2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

කුඩ්ඩන්ට යාචකයන්ට ගිය රජකාෙල් ගල් අම්බලම

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 155

හැන්දෑ අහසේ රත් පැහැය වියැකී ගොස් රාත්‍රිය පැමිණෙන තෙක් අපි බලා සිටියෙමු. මහාචාර්ය නන්දසේන රත්නපාල ඒ මිනිසුන් ගැන සෙව්වා... ලිව්වා.... මට මතකය. ජැක්සන් ඇන්තනි සිනමාවේදියා ඇඩ්‍රස් නෑ තුළින් ඔවුන් ගැන කතා කළ මට මතකය. ඒ දෙවැදෑරැම් මතක හිතේ රන්දා අප සොයා ගියේද ඔවුන්මය.

පිටකෝට්ටේ ගල් අම්බලම ඔවුන්ගේ එක් රාජධානියකි. යාචක ජීවිත විනිවිද ලංකාවේ තවත් එක් කළ ව්‍යාපාරයක් වූ යාචක ව්‍යාපාරය ගැන ලියන්නට අප ඒ ගමන ගියා නොවේ. අප ගියේ අම්බලමේ අද තත්ත්වය කෙසේදැයි දැනගනු රිසින්ය. යකෝ මේක අම්බලම තමයි තවත් මොකක්ද අහන්නේ කියපං ඉතින් අම්බලම කියලා. රතුම රතු කමිසයක් ඇඳ සිටි කෙසඟ සිරුරක් හිමි අයෙක් කෑ ගැසුවේය. එතැන උන් තවත් අයෙකුද ඔහු‍ගේ කතාවට අනුබලයක් කර ගැනීමට ඔහු උත්සාහයක් දැරීය. ඒ අතරේ ලියන්නට බැරි සාමාන්‍ය ව්‍යවහාරයේ තිත්ත කුණුහරුප යැයි කියන කුණුහරුප වැලක්ද ඇති පදමට ලුණු ඇඹුල් ඇතිව අපට අහගන්නට සිදුවිය. මේ අතර එක් යාචකයෙක් හීන්සීරුවේ අප හා කතාවට අර ඇද්දේය. ලද ඇසිල්ලෙන් උපරිම ඵල නෙලනු රිසින් සිහින් දුර්ගන්ධය ඉවසා අපි ඔහුට වඩාත් සමීප වීමු.

ඔහු කතා කළේ ගොත ගසමිනි. මුහුණ පුරා වැවුණු සුදු පාට රැවුල් ගස්ද කළුම කළු අපිරිසිදු ශරීරයක්ද සහිත හේ කතාව අතරතුර වරින්වර කැස්සේය. උඩුකයට කිසිවක් ඇඟලා නොතිබූ ඔහුගේ කමිසය අසල බැම්ම උඩ එල්ලා තිබිණ. ඒ බිත්තියටම හේත්තුකර තිබූ කිහිලිකරු දෙකද ඔහුගේමය.
ඇයි මෙතන ඉන්නේ?
අද මෙහේ... තමා ඉන්නේ. ඔහුගේ ගොතය එන්න එන්නම වැඩිවන සැටියකි.
හැමදාම මෙතනද ඉන්නේ?
නෑ. අද ගොඩක් රෑ වුණා යන්න බැරිවුණා.
මෙහෙ මොකද කරන්නේ?
පුළුල් සිනාවක් පෑ ඔහු හිඟාකන ආකාරය අත් දික්කර අපට පෙන්වූයේය. 
වෙන මොනවටද? හිඟාකන්න ආවා මිසක්....
අනෙක් දවස්වලට කොහෙද ඉන්නේ?
ගෙවල් කොල්ලුපිටියේ. එහෙ යනවා.
මදුරැවෝ කනවා නේද රූට. මම මදුරු කොයිල් එකක් ගෙනත් දෙන්නම්ද.
බොර පැහැ නෙත් විදා ඔහු මොහොතකින් මා දෙස බැලුවේ අනේ පලයන් ඩෝ.... වැනි හැඟීමක් නෙත් පත්ලේ රඳවාගෙනය. 
මට එපා.... කපුටෝ සයිස් මදුරුවෝ කෑවත් අපිට ගාණක් නෑ....
ඔවුන් හා ළෙන්ගතුකමින්, ඇඟෑලුම්කමින් කතාවට සෙට් වීම හිතන තරම් පහසු නැත. අපේ භාෂාවෙන් කියතොත් එයත් වෙනමම ගේමකි. එහෙත් අරමුණ උදෙසා ඒ ගේම අත්හල නොහැක.
ෆොටෝ එකක් ගත්තට කමක් නැද්ද?
ගන්නවලා.... ගන්නවලා....
කෑම එකක් අරන් දෙන්ටද?
මට එපා....

ඔහුගේ එක් කකුලක් දණහිසින් වෙන්වී ඇත. ඒ වම් කකුල ඔහුට අහිමි වී ඇත්තේ දුම්රියක ගැටී සිදුවූ අනතුරකිනි. 
මම ඉස්සර අයිස් ක්‍රීම් විකුණුවා. ඒත් කකුල නොණ්ඩි ගගහා කොහොමද අයිස්ක්‍රීම් විකුණන්නෙ. දැන් බුලත් විටක් විකුණනවා. ඒත් බුලත්විට විකුණලා ජීවත්වෙන එකත් ලේසි නෑ. බත් කන්ට බැරි එකේ මිනිස්සු කොහොමද බුලත්විට කන්නේ. බුලත් විටක් විකුණා කන්න අඳින්න ගියොත් අපිටත් මැරෙන්ඩයි වෙන්නෙ. ඒකයි විටක් විකුණන ගමන්  හිඟනකමටත් බැස්සේ.... ඒ ඔහුගේ හඬය.
මේ අතර පෙර කී රතු කමිසය හැඳි පුද්ගලයා අපට යළිත් බැණ වදින්නට විය. 

මෙතනින් පලයං යකෝ... මොන හු..... කරනවද මෙතන.... තොපෙ......
ඔහු කී වදන් ඉන් එහා ලිවීම උගහටය. ඒ වචන පසුබිමින් ඇසෙද්දී අප සමඟ කතාවේ පැටලී ගත් යාචකයා අප දෙස බැලුවේ මම මොනවා කරන්නද ඌ නහරකාරයො වැනි හැඟීමක් දෙනෙත්හි රුවාගෙනය. අනතුරුව රතු කමිසකාරයා අප සමඟ කතා කළ යාචකයාටද බැණ වැදුණේය. මගේ නම රාජා... බැණුම් ඇසූ ඔහු එසේ කියමින් පැත්තකින් ගලවා දමා තිබූ කමිසය ඇඟලාගෙන කිහිලිකරු ආධාරයෙන් මහමඟට බැස්සේ අපට යන්නම් නොකියාය. ඔහු යන දෙස බලා සිටි අපි එතැනට වී මොහොතක් බලා සිටියෙමු.

කෝට්ටේ යුගයේ අගනුවරට සහ විහාරයට පැමිණෙන ජනතාවට ගිමන් හැරීම පිණිසත් විවේකීව ගත කිරීමටත් මෙම අම්බලම භාවිතා කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහෙත් ඒ කවදා සිටදැයි කීමට අපි දන්නේ නැත. ඒ වර්ෂ දින වකවානු කවදාද කියා නිශ්චිත නැති බැවිනි. විවිධ කාල වකවානුවල මෙය අලුත්වැඩියා වී ඇත. මෙම අම්බලම දිග අඩි 20ක්ද පළළ 15ක් වනසේ ගල්කණු 10ක් උඩ වහලයක් රඳවා ඉදිකර ඇත. මෙය ඉතා පෞරාණික ගොඩනැගිල්ලක් බවට 1940 අංක 9 දරන පනත මගින් ප්‍රකාශයටද පත්කර ඇත. ඒ එහි ඉතිහාසයයි. 
මේ අම්බලම දැන් කුඩුකාරයන් ගංජාකාරයන් අයිතිකරගෙන. ඒ අම්බලම සමීපයේ පිහිටි නිවෙසක කතක්  අප හා කතාවට පැටලුෙන් එසේය.
ඔය මිනිස්සුන්ව ගෙවල්වලට වැද්දා ගන්නෙ නෑ කවුරුවත්. රෑටත් මේ ගල් අම්බලමේම තමයි ඉන්නෙ. කුඩුකාරයන්, ගණිකාවෝ හොයන එවුන්, හොරකම් කරන එවුන් ඔක්කොම ඔතන ලගිනවා. ඔතන දැන් ඇත්තටම හිඟන්නො නෑ. හිඟන එවුන් වගේ ඉන්නෙත් උන්. අම්බලම දැන් පස් දෙනෙක් අයිතිකරගෙන ඉන්නේ. කකුලක් නැති රාජා මෙතන ඉන්නෙ බුලත් විකුණන හින්දා. කාලයක් තිස්සේ මේකෙ ඉන්න හින්දා. නැත්නම් ඌවත් එළවලා.
ඒ ඇය තවදුරටත් කළ සඳහනයි. කුලී රථ රියැදුරෙක්ද ඊළඟ මොහොතේ අප හා කතාවට එක්විය.

ඇත්තම කියනවානම් දැන් මේ අම්බලම කුඩ්ඩන්ගේ. ඔහු කී කතාවෙන් සනාථ කළේද පෙර කී කත පැවසූ දෙයටම සමාන දෙයකි. බැතිමතුන්ට, ඈත ගම්වල වැසියන්ට අනාථ අසරණ අයට සෙවණ ලබාදුන් ගල් අම්බලම අද පස් දෙනකුගේ බල පරාක්‍රමයට හසුව ඇත. මුදලාලිලා රන් කරන, බස්වලින්, ලොරිවලින් හිඟන්නෝ එහෙට මෙහෙට අදින ලංකාවේ හිඟන ව්‍යාපාරය ගැන ලියන්නට කියන්නට ඇති දෑ කොතෙකුත්ය. එක් රැයකට අඳුරට වහන්වී තොරොම්බල් නගරය තුළ සිදුවන සල්ලාලකම්, මැරකම්, හොරකම් කොතෙකුත්ය. ඒ හැම කතාවකම ඉතිහාසය රැයක අඳුරටත් වඩා බොහෝ අඳුරුය. අපහැදිලිය. ඒ්වා රැයටම අපිත් සිද්ධිදාමයක් මිස උදෑසන අප සමඟ ක‍ොළොම්තොට හා යාවත්කාලීන වන සංසිද්ධියක් න.

ගල් අම්බලමෙනුත්, රතු කමිසකාරයාගෙනුත් සමුගෙන හැරෙන මොහොතේ මට මතක් වූයේ ගුණදාස අමරසේකරය. මට මතක් වූයේ ජීවන සුවඳය. මට මතක් වූයේ අපූරු සිද්ධියක් කෙටිකතාවය. එහි ජීවත් වූ යාචකයාය. යාචකයාගේ එකම හිතවතා වූ දද කුෂ්ඨ හොරි සහිත බල්ලාය. ඒ යාචකයාත් - අද යාචකයනුත් අතර වෙනස..... ඔව් වෙනස..... ඒ වෙනස ළඟ හිත මනුෂ්‍යත්වයේ සියුම් ඉසව්වකට ඉව කරද්දී අපි ගල් අම්බලමේ අඳුර මඟහැර පහන් කණුවක් යටට ආවෙමු.

 නුවන් හෙට්ටිආරච්චි
සේයාරූ l සමන්ත ප්‍රදීප් විල්තෙර