි, කොරෝනා මර්දනයටයි, පරණ නඩු ඉවර කරන්ඩයි, යහපාලනේට බැණ බැණ ඉන්ඩයි කාලේ ගියාම, පඩි වැඩි කරන්ඩ වෙලාවක් තියෙන එකක් නෑ.
නෑ නෑ. මේගොල්ලො දුන් පොරොන්දු ඉෂ්ට කරනවා කියලා, ආයෙත් පොරොන්දු වුණානෙ. සමෘද්ධිය උදා කරනවාමයි කියල, ළඟදිත් කිව්වෙ.
ඒක උදාකරන කල් බලන් හිටියොත්, ඔහෙට වෙන්නෙ සමෘද්ධියක්වත් ඉල්ලගන්ඩ තමයි. මයිලපිටිය මහත්මිය, ඔඩොක්කුවේ සිටි බළලා, බිමට ඇද දැමුවාය.
ඒ සමඟම, ගුවන්විදුලියේ පැයේ පුවත් ප්‍රචාරයකින් කියැවුණේ, මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවකි. මයිලපිටිය මහත්මියගේ මුව පුරා සිනාවක් ඇඳුණි.
ඒයි, ඔන්න කරනවා නම්, පාට් ටයිම් ජොබ් එක! අමතර ආදායමක් නෙවෙයි, පරම්පරා හතකට හොයන්න පුළුවන්.. ලක්ෂරි ෆ්ලැට් එකකුත් ගත්තැකි. කැමති නං, අපි දෙන්නට සිංගප්පූරුවේ පදිංචියටත් ගියෑකි... දැන්ම ගිහිල්ල බලන්ඩකො. ඇය පෙරුත්ත කළාය.
දැන් හවස් වෙලානෙ. මං යනකොට මහ බැංකුව වහල තියෙයි.
නෑ නෑ. ඒගොල්ලො රූ වෙනකල් ලයිට්ස් දාගෙන වැඩ කරනවා.
මයිලපිටිය, මහ බැංකුවට යාමට සූදානම් වූයේය.
කපිල කුමාර කාලිංග