සාමාන්‍යයෙන් මා මෙම තීරු ලිපිය ලියන්නේ සඳුදා දවස්වලය. පසුගිය සඳුදා උදයේද කුමක් ලියම්දැයි කල්පනා කරමින් සිටියෙමි. ඒ ලිවීමට දෙයක් නැති නිසා නොව, වැඩි නිසාය. මා මිත්‍ර වාසිබෝලන්ත මාධ්‍යවේදියකු වන සකුර්දියා බටාජාන් නිතර පවසන අන්දමට පුවත් ලැබීම අතින් සිරි ලංකාවේ මාධ්‍යවේදීන් තරම් වාසනාවන්ත පිරිසක් ලොව වෙන කොහේවත් නැත. කතාව ඇත්තය. මේ රටට හැම දවසක්ම උදාවන්නේ කුමක් හෝ ජංජාලයක් සමඟය. කිසිම දෙයක් නැත්නම් අඩුම තරමින් උල්කාපාත වරුසාවක් හෝ ඇද හැලෙයි. (එය පෙනීම හෝ නොපෙනීම වෙනම කතාවකි.)
ඉතින් පසුගිය සඳුදා එසේ කල්පනා කරමින් සිටියදී අප කාර්යාලයේ කාර්ය සහායකවරයකු වන (දැනටමත් ඔබ හඳුනන) රොබින් එහි පැමිණියේ අලුත්ම බ්‍රේකින් නිවුසයක් ද රැගෙනය.
පැණි ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා
රොබින් උස් හඬින් නිවේදනය කළේය.
කාටද එහෙම ප්‍රශ්නයක් තිබුණේ? මොකද්ද විසඳුම?
ජයසේන ඇසුවේ නළලද රැලි කරමිනි.
අපේ ඔෆිස් එකේ කවුරුවත් කෑගල්ලේ ගිහින් පොලීසියෙන් ගුටි කන්ඩ ඕන නෑ.
කියන දෙයක් තේරෙන්ඩ කියනවකො රොබින්. පැන්ඩමික් කෑලි දාන්නෙ නැතුව
ජයසේන උස් හඬින් කීවේය.
එවර රොබින් ඒ උණුසුම් පුවත ප්‍රකාශයට පත් කළේය.
ඔහුගේ ගමේ සිටින වෙද මහත්මයකු නොවන වෙද මහත්තයකු විසින් කොරෝනා පැණියක් නිපදවා ඇත. ඔහු රොබින්ගේ හිතවතකු වන නිසා අවශ්‍ය කෙනකුට ඕනෑ තරම් පැණි ලබා දිය හැකිය.
මෙය දැනගත් කාර්යාලයේ සමහරු රොබින් වට කරගත්තේ පැණි බඳුනේ වැටෙන ඇඹලයින් මෙනි.
රොබින් පැණි බෝතලයක් කීයද?
වෙද මහත්තයා සල්ලි ගන්නෙ නෑ. මේක පිනට දෙන පින් පැණියක්. හැබැයි පැණි බෝතලයක් ගිහින් දෙන්න ඕන.
මී පැණිද රොබින්?
නෑ. ඕන පැණියක්. මී පැණි, බඹර පැණි, උක් පැණි, කිතුල් පැණි, පොල් පැණි ඕන එකක්.
මල් පැණි බැරිද රොබින්?
කවුදෝ සරදමට ඇසුවේ ඇසක්ද වසමිනි.
තියෙනවනම් ගේන්න
රොබින් ද ඉඟි මැරුවේය.
කතාබහ අවසන් වූයේ කාර්යාලයේ සුබ සාධක සංගමයේ පිරිසක්, රොබින් ද සමඟ එකී පැණි වෙද මහතා හමුවීමට යාමට දිනයක් යොදාගැනීමෙනි.
ඔවුන් පළමුව ගියේ ඔහුගේ ප්‍රධාන රුකියා ස්ථානය වූ ත්‍රීවිල් ගරාජයටය. පැණි බෙහෙත් නිෂ්පාදනයට බැසීමත් සමඟම එය තාවකාලිකව වසා දමා ඇත. වඩා වාසිදායක කුමක්ද යන්න ඔහු වටහා ගෙන ඇතුවාට සැක නැත.
එසේම බාසුන්නැහේ ටයිටලයට වඩා වෙද මහත්තයා නාමය නම්බුකාරය. දොස්තර මහතකු වීම දුෂ්කර වුවත් මේ සිරි ලංකාවේ වෙද මහත්තයකු වීම අසීරු නැත. කිසිම සහතිකයක් නැති රටේ වෙද්දු මේ රටේ හැම තැනකට දැකිය හැක්කේ ඒ නිසාය.
ජාතික කොඩිය පවා පිටරටින් ගෙන්වුවද දේශීය යන වචනයට ද මේ රටේ විශාල තැනක් ඇත. එය අගට වෛද්‍ය ක්‍රමය, කර්මාන්ත, ආහාර වැනි දෑ එක් වූ විට අගය තවත් ඉහළ යයි. ජාති මාමකත්වය, පාරම්පරික විශ්වාසය, නූගත්කම, දිළිඳුකම වැනි කරුණු ඊට හේතු වූවා විය හැකිය.
කොතෙක් පර්යේෂණ කළත් බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වූ පිළිකා රෝග පවා සුව කරන දේශීය වෛද්‍යවරු සිරි ලංකාවේ පහළ වූහ. සමහර වෙද මහත්වරු කෝකටත් තෛලයක් බඳුය. ඔවුනට සුව කළ නොහැකි රෝගයක් නැත. එහෙත් හෘදයාබාධායක් සෑදුණු ගමන්ම දිව යන්නේ ඉස්පිරිතාලයකටය. දොස්තර මහත්තයෙක් ළඟටය.
කොරෝනා එන්නත සොයා ගැනීමට සෑහෙන කාලයක් ගත විය. එය ලංකාවට ගෙන්වීමට ද තවත් කලක් ගතවනු ඇත. එහි මිල ගණන් ද අපට ඔරොත්තු නොදෙයි. අපට ගැලපෙන %දේශීය කොරෝනා පැණියක්^ නිපදවීමට රටේ වෙද්දු යුහුසුළු වූයේ එහෙයිනි. ඉහත කී ත්‍රීවිල් වෙද මහත්තයා ද එබඳු රටේ වෙදෙකි.
එතුමා හමුවීමට ගිය අප මිත්‍ර පිරිසට බෙහෙත් පැණියෙන් පමණක් නොව කිරියෙන් පැණියෙන් ද සංග්‍රහ ලැබුණි. ඒ අතරවාරයේ අප මිත්‍ර ජයසේන මෙසේ විමසීය.
වෙද මහත්තයා මේ කොරෝනා පැණියට දාන දේශීය ඖෂධ මොනවද?
මම පැණි වර්ග කීපයක්ම හදනවා. මේ බෝතලේ තියෙන්නේ මී පැණියි, කොකෝ ඇටයි.
කොකෝ ඇට දේශීයද?
මොකද නැතුව. මේ පොළවේ හැදෙන හැම දෙයක්ම දේශීයයිනේ මහත්තයෝ
ජයසේන කට වසා ගත්තේය. හැම දෙයක් ගැනම වෙනස් ඇසකින් බලන සේනාසිංහ කට ඇරියේය.
මේ පැණිය ලෝක සෞඛ්‍ය සංවිධානයට හෙම ඉදිරිපත් කළොත් නරකද?
අනේ මට ඔය ලොකු ඕඩර් බාරගන්ඩ බෑ මහත්තයා. පැණි හිඟයිනේ.
වෙද මහතා අදිමදි කළේය.
බිල් ගේට්ස්ට කිව්වොත් තව පර්යේෂණ කරන්න උදව් කරයි.
ඒ කවුද මහත්තයා? ගේට්ස්? වෑල්ඩිංකාරයෙක්ද?
සේනාසිංහගේ කට ලොක්ඩවුන් විය.
මේ පැණියෙන් අතුරු ආබාධ නැද්ද?
තවත් කෙනෙක් ඇසුවේ බෝතලය කරකවමිනි.
පිස්සු කතා කරනවද? අතුරු ආබාධ ඇති වෙනවා නෙවෙයි හොඳ වෙනවා. හැබැයි එක දෙයකින් පරිස්සම් වෙන්න ඕනේ.
ඒ මොකද්ද වෙද මහත්තයෝ?
ජලභීතිකාව. මේක ගැහුවොත් ඒකනම් උත්සන්න වෙනවා. අත්දුටුවයි. සත්තයි
පිස්සු ඩබල් වෙනවා කවුදෝ මිමිණීය.
කපිල කුමාර කාලිංග